අපි ඇඳන්වල නිදාගන්නේ ඇයි? සියවස් ගණනාවක් පුරා කුතුහලය දැන වූ ඉතිහාස කතාව

Neolithic clay figurine of a woman sleeping peacefully on her side, one hand under her head, on a simple raised platform.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෝල්ටාවේ සිදු කරන ලද කැණීම්වලින් හමු වූ කුඩා ප්‍රතිමාවක, කාන්තාවක එක් ඇලයකට බරව සාමකාමීව නිදාසිටින අයුරු පෙන්නුම් කරයි
    • Author, සරියා ගෝර්වෙට්
    • Role, බීබීසී ෆියුචර්
  • Published

ස්කොට්ලන්ත දූපතක් වන ඕර්ක්නි දූපතේ බටහිර වෙරළ තීරයේ ස්කේල් බොක්කෙන් හමන සුළඟට මැදිව ස්කාරා බ්‍රේ (Skara Brae) නම් පුරාණ ගම්මානය පිහිටා තිබේ. වංකගිරියක් බඳු හරිත පැහැයෙන් වැසී ගිය එහි කඳු ගැටිතිවල පිහිටා ඇති, වසර හාරදහස් පන්සීයකට පමණ පෙර අතහැර දමන ලද විශාල, තනි කාමරයකින් සමන්විත නිවාස තෘණවලින් ආවරණය වූ ඝන බිත්තිවලින් වටවී ඇති අතර, ගල්වලින් තනන ලද මාර්ගවලින් ඒවා එකිනෙක හා සම්බන්ධ වේ. නමුත් සෑම ඒ වාසස්ථානයක ම නවීන දෑස්වලට තවමත් හුරුපුරුදු වස්තු දෙකකි. ඉන් එකක්, නිදි යහන් ය.

ස්කොට්ලන්තයේ උතුරු කෙලවරට වන්නට පිහිටා ඇති ස්කාරා බ්‍රේහි වාසස්ථාන බොහෝ දුරට එක ම ආකාරයක් ගනී. දළ වශයෙන් වර්ග මීටර් 40ක (වර්ග අඩි 430) කාමරයකින් සමන්විත ඒවායේ මධ්‍යයට වන්නට උඳුනක් සහ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගෘහ භාණ්ඩ එකතුවක් දක්නට ලැබේ. එක් පසකට වන්නට පෙට්ටගම් හා රාක්කවලින් පිරි කණ්නාඩි මේස සහ මිනිසෙකුගේ දිගට සරිලන ඍජුකෝණාස්‍රාකාර කොටු දෙකකි. වෘක්ෂලතා එතරම් නොමැති මෙම දිවයිනේ දක්නට ලැබෙන බොහෝ කෞතුක වස්තු මෙන්, මෙම ප්‍රාග් ඓතිහාසික ඇඳන් සිසිලස දනවන, දැඩි ස්වභාවයක් ගන්නා ගල්වලින් සාදා ඇත. එසේ වුව ද උස් ඉහ පත්ත සහ විට්ටම්වලින් සමන්විත ඒවා දුටු විගස හුරු පුරුදු 'ඇඳන්' බවට හඳුනා ගත හැකි හැඩයකින් සමන්විත ය. ඒවායින් ඇතැම් ඒවා මත හමුවන ශිලා ලේඛන සහ ඉඳහිට ඒවා යට තිබී හමුවන ඇටසැකිලි නොසලකා හරින්නේ නම්, එම යහන් 21 වන සියවසට අයත් වනු ඇතැයි සිතිය හැක.

මිනිසුන් වසර සිය දහස් ගණනක් තිස්සේ ඇඳන් සාදා ඇත. What we did in bed: a horizontal history නමැති ග්‍රන්ථයේ සැන්ටා බාබරාහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බ්‍රයන් ෆේගන් සහ පුරාවිද්‍යාඥ නාඩියා ඩුරානි ඒවායේ විකාශනය ආරම්භයේ සිට ම ගෙනහැර දක්වති. මානව ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී නිදාගැනීමේ අවකාශ මෘදු, පළිබෝධ-ප්‍රතිරෝධී ශාක පත්‍ර සීරුමාරුවට අසුරා සකස් කරන ලද බවට විශ්වාස කෙරේ. ඇඳන් සඳහා පළමු වරට රාමුවක් යොදා ගැනීම දක්නට ලැබෙන්නේ ඉන් අනතුරුව ය. ස්කාරා බ්‍රේහි හමුවන වැලිගල්වලින් තනන ලද ඇඳන් සහ ස්ටෝන්හෙන්ජ් ආසන්නයේ පිහිටා ඇති ඩුරින්ටන් වෝල්ස්හි ජනාවාසවල ඉතිරිව ඇති සලකුණු එනම්, ස්ටෝන්හෙන්ජ් ස්මාරක ගොඩනැගූ ජනයා නිදා ගැනීමට යොදා ගත් තැන්වලින් හමුවුණු, නමුත් දැන් අතුරුදන් වී ඇති ලීවලින් තනන ලද පෙට්ටි ඇඳන්වල අවශේෂ කොටස්, මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ඇඳන් ලෙස සැලකේ.

ලිවීම වැනි වෙනත් පුරෝගාමී තාක්‍ෂණික ක්‍රම බිහි වී වැඩි කල් නොගොස් එනම්, මීට වසර 5,000කට පමණ පෙර මතු වූ ඇඳ රාමු එම කාලය තුළ ලොව ස්ථාන කිහිපයකින් ම හමු විය. මෝල්ටාවේ ඕර්ක්නි සිට සැතපුම් 1,700 (කිලෝමීටර් 2,735) පමණ දුරින්, මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ චාරිත්‍රානුකූලව තැන්පත් කරන ලද උමංවලින්, එක් ඇලයකට බරව අතක් හිස යටින් තබා ගෙන තරමක් උස් වේදිකාවක් මත නිදිබරව සිටින කාන්තාවකගේ මැටි රූපයක් ඇතුළුව මුල් යුගවල භාවිත කළ ගෘහ භාණ්ඩ පිළිබඳ සාක්ෂි හෙළි වී තිබේ. මෙම ඇඳන් හුදු විවේක ගැනීමේ ස්ථානයක් වූ බවක් පිළිඹිබු නොකරයි. ෆේගන් සහ ඩුරානි පවසන පරිදි ඒවා බොහෝ විට ගැඹුරු සංකේතාත්මක අර්ථයන් සහ මරණින් මතු ජීවිතය හා බැඳී පවතියි.

එතැන් සිට සහස්‍ර ගණනාවක් තුළ 'ඇඳ' මිනිසුන් ජීවත් වූ ඒ ඒ සමාජවල තුළ ගැබ්ව පැවති සංස්කෘතික විශ්වාස සහ ප්‍රයෝගික කාරණා සැලකිල්ලට ගනිමින් විවිධ ස්වරූප ගැනීමට පරිණාමය වී ඇත. නින්ද හා බැඳුණු අවම වශයෙන් බටහිර ලෝකයේ ඇඳන්වල ඉතිහාසය පිළිබඳව කෙටියෙන් සොයා බලමු.

Stone build Neolithic ruins at Skara Brae

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්කාරා බ්‍රේ (Skara Brae) ප්‍රථම වරට සොයාගනු ලැබුවේ, 1850 වසරේදී ඇති වූ ප්‍රචණ්ඩ කුණාටුවකින් සහස්‍ර ගණනාවක් තිස්සේ එය වසා ගෙන තිබුණු තෘණ ඉවත් වී යාමෙන් පසුව ය.

පුරාණ ඊජිප්තුව - හිස් රැඳවුම් සහ නිදාගැනීම සඳහා වෙන් වුණු වේදිකා

හොවාර්ඩ් කාටර් 1922 වසරේදී ටූටන්කාමන් රජුගේ සොහොන් ගෙය තුළට ඇතුළු වූ අවස්ථාවේ, ඔහු දුටුවේ රනින් කළ භාණ්ඩවලින් පිරිණු නිධානයකි. එහි තිබුණු භාණ්ඩවලින් 6ක් ම ඇඳන් විය. මීට යුග ගණනාවකට පෙර සිදුවූ කොල්ලකෑම් දෙකකදී අහම්බයකින් ඒ මේ අත දමා ගොස් තිබුණු එම ඇඳන් අතර 'මෙහෙට්-වෙරට්' නම් ගව දේවතාවියගේ ස්වරූපය ආකාරයකට සරසා ඇති අවමගුල් කටයුතු සඳහා යොදා ගත් ඇඳක්, රන් ආලේපනයකින් ආවරණය කර ඇති ලී ඇඳක්, ගමන් බිමන් අතරතුර කඳවුරු බැඳීමේදී භාවිත කළ හැකි, විප්ලවීය හැකිළීමේ තාක්ෂණය යොදා ගත් ඇඳක් [එය එවැනි තාක්ෂණයක් යොදා ගත් පළමු ඇඳ විය හැකි ය] විය.

One of Tutankhamun's beds

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ටූටන්කාමන් බලයේ සිටියේ කෙටි කලකට පමණක් නමුත් මූලික වශයෙන් ඔහු ඔහුගේ සොහොන් ගෙය තුළ තිබී හමුවූ ඇඳන් හයක් ඇතුළු වටිනා නිධානය සඳහා ප්‍රසිද්ධ ය

ධනවත් ප්‍රභූන් සඳහා සාදන ලද බොහෝ පුරාණ ඊජිප්තු ඇඳන් මෙන්, ටූටන්කාමුන්ගේ ඇඳන් බොහෝ දුරට සමන්විත වන්නේ බට හෝ නූල්වලින් වියන ලද පාදයක් සහිත ලී රාමුවකිනි. එකල සිරිත පරිදි, යුව රජු නින්දට යාමේදී හිස මෘදු කොට්ටයක් මත නොව දැඩි බවකින් යුතු හිස රඳවනයක් මත තබා ඇත. මෙම ක්‍රමවේදය බොහෝ විට උණුසුම් දේශගුණයක් ඇති ප්‍රදේශවල දක්නට ලැබුණු අතර ඒ හරහා වාතය සංසරණයට වැඩි ඉඩක් ලබා දී තිබේ. ටූටන්කාමන්ගේ මිත්තණිය ඇතුළු පුරාණ ඊජිප්තුවරුන් ඇතැම් අවස්ථාවලදී බොකටු හැඩයක් ගන්නා හෝ ගොතන ලද කොණ්ඩා මෝස්‌තර අනුගමනය කළ බැවින් ඒවා මෙවැනි සූක්ෂම ලෙස සකසන ලද කොණ්ඩා සැකසුම් ආරක්ෂා කර ගැනීමේ මාර්ගයක් ලෙස ද ආකර්ෂණය දිනා ගත හැකි ය.

Ancient headrest

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, දැඩි හිස් රැඳවුම් සහිත ඇඳන් භාවිත කිරීම පුරාණ ඊජිප්තුවරුන්ට බොහෝ වාසි ගෙන දුන්නේ ය. ඒවා උකුණන් හෝ මැක්කන් පහසුවෙන් බෝ වුණු මෘදු ඇඳ ඇතිරිලි භාවිත නොකිරීමට ඔවුන් නැඹුරු කළේ ය.

Ancient Rome – a bed for every occasion

පුරාණ රෝමයේ, බොහෝ සමාජවල මෙන්, මිනිසුන් නිදාගත් ස්ථාන ඔවුන්ගේ සමාජ තත්ත්වය මත රඳා පැවතිණි. ඇතැම් වහලුන් සෑම රාත්‍රියක් ම පාහේ වියළන ලද ශාක පත්‍ර හෝ සත්ව හම්වලින් සෑදු පැදුරක් මත හෝ හිස් බිමක ගුලි වී පහන් කළත්, තවත් පිරිසක් වඩාත් සුවපහසු ලෙස රාත්‍රිය පහන් කළහ. 2021 වසරේදී පුරාවිද්‍යාඥයින් විසින් රෝමානු නගරයක් වන පොම්පෙයි නගරය ආසන්නයේ පිහිටා තිබුණු චීවීතා ජුලියානාහි (Civita Giuliana) පැරණි සුවිසල් නිවසක භූමියේ කැණීම් කරමින් සිටියදී, වසර 2,000කට ආසන්න කාලයක් පුරා හිමායනයට ලක්ව තිබුණු නිදන කාමරයක් සොයා ගන්නා ලදී. එහි තිබී හමුවුණු භාණ්ඩ බහාලන පෙට්ටි , ලී පෙට්ටගම් සහ වෙනත් භාණ්ඩ රාශියක් අතර ඇඳන් තුනක් - සහ ඒවා යට ජීවත් වූ මීයන්ගේ අවශේෂ කොටස් සහිත කලස් විය. දැල් වැනි තුනී ලණුවලින් බැඳ ඇති ලී කණුවලින් සාදන ලද ඒවායේ මෙට්ට නොතිබූ අතර ඒ වෙනුවට ලිහිල් බවක් ගන්නා පොරවනවලින් ආවරණය කර තිබිණි.

The slave beds immortalised in volcanic ash at Civita Giuliana

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, චීවීතා ජුලියානාහි (Civita Giuliana) ගිනිකඳු අළුවලින් වැසී අමරණීයත්වයට පත් වූ වහලුන් නිදා ගැනීමට භාවිත කළ මෙම ඇඳන් එදින පිළිවෙලට සකස් කිරීමට නොහැකි වූ බැවින් ඒ මත වූ පොරවන අපිළිවෙලට ඇති අයුරු

අනෙක් අතට, ධනවත් පුරවැසියන්ට ඵලක් නොමැති වුව ද වැඩි ඇඳන් ගණනක් තිබිණි. රෝමානුවන් විසින් විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙන්වුණු ඇඳන් වර්ගීකරණය කරන ලදී. ඒවා අධ්‍යයන කටයුතු සඳහා ලෙක්ටුස් ලුකුබ්‍රටෝරියස්, අලුත විවාහ වූ ජෝඩු සඳහා ලෙක්ටුස් ජෙනියාලිස්, කිහිප දෙනෙකු සමග විවේක ගැනීමට සහ ආහාර ගැනීම සඳහා ලෙක්ටුස් ට්‍රික්ලිනියාරිස් සහ නිදා ගැනීම සඳහා ලෙක්ටුස් කුබිකුලාරිස් ලෙස වර්ගීකරණය කර තිබේ. ඔවුන් සතුව අවමංගල්‍ය කටයුතු සඳහා වෙන්වූ ඇඳක් පවා තිබිණි. මෙම ඇඳන් බොහෝමයක් තුනී මෙට්ටයක් සහිත ලෝහයෙන් සාදන ලද උස් වේදිකාවකින් සමන්විත විය.

Ancient Roman bed

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහළ පන්තියේ රෝමානුවෝ රාත්‍රී ආහාරය සඳහා ඇඳෙන් බැස නොගිය අතර ඒ වෙනුවට මේසයක් වටා සකස් කර ඇති ලෙක්ටි ට්‍රික්ලිනියාරිස්වල සිට ආහාර ගත්හ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මුල් නූතන යුරෝපය - ඇඳ මකුණන් සහ ඝන මෙට්ට

17 වන සියවස වන විට යුරෝපීය ජනතාවට ඇඳක් තෝරා ගැනීමේදී තිබුණු විකල්ප ගණන අපමණ ය. පෙට්ටි ඇඳන්, ලණුවකින් බැඳ ඇති ඇඳන් [ ඒවා නිතිපතා තද කළ යුතු වූ අතර ඇතැම් විට එය "sleep tight" යන ප්‍රකාශනයට මග පෑදුවා විය හැකි ය] සහ වරෙක පුද්ගලයන් 52 දෙනෙකු නිදා සිටි බවට වාර්තා වූ 'Great Bed of Ware' වැනි හැඩ ගැන්වූ ලී කණු 4කින් සමන්විත විශාල ඇඳන් ඒවා අතර විය. නමුත් මුල් නූතන ඇඳ ඇතිරිලිවල එක් ප්‍රධාන අංගයක් වූයේ "ඝන කවරයකින් ආවරණය වූ ඇතුළත පුරවන ලද මෙට්ට" ය.

ඇතැම් අවස්ථාවලදී ඉතා විශාල ප්‍රමාණයකට නිර්මාණය කෙරුණු සරල මල්ලක් වැනි මෙම මෙට්ට කවර ලිනන් වැනි ශක්තිමත්, තදින් වියන ලද අමුද්‍රව්‍යවලින් සාදන ලද අතර ඒවා "ticking" නැතිනම්, "මෙට්ට රෙදි" ලෙස හැඳින්විණි. පිහාටු සිට පිදුරු දක්වා විවිධාකාර ද්‍රව්‍යවලින් ඒවා පිරවිය හැකි ය. භාවිත කරන විශේෂිත ඇසුරුම් ද්‍රව්‍ය නින්දේ ගුණාත්මකභාවයට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි ය. At Day's Close: A History of Nighttime නම් ග්‍රන්ථයට අනුව, 1646 වසරේදී ස්විට්සර්ලන්තය හරහා ගමන් කරන එක් සංචාරකයෙකු, ශාක පත්‍ර පිරවූ ඇඳක රාත්‍රිය ගත කිරීමට සිදුවීම ගැන දැඩි ලෙස මැසිවිලි නැගූයේ "ඉන් මතු වූ ශබ්දය" සහ මෙට්ට කවරය විනිවිද පැමිණි පත්‍ර කොටස් ශරීරයේ ඇනීමෙන් ඇතිවුණු අපහසුතාව නිසා ය.

Black and white image of farmers stuffing old-style mattresses with hay

ඡායාරූප මූලාශ්‍රය, Alamy

ඡායාරූප ශීර්ෂ වැකිය, කවරයක් සහිත මෙට්ට භාවිතය 20 වන ශතවර්ෂය දක්වා ම අඛණ්ඩව පැවතිණි

කවරයකින් ආවරණය වුණු මෙම මෙට්ට නිරතරයෙන් වාතයට නිරාවරණය වුව ද ඒවා දෂ්ටනය කරන කෘමීන් සඳහා කදිම අභිජනන භූමියක් විය. වෙනත් පුද්ගලයින් සමග ඇඳන් බෙදා ගැනීමේ [නාඳුනන පුද්ගලයින් සමග ඇතුළුව] එවකට පැවති පුරුද්ද නිරන්තරයෙන් අවසන් වූයේ දරුණු ලෙස කෘමීන් බෝ වීමෙනි.

"Coffin houses" provided food and a safe place to sleep for homeless people in London

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "Coffin houses" ලන්ඩනයේ නිවාස නොමැති මිනිසුන්ට ආහාර සහ නිදා ගැනීමට ආරක්ෂිත ස්ථානයක් විය

වික්ටෝරියානු එංගලන්තය - හැන්ගෝවර් සහ නිවාස නොමැතිකම

19 වන ශතවර්ෂය වන විට, කාර්මීකරණය වූ නව ආර්ථිකය තුළ දිවි ගැටගහ ගැනීමට කම්කරු ජනතාව අරගල කළ මොහොතේ එංගලන්තයේ ආර්ථික විෂමතාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබිණි. මෙය වේගයෙන් වර්ධනය වන ජනගහනය සමග ඒකාබද්ධව නගරවල නිවාස නොමැතිකමේ වසංගතයකට තුඩු දුන්නේ ය. ලන්ඩනයේ ඇතැම් පුණ්‍යායතන අසාමාන්‍ය විසඳුම් පවා ඉදිරිපත් කළේ ය. ඉන් එකක් වූයේ, "සත හතරේ මිනී පෙට්ටිය (fourpenny coffin)" යි. ඒවායේ මිනිසුන්ට රාත්‍රි කාලයේදී නිදා ගැනීමට හැකි අතර ඒ සඳහා පැන්ස හතරක් අය කෙරිණි. ඒවා පේළි වශයෙන් සකසා ඇති මිනී පෙට්ටියක් හැඩැති පෙට්ටි ය. තවත් එකක් වූයේ, "පැන්ස දෙකේ හැන්ගෝවර්" ලෙස ද හැඳින්වෙන කඹ ඇඳ යි. එය පිරිසකට එකවර අසුන්ගත හැකි බංකුවක වාඩි වී, දිගු දිගු කඹයකට හේත්තු වී, තවත් සිය ගණනක් මිනිසුන් සමග පෙළට මිනිසුන්ට නිදා ගත හැකි ඇඳකි. ඇතැම් අවස්ථාවලදී එහි වූ ලණුව කපා දැමුවේ පමණටත් වඩා වැඩි වේලාවක් නිදා සිටි පුද්ගලයින් අවදි කිරීමේ අරමුණිනි. මෙය "හැන්ගෝවර්" [අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඇති වන අපහසුතාව] යන වචනයේ මූලාරම්භය පෙන්විය හැකි එක් පැහැදිලි කිරීමකි.

කෙසේ වෙතත්, මූල්‍ය දර්ශකයේ පහළ අන්තයේ සිටින ජනතාවට ද නින්ද සැලකිය යුතු ලෙස යහපත් වීමට ආරම්භ විය. 1900 ගණන්වල අගභාගයේදී ජර්මානු නව නිපැයුම්කරුවෙකු පළමු දඟර සහිත මෙට්ටය (coil-sprung mattress) සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කළේ ය. එතැන් සිට නින්ද කිසි විටෙකත් සමාන නොවිණි. අද, වෙන කවරදාකටත් වඩා විකල්ප තිබේ. ෆෝම් ඇඳන්, ජල ඇඳන්, රත් කරන ලද ඇඳන්, ෆියුටන්, බංක් ඇඳන්, ඕටමන් ඇඳන්, වියන් ඇඳන්… ලැයිස්තුව නොනවත්වා දිග හැරේ. අපට සිතිය හැකි එක ම දෙය එනම්, ස්කාරා බ්‍රේ වැසියන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකි ද යන්න පමණි.