අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි තරුණයා මිය ගියේ පහර දීමකින් ද?

Angunakolapelessa

ඡායාරූප මූලාශ්‍රය, Facebook

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මිය ගිය ජයසේකර ආරච්චිගේ අසංක ඉඳුනිල්ගේ මරණය පහර දීමකින් සිදුවූ බවට ඔහුගේ පවුලේ සාමාජිතයෝ සැක පළ කරති.

මිය ගිය 45 හැවිරිදි අසංක ඉඳුනිල්ගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද මරණ පරීක්ෂණයෙන් ඔහුගේ හිස් කබලට හානි සිදුව ඇති බව පවුලේ ඥාතීන්ට රෝහලෙන් දැන ගැනීමට ලැබී ඇත.

"කකුලේ තුවාල තියෙනවා ලු, කොන්දේ තුවාල තියෙනවා කියලා තමයි මල්ලිට කියලා තියෙන්නේ," යැයි මිය ගිය පුද්ගලයාගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා වන රජිත් පුෂ්පකුමාර බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

ඇප දීමට ගොස් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට ලක්වීම

මෙම සිදුවීමෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා පවසන්නේ, අප්‍රේල් 30 වන දා සිය මිතුරෙකු වෙනුවෙන් ඇප තැන්පත් කිරීමට අසංක ඉඳුනිල් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් තිබූ බව ය.

එම අවස්ථාවේ අධිකරණය තුළදී අසංකගේ දුරකතනය නාද වී ඇති අතර, එහිදී ඔහු පරීක්ෂා කිරිමේදී ලයිටරයක් ද සොයා ගෙන ඇති බවත්, ඉන්පසුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අසංක ඉඳුනිල් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව නීතිඥවරයා බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

"මෙයාව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා පත්‍රයක් දාලා රිමාන්ඩ් කරනවා අඟුණකොළපැලැස්සේ. මැයි 02 වන දා වගේ වෙනකොට මේ පුද්ගලයාට අසනීප වෙනවා. ඊට පස්සේ මෙයාව දානව බන්ධනාගාර රෝහලට, එතනින් බේරගන්න බැරි නිසා මෙයාව දානවා හම්බන්තොට රෝහලට. හම්බන්තොට රෝහලින් ආරංචි වෙනවා මෙයා මැරිලා කියලා."

අඟුණකොළපැලස්ස මහේස්ත්‍රාත් අධිකරණය මැයි 03 වන දා හම්බන්තොට රෝහලේ සුළු සේවා පාලක වෙත නියෝග කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය මියගිය අයගේ ඥාතියෙකු වන ගලගම මුල්ලගේ ලසිත් සුරංග වෙත භාර දෙන ලෙස ය.

මිය ගිය අසංකගේ මස්සිනා වන රජිත් පුෂ්පකුමාර බීබීසි සිංහල සේවය වෙත පැවසුවේ, බන්ධනාගාරගත කර සිටි අසංකගේ මිතුරා ද මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවට දැන ගන්නට ඇති බව ය.

'දඬුවම් නැති නිසා දිරි ගැන්වීමක් ලැබිලා'

"2019 අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට දණ ගස්සලා පොලුවලින් ගැහුවේ. ඒ වගේ වධහිංසා පරිසරයක් තියෙන ආයතනයක් මේක. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැතිවරයා අවශ්‍ය පියවරක් ගන්න ඕනේ. පියවරක් ගන්න කියලා අපි ඉල්ලීමකුත් කළා."

"පහුගිය කාලේ දිගින් දිගට ම බන්ධනාගාර රැඳවියන්ට වධහිංසා කරපු අවස්ථාවල කිසිම දඬුවමක් දුන්නේ නෑනේ කිසි කෙනෙකුට. එතකොට දැන් දිරි ගැන්විලා වගේ ගතියක් පේන්න තියෙනවා ඒකෙනුත් බේරන්න පුළුවන් කියලා," යනුවෙන් නීතිඥ සේනක පෙරේරා පැවසීය.

'කලහකාරී ලෙස හැසිරුණ නිසා' තනිව රැඳවීම

බන්ධනාගාර දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ, බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියා කලහකාරී ලෙස හැසිරුණු බැවින් ඔහු තනිව රැඳවීමට පියවර ගත් අතර එහිදී ඔහු බිම ඇද වැටී සිටිනු දැක රෝහල්ගත කළ බව ය.

'මෙම රැඳවියා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නවක රැඳවියන් රඳවනු ලබන වාට්ටුවක රඳවා සිටි අතර, එහිදී ඔහුගේ කලහකාරී හැසිරීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර පසුව තනිව රැඳවීමට කටයුතු කර ඇත. මෙම රැඳවියා මෙසේ රඳවා සිටි වාට්ටුවේ බිම ඇද වැටී සිටින බව දැක, කඩිනමින් බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරයාගේ නිර්දේශයට අනුව අගුණකොළපැලැස්ස මූලික රෝහල වෙත ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කරන ලදී.'

රැඳවියන් පහර දුන්නා දැයි විමර්ශනයක්

හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රැඳවියා මිය ගොස් ඇති බව මෙන් ම අධිකරණ වෛද්‍ය නිලධාරියා ලබා දී ඇති වාර්තාවට අනුව පහර දීමක් සිදුව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසීය.

බන්ධනාගර රෝහලේ රඳවා සිටියදී මිය ගිය රැඳවියාගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැඳවියන්ගේ යම් පහර දීමකට ලක්ව ඇති බවට සැක කරන බැවින් ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

"මේ සම්බන්ධයෙන් ආයතන මටට්ටමින් පළමු පෙළ ජේලර්වරයෙකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශනය සදහා වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා යොදවා තියෙනවා. තව ද, අගුණකොළපැලැස්ස පොලීසිය මගින් ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. අගුණකොළපැලැස්ස වැඩබලන මහේස්ත්‍රාත්තුමිය විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කෙරුණා," බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ ය.