වසංගතයක් බවට පත් වන තෙක් චිකුන්ගුන්යා පාලනය කර ගැනීමට බැරි වුණේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ආසන්න මාස කිහිපයක කාල සීමාව තුළදී චිකුන්ගුන්යා වෛරසය ව්‍යාප්ත වීම ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ හැකි ය.
ඩෙංගු රෝගීන් වතා වීම ද ඉහළ මට්ටමක පවතින අතර, ඊට සමාන්තරව මෙම වෛරසය ද ව්‍යාප්ත වෙමින් තිබේ.
මෑතකදී එළිදැක්වුණු පර්යේෂණ වර්තාවක දැක්වෙන්නේ මෙම තත්ත්වය වසර 16කට පසු ඇතිවූ "නරක ම වසංගත තත්ත්වය" බව ය.
චිකුන්ගුන්යා වෛරසය කියන්නේ මොකක් ද?
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව චිකුන්ගුන්යා යනු මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන, එසේත් නැතිනම් ආත්‍රපෝඩාවන්ගෙන් මිනිස් ශරීරයට ඇතුළුවන රෝගයකි.
එය මුලින් ම හඳුනාගෙන තිබෙන්නේ 1953දී දකුණු ටැන්සානියාවේ පැතිර ගිය වසංගතයක් අතරතුර වන අතර පසුව 1955දී මේරියන් රොබින්සන් සහ ලුම්ස්ඩන් විසින් විශ්ලේෂණය කරනු ලැබ තිබේ.
නැගෙනහිර අප්‍රිකානු භාෂාවලින් උපුටා ගන්නා ලද "චිකුන්ගුන්යා" යන යෙදුම, රෝගයේ දරුණු සන්ධි වේදනාව යන ලක්ෂණය නිසා ඇති වන "නැමුණු" ඉරියව්වක් ගැන සඳහන් කරන බව එම වාර්තාවල දැක්වේ.
ශ්‍රී ලංකාවේ, පළමු චිකුන්ගුන්යා වසංගතය 1960 ගණන්වල මුල් භාගයේදී වාර්තා වී ඇති අතර, පසුව දශක ගණනාවක් යන තෙක් එවැනි තත්ත්වයක් වාර්තා වී නොමැත.
පළමු වසංගතය වාර්තා වී වසර 40කට පසු එනම් 2006 නොවැම්බර් මාසයේදී වෛරසය නැවත මතු වී ඇති අතර 2006 සහ 2007 අතර කාලයේ, එයින් පුද්ගලයින් 40,000 ක් බලපෑමට ලක් වූ බවට ඇස්තමේන්තු කර තිබේ.
2008දී සමාන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවල දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෛරසය වේගයෙන් පැතිරුණේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් විසින් මෑතකදී වර්ධනය වූ චිකුන්ගුන්යා ප්‍රවණතාවය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කරනු ලැබ තිබේ.
අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ආයතනයේ සිදු කරන ලද පර්යේෂණවලින් දැනට සංසරණය වන චිකුන්ගුන්යා වෛරසය 2006-2008දී වසංගතයක් බවට පත් වූ වෛරසයට වඩා වෙනස් බවට නිරීක්ෂණය වී ඇතැයි එම අධ්‍යනයේ දැක්වේ.
එමෙන් ම මෑතකදී ඉන්දියාවේ සහ පකිස්ථානයේ මෑතකදී ඇතිවූ වසංගතවලට හේතුවූ චිකුන්ගුන්යා වෛරස ප්‍රභේදයේ අනුවාදයක් බව එහි දැක්වේ.
පර්යේෂණයට යොදාගත් උණ ඇති රෝගීන් 65 දෙනාගෙන් (දෙසැම්බර් 2024 - අප්‍රේල් 2025 අතර වාර්තා වූ), 23 දෙනෙකු (35.4%) චිකුන්ගුන්යා රෝගයට ගොදුරු වී ඇති අතර, 7 දෙනෙකු (10.8%) ඩෙංගු රෝගයට ගොදුරු වී තිබී ඇත.
ඊඩිස් මදුරු වර්ගයේ නාගරික ව දැකිය හැකි මදුරුවන් තුළ මෙම වෛරසය බහුලව ම වර්ධනය වන බව ඔවුන් නිරීක්ෂණය කර තිබේ.
එමෙන් ම ඔවුන් පෙන්වා දෙන්නේ මදුරුවන් හරහා වේගයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීම නිසා වෛරසය වෙනදාට වඩා වේගයෙන් පරිණාමය වෙමින් පවතින අතර මෙනිසා වෛරසය පාලනය කිරීමට අපහසු වන ආකාරයෙන් එය දිගට ම වෙනස් විය හැකි බවට කනස්සල්ලක් මතු කරන බව ය.
ඩෙංගු වැඩිවීමත් සමග චිකුන්ගුන්යා වැඩිවීමක්?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දශකයට පමණ පෙර පාලනය වූ මෙම වෛරසය නැවත වතාවක් මෙලෙස වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට හේතුව කුමක්දැයි බීබීසී සිංහල වසංගත රෝග විද්‍යා අංශයෙන් විමසීමක් සිදු කළ අතර එහි නිලධාරිනියක අප වෙත පැවසුවේ, කාලයත් සමග ප්‍රජාවේ ප්‍රතිශක්තිකරණයේ සිදුවන වෙනස්කම් ද ඊට බලපාන බව ය.
ඩෙංගු වසංගතය තත්ත්වය මේ වන විට ඉහළ ගොස් ඇති බවත්, ඩෙංගු සහ චිකුන්ගුන්යා යන වසංගත දෙක ම එක ම මදුරු වර්ගයකින් බෝ වන නිසා ඩෙංගු වසංගත තත්ත්වය ඉහළ යාමට හේතු වන මදුරු ගහනය ඉහළ යාම මෙම වෛරසය පැතිරීමට ද සමාන ආකාරයෙන් බලපාන බව ඇය පැවසුවා ය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහගෙන් ද බීබීසී සිංහල විසින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කරන ලදී.
"චිකුන්ගුන්යා ශ්‍රී ලංකාවේ 1960 ගණන්වල වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ 2006, 2007 සහ 2008 කාලවලදී වාර්තා වුණා. ඊට පස්සේ පර්යේෂණ කටයුතුවලදී අපට අඩු රෝගීන් ගණනක් හමුවෙලා තියෙනවා. ඊට පස්සේ 2024 අග භාගයේ ඉඳලා තමයි අපට මේ විදිහට රෝගය ගැන වාර්තා වෙන්නේ," ඇය විස්තර කළා ය.
"ඩෙංගුවල වෛරස 4ක් තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ එක වෛරසයයි. එතකොට මේ වෛරසයට තියෙන ප්‍රතිශක්තිකරණය නැතිවුණා ම වෛරසය මතු වෙනවා. 2006 සිට 2008 දක්වා කාලයේදී සමහර අයට ඒ ප්‍රතිශක්තිකරණය ලැබුණා."
"මේ රෝගවල හැටියක් තියෙනවා ඒවා කාලයකට සැරයක් තමයි වසංගතයක් විදිහට එන්නේ. ඒක ඩෙංගු රෝගයේත් තියෙනවා. අවුරුදු ගානක් ගිහින් තියෙනවනේ. එතකොට අලුත් පරම්පරාවක් හැදිලා තියෙනවා. ඒ වගේ ම ඒ කාලවකවානුවේදී රෝගය හැදිච්ච නැති අයත් ඉන්නවා. ඒ වගේ වෙලාවට රෝගයට නතුවෙන්න හේතුවෙන්න පුළුවන්," වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.
බස්නාහිර පළාතේ වැඩි වීමක්
පසුගිය වසරේ අගභාගයේ සිට මේ දක්වා චිකුන්ගුන්යා හේතුවෙන් රෝහල්ගත වූ රෝගීන් සංඛ්‍යාව 500ක් පමණ වන බව විශේෂඥ වෛද්‍ය අනෝජා පැවසුවා ය.
නමුත් රෝගීන් සංඛ්‍යාව ඊට වඩා වැඩි අතර, පළාතක් වශයෙන් ගත් කළ බස්නාහිර පළාතේත් දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇති ඇය පැවසුවා ය.
තද උණ, හන්දිපත් වේදනාව, වමනය වැනි ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ මෙම රෝගයේදී රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකි බව ත් එනිසා ම යම් අයෙකුට මෙම රෝග ලක්ෂණ තිබේ නම් පරීක්ෂණයක් සිදු කිරීම වඩාත් සුදුසු බව ත් වෛද්‍යවරිය පෙන්වා දෙයි.
"ඩෙංගු මාරාන්තිකයි. නමුත් චිකුන්ගුන්යා මාරාන්තික නෑ. ඒ නිසා ගැබිනි මාතාවක් සහ දීර්ඝ කාලීන ලෙඩරෝගවලින් පෙළෙන අය තද උණ තත්ත්වය ඇති වන විට ම රෝහලක් වෙත පැමිණීම වැදගත්."


































