2022- 2023 ආර්ථික හා දේශපාලන අර්බුද පැවති සමයේ ලක්ෂයකට වැඩි දරුවන් පාසල් හැර ගිහින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
පාසල් යා යුතු වයසේ පසු වන දරුවන් විශාල පිරිසක් අතරමගදී සිය අධ්‍යාපන කටයුතුවලින් බැහැර වී පාසල් හැර යන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කරන ලද පැනයකට අග්‍රාමාත්‍ය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරිය (ජූනි 10) දුන් පිළිතුරු ඔස්සේ ය.
කෙසේ වෙතත්, එලෙස රජයේ පාසල් හැර යන දරුවන් නැවත විධිමත් අධ්‍යාපනයක් ලබා ගන්නවා දැයි දත්ත නොමැති බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියා ය.
පාසල් හැර ගොස් ඇති දරුවන් ගැන ඇති දත්ත මොනවා ද?
2018 වසරේ සිට 2024 දක්වා 01 වසරේ සිට 10 වසර දක්වා පාසල් යා යුතු වයසේ දරුවන් කොපමණ සංඛ්‍යාවක් එක් එක් වර්ෂවලදී පාසල් අතහැර ගොස් තිබේ දැයි අගමැතිවරිය මෙහිදී පැහැදිලි කළා ය.
2010 වසරේ සිට 2017 වසර දක්වා පාසල් හැර ගිය ළමුන්ගේ තොරතුරු අමාත්‍යංශය සතුව නොමැති බවත්, පාසල් හැර ගිය ළමුන් සංඛ්‍යාව පිළිබඳ අනුපාත අන්තර්ජාතිකව පිළිගත් සමීකරණයක් අනුව ගණනය කර ඇති බව ද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.
ඒ අනුව, 2018 වසරේ ළමුන් 38,839ක්, 2019 වසරේදී 41,503ක්, 2020 වසරේදී 32,540ක් සහ 2021 වසරේදී ළමුන් 25,492ක් අධ්‍යාපනය අවසන් වීමට පෙර පාසල් ගමන අවසන් කර තිබේ.
එම දත්තවලට අනුව මෙරට දේශපාලන හා ආර්ථික අර්බුදය උත්සන්නව පැවති 2022 වසරේ සහ 2023 වසරවලදී පාසල් හැර ගිය ළමුන් සංඛ්‍යාව 50,000කට අධික වේ.
අග්‍රාමාත්‍යවරිය පැවසූ පරිදි 2022 වසරේදී පාසල් දරුවන් 52,596ක් සහ 2023 වසරේදී දරුවන් 50,345ක් පාසල් අධ්‍යාපනයට සමු දී ඇත.
එමෙන් ම, 2024 වසරේදී පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් 25,823ක් දරුවන් පාසල් අධ්‍යාපනය අතරමග නතර කර තිබේ.
ඉහත දත්ත අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් 2022 සහ 2023 වසරවල දරුවන් පාසල් හැර යාම දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව ය.
දරුවන් පාසල් හැර යන්නේ ඇයි?
මෙලෙස පාසල් හැර යාමට විශේෂිත වී ඇති කරුණු සම්බන්ධයෙන් ද අගමැතිවරිය පැහැදිලි කළ අතර පාසල් හැර යන ඇතැම් සිසුන් තවදුරටත් විධිමත් අධ්‍යාපනයක් ලබන බව ද ඇය පැවසුවා ය.
"එක් පළාතක සිට තවත් පළාතකට පාසලකට මාරු වීම, ජාත්‍යන්තර පාසල්වලට ඇතුළත් වීම සහ පවුලේ සාමාජිකයන් සමග විදෙස් සංක්‍රමණය වීම යන ආදී හේතු මත ඇතැම් සිසුන් පාසලෙන් ඉවත් වුව ද විධිමත් අධ්‍යාපනයක් ලැබිය හැක. එවැනි දත්ත මෙම ගණනය කිරීමේදී පැහැදිලිව ග්‍රහණය කර ගත නොහැක."
එමෙන් ම, පෞද්ගලික හේතු, පාසල සම්බන්ධ හේතු, පවුල සම්බන්ධ හේතු සහ සමාජීය හේතු ළමුන් පාසල් හැර යාමට බලපාන ප්‍රධාන තේමා බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.
දරුවන් පාසල් හැර යාම වැළැක්වීම ගෙන ඇති පියවර මොනවා ද?
අනිවාර්ය අධ්‍යාපන පනත යටතේ වයස අවුරුදු 5ත් 16ත් අතර දරුවන් පාසල් අධ්‍යාපන ලැබීම අනිවාර්ය කර ඇතැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, පාසල් ගමන අතරමග නතර කරන දරුවන් හඳුනාගෙන නැවත පාසල්ගත කිරීමේ වැඩසටහනක් මෙන් ම දරුවන් පාසල්වලින් ඉවත්වීම වළක්වා ගැනීමට රජය විසින් ශුභසාධන වැඩසටහන් ගණනාවක් සිදුකරනු ලබන බව ද අවධාරණය කළා ය.
"මේවා කොච්චර සාර්ථකව කෙරෙනවා ද කියන එක අපිට කතා කරන්න පුළුවන්. නිලධාරී හිඟයත් මේකට බලපානවා. වෙනත් සාධකත් බලපාලා තියෙනවා නමුත් මේක ගැන අපි විශේෂ අවධානයක් යොදවලා තියෙන්නේ. ඉදිරියේදී අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ම වයස 14,15,16 වෙනකොට පාසල් පද්ධතියෙන් ඉවත් වෙන දරුවන් රඳවා ගැනීමට තමා මේකේ විශේෂ කොටසකුත් තියෙන්නේ."
පාසල් නොයන ළමුන් පිළිබඳව සොයා බලන ආකාරය සහ ඒ පිළිබඳව වාර්තා කරන යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද අගමැතිවරිය මෙහිදී කියා සිටි අතර, එහි ද අඩුපාඩුකම් ඇති බැවින් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ද ඇය සඳහන් කළා ය.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන ළමුන්
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ තවදුරටත් ප්‍රශ්න කරමින් විමසා සිටියේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් යම් ළමුන් ප්‍රමාණයක් පාසල් පද්ධතියෙන් ඉවත් වී යන බැවින් එවැනි දරුවන් සම්බන්ධයෙන් ගත හැකි පියවර මොනවා ද? යනුවෙනි.
"පාසල් නොයන දරුවෝ වෙනුවෙන් කුමන හෝ වැඩසටහනක් ආරම්භ කරලා ඉවර වෙලා, අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙලා, සුබ සාධන වැඩසටහනක් හරහා මේ ආර්ථිකමය කාරණා මත පාසල් නොයන දරුවෝ, සපත්තු දෙක ගන්න බැරුව, රෙදි කෑල්ල ගන්න බැරුව, පොත් ටික ගන්න බැරුව යන ළමයි වෙනුවෙන් වැඩසටහනක් හදන්න අපිට යම් ක්‍රමවේදයකට පියවරක් තියන්න පුළුවන් ද කියලා දැන ගන්න කැමති."
දරුවන් වෙනුවෙන් රජයේ ශුභසාධන වැඩසටහන්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දරුවන් පාසල් අධ්‍යාපනය හැර යාම වළක්වා ගැනීමේ මුල් පියවර ලෙස දත්ත රැස් කිරීම ආරම්භ කර ඇති බව ඊට පිළිතුරු දෙමින් පැවසූ අගමැතිනි හරිනි අමරසූරිය, ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට කරනු ලබන මැදිහත් වීම පැහැදිලි කළා ය.
"ඒකට පළවෙනි පියවර හැටියට අපි දත්ත ලබා ගත යුතු යි. ඒ ක්‍රියාවලිය තමයි අපි දැන් ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි ඒ ක්‍රියාවලිය සම්පුර්ණ වෙනකම් ඉන්න බැරි නිසා තමයි අර අසම්පූර්ණ පද්ධතියක් තුළ හරි යම් මැදිහත් වීමක් කරන්නේ."
සපත්තු ලබා දීම, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම, සියලු දරුවන්ට නිල ඇඳුම් සහ පොත් ලබා දීම මෙන් ම ගැහැනු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබා දීම දැනටමත් ක්‍රියාත්මක බව ඇය පැවසීය.
තව ද, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා ගැනීමට අවශ්‍ය ආධාර ලබා දෙන බවත් එහි ඉලක්කය සීයට සීයක් සම්පූර්ණ වී නොමැති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරිය පැවසුවා ය.
අගමැතිනි හරිනි අමරසූරිය තවදුරටත් පැවසුවේ, මේ වසරේදී දත්ත සියල්ල රැස් කර ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් හඳුනාගෙන ශුභසාධන වැඩසටහන් පුළුල් කළ හැකි වනු ඇති බව ය.


































