ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'සුර-අසුර යුද්ධයේ සිට' වර්තමානයේ මතභේදයට තුඩු දීම දක්වා පැමිණි කාවඩි නර්තනයේ ඉතිහාස කතාව
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ආරක්ෂක තර්ජනයක් එල්ල වී ඇතැයි කියන දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට පසුගිය වසරේ සහභාගි වූ සියලු ම කාවඩි නර්තන කණ්ඩායම්වලට දැඩි කොන්දේසි සහිතව මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පියවර ගෙන තිබේ.
මතභේදයට තුඩු දී තිබෙන එම පෙරහැරේ කාවඩි නර්තන අංගය පිළිබඳව සඳුදා (ජූලි 27) මාතර දිසාපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා ඒ බව මාධ්‍ය වෙත පැවසීය.
දෙවිනුවර දේවලයේ ඇසළ පෙරහැර අද ජූලි 28 වන දා පැවැත්වීමට නියමිතව තිබේ.
පෙරහැරට විශේෂ ආරක්ෂාවක්
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, මෙවර පෙරහැරේ "නර්තන කණ්ඩායම් සම්බන්ධ සංවිධාන කටයුතු පොලිසිය හරහා" සිදු කෙරෙන බව ය.
"අපි මෙතනදී තීන්දුවක් ගත්තා සියලු ම කාවඩි කණ්ඩායම්වලට මේ නර්තයට සම්බන්ධ වෙන්න ඉඩ දෙන්නත්, නර්තන කණ්ඩායම් සම්බන්ධ සංවිධාන කටයුතු පොලිසිය හරහා සිද්ධ කරන්නත්. යම් අශෝභන හැසිරීම් තියෙනවා නම් එවැනි කණ්ඩායම් ඒ අවස්ථාවේදී ම ඉවත් කරන්නත්.
"යම් විනයකට, යම් පාලනයකට නතු වෙමින්, දේව භක්තියෙන් මේ පෙරහැර නරඹන සියලු දෙනාට දේව ආශිර්වාදය ලැබෙන පරිදි, දෙමාව්පියන් දරුවන් සියලු දෙනාට එකතු වෙලා නරඹන්න හැකියාව ලැබෙන පරිදි ඓතිහාසිකව පවත්වාගෙන යන පෙරහැරට කිසිදු අගෞරවයක් නොවන ආකාරයෙන් මේක පවත්වන්න පියවර ගන්න," යනුවෙන් අමාත්‍යවරයා සාකච්ඡාවෙන් අනතුරුව පැවසීය.
එමෙන් ම, බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට ගනිමින් පෙරහැර විශේෂ ආරක්ෂක සැලසුමකට අනුව පැවැත්වීමට මෙන් ම එහි ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් බලඇණි සහ අතිරේක විශේෂ කාර්ය බළකා සෙබළුන් කැඳවීමට පියවර ගත් බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ය.
"කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම් හෝ අශෝභන ලෙස හැසිරීම් හෝ වෙනත් පෙරහැරට නොගැලපෙන කිසිදු සිදුවීමකට ඉඩකඩ නැහැ. ඒක පොලිසියේ පාලනයට යටත්ව සිදුකළ යුතු වෙනවා."
මතභේදය කුමක් ද?
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තය සඳහා සහභාගි වීමට කණ්ඩායම් කිහිපයකට පමණක් එම දේවාලයේ බස්නායක නිලමේවරයා අවසර ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය දා මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබිණි.
එම තීරණයට අභියෝග කරමින් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන "කංජිපානි ඉම්රාන්" දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක වෙත එවා ඇති බව කියන තර්ජනාත්මක හඬ පටයක් ද එම දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි.
අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන "දෙහිබාලේ" නමැති පුද්ගලයෙකු විසින් "කංජිපානි ඉම්රාන්" වෙත තර්ජනය කරන බව කියන හඬ පටයක් ද පසුව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
කෙසේ නමුත් එම හඬ පට බීබීසීයට ස්වාධීනව සත්‍යාපනය කර ගැනීමට මෙතෙක් හැකි වී නැත.
මෙවැනි පසුබිමක, එම කණ්ඩායම් අතර ගැටුමක් හෝ පෙරහැරට එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් ලබා දී ඇති වාර්තා සැලකිල්ලට ගනිමින් මෙවර පෙරහැරේ කාවඩි නර්තනය නවතා දමන ලෙස පොලිස්පතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ජූලි 26 වන දා යොමු කර තිබිණි.
කණ්ඩායම් කිහිපයකට පමණක් කාවඩි නර්තනයේ යෙදීමට අවස්ථාව ලබා දීමක් සිදු කළහොත් එහි යම් ගැටුම්කාරී තත්ත්වයක් හෝ පෙරහැරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට බුද්ධි අංශ පොලිස්පතිවරයා වෙත අනතුරු අඟවා තිබුණු බවට මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
සාකච්ඡාවලින් පසුව ලැබුණු අවසරය
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක ජූලි 26 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වන පේළි පෙරහැරට කාවඩි නර්තන අංගය එක් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ය.
ලියාපදිංචි කාවඩි නර්තන කණ්ඩායම් 25කට පමණක් එම නර්තන අංගයට සහභාගි වීමට අවසර ලබාදෙන බව ද බස්නායක නිලමේවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.
නමුත්, පෙරහැරට එල්ල වී තිබෙන ආරක්ෂක තර්ජනය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත විජේසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඇතුළු පාර්ශව කිහිපයකගේ සහභාගිත්වයෙන් ජූලි 27 වන දා පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී පසුගිය වසරේ නර්තනයේ යෙදුන සියලු කාවඩි නර්තන කණ්ඩායම්වලට මෙවර ද පෙරහැරට සහභාගි වීමට අවසර හිමි විය.
කාවඩි නර්තනයේ ඉතිහාසය
කතරගම දෙවියන් වන්දනා කිරීමට සිදු කරන කාවඩි නර්තනයේ බිහිවීම පිළිබඳව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත බීබීසී සිංහල සේවයට වෙත මෙලෙස විස්තර කළේ ය.
"කාවඩි සම්ප්රදාය අපේ රටට එන්නේ ස්කන්ධ කුමාර, නැත්නම් කතරගම දේව ඇදහිල්ලෙන්, හින්දු බැතිමතුන් කියන මුරුගන් ඇදහිල්ලෙන්.
"ඒක ගැන කියැවෙන හරි ලස්සන පුරාණෝක්ති කතාවක් තියෙනවා. ඒ පුරාණෝක්තියට අනුව, සුර-අසුර යුද්ධයක් තිබුණා. ඒකෙදී පුරපද්ම කියන අසුරයාව සටනින් පරාජය කරනවා කතරගම දෙවියන්. ඒ පරාජයට පත් කරපු වෙලාවේදී එයාට ආපහු ජීවිතය දෙනවා.
"ඒකට කරන සත්කාරයක් විදියට ශිවගිරි සහ සප්තගිරි කියන කඳු දෙක ඔසවා ගෙන ගිරි මුදුනට ගියා කියලා කියනවා. මෙතන තමයි කාවඩි ඇතිවීමට නිමිත්ත වුණා කියලා කියන්නේ. හින්දුන් [ස්කන්ධ කුමාරට] තමන්ගේ භක්තිය ප්‍රකාශ කරන්නේ සිරුරට දුක් දෙමින්. මේකත් ඒ වගේ ආව එකක්," ඔහු පැහැදිලි කළේ ය.
කාවඩි නර්තන වර්ග මොනවා ද?
ශ්‍රී ලංකාව තුළ කාවඩි වර්ග 5ක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පැවසීය.
පරවි කාවඩි, ගිනි කාවඩි, මත්ස්‍ය කාවඩි, භක්ති කාවඩි සහ කිරි කාවඩි එම කාවඩි නර්තන වර්ග වන අතර දෙවියන් පිදීම එහි අරමුණ බව ඔහු සඳහන් කළේ ය.
"පරවි කාවඩි, මත්ස්‍ය කාවඩි වගේ ඒවා දැන් දකින්න නැහැ. කිරි කාවඩි ඉතා ම දුලබව දැකගත්තොත් විතරයි තියෙන්නේ. ඒක දේව පූජාවක් විදියට පවත්වන්නේ. පෙරහැර සම්ප්‍රදායට කිසිසේත් සම්බන්ධ නැහැ.
"ගිනි කාවඩි දෙමළ ප්‍රජාව අදටත් කරනවා. ඒක කතරගම දේවාලය වටා ඔවුන්ගේ බාර ඔප්පු දීමේ පිළිවෙතක් විදියට තියෙනවා. හැබැයි ගිනි කාවඩි පෙරහැර සම්ප්‍රදායට එකතු වෙලා නැහැ.
"පෙරහැර සම්ප්‍රදායට එකතු වෙලා තියෙන්නේ භක්ති කාවඩි. ඒකට කියනවා කූඩු කාවඩි කියලත්. කාවඩි කූඩුව කියලා එකක් තියෙනවා, ඒක ගෙළ පිටුපසින් තියාගෙන තමයි නර්තනයේ යෙදෙන්නේ. මේකෙදිත් ශිවගිරි සහ සප්තගිරි කියන කඳු දෙක නියෝජනය කරමින් තමයි සැරසීම් කරන්නේ. දැන් නම් මොණර පිල් ආදිය දකින්න පුළුවන්. කූඩු කාවඩියක් හදා ගන්න සම්මත ක්‍රමයක් තියෙනවා."
දෙවියන් පිදීම සඳහා කාවඩි නර්තනයක් ලෙස සිදු කරන අතර දෙමළ සම්ප්‍රදායට අනුව මෝලම් සංගීතය ඊට යොදා ගන්නා බව කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
"අතීතයේ උසස් ගණයේ ප්‍රභූන් සහ උසස් යැයි සම්මත අය උඩු කය නිරාවරණය කරගෙන කහ, තින්නූර් වගේ දේවල් ඇඟේ තවරගන්නවා. මෙන්න මේ සම්ප්රදාය කතරගම දෙවියන්ට බාර ඔප්පු දීම සහ දෙවියන් සතුටු කිරීම වෙනුවෙන් වාර්ෂිකව ඕනෑ ම දවසක ප්‍රජාවට කරන්න පුළුවන්. අද වෙද්දී ඒක සමාන්‍ය මිනිස්සු අතරටත් ගිහිල්ලා තියෙනවා."
දළදා සම්ප්‍රදායට එක්වූ කාවඩි නර්තනය
ඒ ආකාරයට කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට ද කාවඩි අංග කිහිපයක් එකතු වී ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා, ඒවා කූඩු කාවඩි නර්තනාංග බව පෙන්වා දුන්නේ ය.
"නුවර දළදා මාලිගාවෙත් කතරගම දේවාලය තියෙනවා. ඒ කතරගම දේවාලයේත් මේ කාවඩි තියෙනවා.
"හැබැයි ඒ කාවඩිවලදී ඒගොල්ලෝ දළදා සම්ප්රදාය නිසා, ශරීරයේ අනවශ්‍ය විදිහට කටු ගහලා, එල්ලගෙන යනවා වගේ දේවල් කරන්නේ නැහැ. හැබැයි මෝලම් සංගීතයට ඒ නර්තනවල යෙදෙනවා.
"ලංකාව පුරා ම සෙසු ප්‍රත්‍යන්ත පළාත්වල කතරගම දෙවියන් අරමුණු කරගෙන මේ කාවිඩි නැටීම තියෙනවා. ඊට පස්සේ ඒක දකුණු පළාතට ව්‍යාප්ත වුණා. පෙරහැර සම්ප්‍රදායන් එක්ක. මොකද දකුණු පළාතේ තියෙන්නේ හින්දු දේව ඇදහිල්ල, හින්දු දේව ඇදහිල්ලත් එක්ක ඒගොල්ලෝ දේව භක්තිය පළ කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන පෙරහැරවලට කාවඩි එකතු කරගෙන තියෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
දෙවිනුවර දේවාල පෙරහැරට කාවඩි නර්තනය එකතු වීම
දෙවිනුවර දේවාල පෙරහැරට කාවඩි නාර්තනය එකතු වීම සිදුවූයේ මෑත ඉතිහාසයේ බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේ ය.
"දැනට අවුරුදු 30-35ක කාලයක ඉඳලා කාවඩි නර්තන එකතු වෙන්න ගත්තා. ඒක දකුණු පළාතට ම තියෙනවා. විශේෂයෙන් ම දකුණු පළාතේ තියෙනවා කෝළම් මඩු ශාන්තිකර්ම.
"මෙන්න මේ කෝළම් මඩුත් එක්ක ඒ ගමේ ප්‍රජාව දෙවියන් සතුටු කිරීමට කාවඩි නටමින් ගම වටා ගිහින් තියෙනවා. ඒක අදටත් මිරිස්ස, උඩුපිල, කඹුරුපිරිය ගැම්මැද්ද වගේ ප්‍රදේශවලට පොල් පූජාවක් එක්ක තියෙනවා."
කෙසේ වෙතත් මතභේදයට තුඩු දී ඇති කාවඩි නර්තාංගයට දිගු ඉතිහාසයක් නොමැති අතර ඊට දේවාලය අවට ගම්වල ජනයා සහ ධීවර ප්‍රජාව මීට එකතු වන බව ඔහු පැවසීය.
"දෙවිනුවර පෙරහැර දින ගණනාවක් වීදි සංචාරය කරනවා. ඒකේ එක දවසක් තියෙනවා මේ ප්‍රජාව විතරයි එකතු වෙන්නේ. තරුණ, වැඩිහිටි ප්‍රජාව විතරයි එකතු වෙන්නේ.
"බොහෝ වෙලාවට කුඩා දරුවෝ මේකට ගන්නේ නැහැ. සම්මත පිළිවෙතක් තියෙනවා පත්තිනි දරුවෝ ගන්නේ නැහැයි කියලා. අවුරුදු 16ට වගේ වැඩි උදවියට තමයි තියෙන්නේ. ගැහැනු අය ගන්නේ නැහැ මේකට.
"උඩු කය නිරුවත්ව, සුදු සරමක් ඇඳගෙන එක එක කණ්ඩායම් විදිහට එකතු වෙලා, තමන්ගේ කණ්ඩායම් නියෝජනය වෙන විදහට වර්ණ ඇඟේ ආලේප කරගෙන ඔවුන් නටනවා. ඒක පටන් ගත්තේ කාවඩි නර්තයෙන් තමයි. මේවා තවමත් පෙරහැර මහා සංස්කෘතිය ඇතුළට එකතු නොවුණ, මෑතක එකතු කරගත්ත සංස්කෘතික අංග විදියට තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.
පපරේ සංගීතයට නටන වත්මන් කාවඩි
කාවඩි නර්තනය සඳහා දෙමළ ප්‍රජාව තබ්බෝරුව සහ මෝලම් යන සංගීත භාණ්ඩ භාවිත කළත් වර්තමානය වන විට පපරේ නාද කාවඩි නැටුම් සඳහා එකතු කරගෙන ඇති කණ්ඩායම් ද ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත පෙන්වා දුන්නේ ය.
ඔහු සඳහන් කළේ, දෙවිනුවර දේවාල සම්ප්රදායේ කාවිඩි නර්තනයේ යෙදෙන කාන්තා සහ පිරිමි කණ්ඩායම් කිහිපයක් පවතින බව ය.
"මෙතන දේව භක්තියට වඩා අවස්ථාවක් කරගෙන තියෙනවා පපරේ එක්ක නටලා, විනෝද වෙන්න. එතකොට වෙන්නේ සංස්කෘතික වටිනාකම කියන එක හෑල්ලු වෙලා යනවා. ඒ අයට තේරුම් කරලා දෙන්න ඕනේ, ඒ අය නියෝජනය කරන්නේ දෙවිනුවර දේවාලය හා බැඳුණු පෙරහැර සංස්කෘතිය කියලා," කථිකාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, මෙම මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පැවසුවේ, වසර කිහිපයක සිට කාවඩි නර්තනයේ යෙදෙන ඇතැම් පුද්ගලයින් තම රහස් ප්‍රදේශය පෙනෙන ලෙස පවා නැටුම් ඉදිරිපත් කරන අවස්ථා පැවති බව ය.
"මෑත කාලීනව වසර කිහිපයක් තිස්සේ මේ කාවඩි අංග ඉදිරිපත් කරන අයගේ ගැටලුවක් වෙලා තියෙනවා බොහෝ විට ඔවුන්ගේ ඇඳුම, නිර්වස්ත්‍රව, තමන්ගේ රහස් ප්‍රදේශය පෙනෙන විදිහට පවා නැටුම් ඉදිරිපත් කරන අවස්ථා. ඒ වගේ ම බොහොමයක් පිරිස මත්පැන් අධික ලෙස පාවිච්චි කරලා මේ කාවඩි නර්තනයට එකතු වෙච්ච අවස්ථාවලට පහුගිය කාලයේ දැකගන්න ලැබුණා," ඔහු සඳහන් කළේ ය.