ප්‍රබල භූමිකම්පාවකින් පසු ජපානයේ වෙළෙඳ සංකීර්ණයක් තුළ බොහෝ පිරිසක් සිරවෙති

    • Author, ඔලිවියා අයර්ලන්ඩ්
    • Author, ජොයෙල් ගින්ටෝ
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් රැසක් සිරවී සිටින බව නිලධාරීන් පවසයි.

මැග්නිටියුඩ් 7.1ක භූමිකම්පාවෙන් පසුව කුමමොටෝ හි පිහිටි අයෝන් සාප්පු සංකීර්ණයේ පිපිරීමක් සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූමිකම්පාව ජපානයේ වේලාවෙන් 16:27ට (GMT 07:27ට) කියුෂු දූපතේ ගොඩබිම් ප්‍රදේශයකට බලපෑ අතර, පුද්ගලයන් 150,000කට වැඩි පිරිසකට ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස දැනුම් දී තිබිණි. සුනාමි අනතුරු ඇඟවීමක් කෙටි වේලාවක් සඳහා නිකුත් කළ නමුත් පැයකට අඩු කාලයකදී එය ඉවත් කරන ලදී.

කුමමොටෝ ප්‍රදේශයේ අයෝන් සාප්පු සංකීර්ණය තුළ පුද්ගලයන් විශාල පිරිසක් සිරවී සිටින බව හදිසි සේවා අංශ සඳහන් කළේය.

කෂිමා නගරයේ "සාප්පු සංකීර්ණයක දෙවැනි මහල කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් විශාල පිරිසක් එහි සිරවී සිටින බව" ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ජපානය ලොව භූමිකම්පා අවදානම වැඩිම රටවල් අතරින් එකක් වන අතර, එරට වසරකට භූ කම්පන 1,500කට පමණ මුහුණ දෙයි.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 10ක් (සැතපුම් 6ක්) පමණ ගැඹුරින් පිහිටීම හේතුවෙන් ප්‍රබල පසු කම්පන ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා තිබේ. ජාතික විකාශක NHK මගින් විකාශය කළ දර්ශනවලින් ඉරිතැළුණු මාර්ග සහ පාලම් මෙන්ම ගිනි ගන්නා ගොඩනැගිලි කිහිපයක් ද දැකගත හැකි විය.

"තුවාල හා දේපළ හානිවල තරම පිළිබඳ අපි තවමත් ඇගයීමක් සිදු කරමින් සිටිනවා. නමුත් මේ වන විටත් තුවාල ලැබූවන් කිහිප දෙනෙකු සිටින බව මට වාර්තා වී තිබෙනවා," යැයි අග්‍රාමාත්‍ය සනේ ටකායිචි අඟහරුවාදා ප්‍රකාශ කළාය.

සාප්පු සංකීර්ණයේ දර්ශනවලින් ගොඩනැගිල්ලෙන් සුදු දුමක් පිටවන අයුරුත්, ජනතාව රථගාල වෙත දිව යන අයුරුත් දැක්වේ. සාප්පු සංකීර්ණයේ බාහිර කොටස් විශාල ප්‍රමාණයක් කැඩී ඉවතට ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඇතුළත ඇති වානේ කම්බි ව්‍යුහය නිරාවරණය වී තිබේ.

අයෝන් සාප්පු සංකීර්ණය යනු ජපානය පුරා මධ්‍යස්ථාන 160කට ආසන්න සංඛ්‍යාවක් ඇති ජනප්‍රිය සාප්පු සංකීර්ණ ජාලයකි. එම සාප්පු සංකීර්ණවල දෙපාර්තමේන්තු වෙළඳසැල්, විලාසිතා සාප්පු, ඖෂධ අලෙවිසැල් සහ ආහාර මධ්‍යස්ථාන තිබේ.

තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකු පමණ වැඩිහිටි සත්කාර නිවාසයක සිටි අය වන අතර, අවම වශයෙන් 50 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව NHK පැවසීය.

"තත්පර 10ත් 20ත් අතර කාලයක් උඩට පහළට වගේම දෙපැත්තට හයියෙන් සෙලවුණා" යනුවෙන් උකි නගරයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු භූමිකම්පාව පිළිබඳ අදහස් දක්වමින් NewsJP වෙත පැවසුවේය.

දුම්රිය සේවා තාවකාලිකව නතර කර ඇති අතර, නිවාස දහස් ගණනක විදුලි බල සැපයුම අත්හිටුවා ඇත.

ප්‍රධාන කැබිනට් ලේකම් මිනෝරු කිහාරා සඳහන් කළේ ජපාන ස්වයං ආරක්ෂක හමුදාව, ගිනි නිවීමේ අංශ සහ වෙරළාරක්ෂක බළකාය ඇතුළු පළමු ප්‍රතිචාර කණ්ඩායම් යොදවා ඇති බවයි.

"කම්පනය ඉතා දැඩිව බලපෑ ප්‍රදේශවල ජනතාවට ගුවන්විදුලිය, රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රාදේශීය බලධාරීන් විසින් නිකුත් කරන ඉවත් කිරීමේ උපදෙස් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, සන්සුන්ව ක්‍රියා කරන ලෙසත් අප ඉල්ලා සිටිනවා," යැයි ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය, X සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, භූමිකම්පාවේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 100ක් (සැතපුම් 62ක්) පමණ දුරින් පිහිටි සෙන්ඩායි න්‍යෂ්ටික විදුලි බලාගාරයට කිසිදු හානියක් හෝඑහි ආරක්ෂාවට අදාළ ගැටලුවක් වාර්තා වී නොමැති බවත්, එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය.

"IAEA ආයතනය මෙම තත්ත්වය පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවනු ඇත," යැයි එම ආයතනය සඳහන් කළේය.

මීට දශකයකට පෙර, 2016 අප්‍රේල් මාසයේදී සිදු වූ මැග්නිටියුඩ් 7ක භූමිකම්පාවක් ඇතුළුව භූමිකම්පා මාලාවකින් කුමමොටෝ ප්‍රදේශය බලපෑමට ලක් විය. එම අවස්ථාවේ පුද්ගලයන් 278 දෙනෙකු මියගිය බව NHK වාර්තා කළේය.