ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ තර්ජනයට ලක්ව ඇති ඉරානයේ රහසිගත මධ්‍යස්ථානය, පිකැක්ස් කන්ද යනු කුමක් ද?
- Author, ජනමාධ්‍යවේදී රෙසා සබේටි, අතිරේක වාර්තාකරණය BBC Verify
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඉරානයට එරෙහිව මෑතකදී කළ තර්ජනවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් එරට එතරම් ප්‍රසිද්ධියක් නැති න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිළිබඳව සඳහන් කර තිබේ. ටෙහෙරානය, න්‍යෂ්ටික කේන්ද්රපසාරික යන්ත්‍ර (සෙන්ට්‍රිෆියුජ්) "පිකැක්ස් කන්ද" වෙත ගෙනයාමට ඉඩ ඇති බවට පළ වන වාර්තා පිළිබඳව විමසූ විට එක්සත් ජනපදය එම භූගත සංකීර්ණයට "ඉතා දැඩි ලෙස... බොහෝ විට ඉතා ඉක්මනින්" ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපතිවරයා සපථ කළේ ය.
තවමත් ඉදිවෙමින් පවතින අධිආරක්ෂිත මෙම සංකීර්ණය, ටෙහෙරානයට කිලෝමීටර් 220ක් පමණ දකුණින් පිහිටි ඉස්ෆහාන් පළාතේ නටාන්ස්හි පිහිටි දියුණු කේන්ද්රපසාරික යන්ත්‍ර නිෂ්පාදන සහ එකලස් කිරීමේ මධ්‍යස්ථානය වෙනුවට භාවිත කිරීම ඉරානයේ අදහසයි.
නමුත් එහි ඇස්තමේන්තුගත ප්‍රමාණය, උමං මාර්ගවල ගැඹුර සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින්ට ප්‍රවේශ වීමට නොහැකි වීම හේතුවෙන්, පිකැක්ස් කන්ද ඉරානයට වෙනත් කටයුතු සඳහා යොදාගත හැකි බවට මත පළ වී ඇත. එමෙන් ම මෙම ස්ථානය, ඉරානයේ ප්‍රබල ලෙස බලගන්වන ලද යුරේනියම් තොග පිළිබඳ ප්‍රශ්න සමග ද සම්බන්ධ වී තිබේ.
2020 ජූලි 2 වන දා නටාන්ස් න්‍යෂ්ටික සංකීර්ණයේ පිපිරීමක් සිදු විය. විවිධ වාර්තා මගින් ඊශ්‍රායලයට චෝදනා එල්ල කරමින් ඉරානය එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස හැඳින්වූ නමුත් ඊශ්‍රායලය කිසිදිනෙක එහි වගකීම භාර නොගත්තේ ය.
මාස කිහිපයකට පසුව එවකට ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රධානී අලි අක්බර් සලේහි, අසල පිහිටි කන්දක් තුළ වඩාත් නවීන, විශාල සහ පුළුල් ආදේශක පහසුකමක් සඳහා වූ සඳහා වූ සැලසුම් ප්‍රකාශයට පත් කළේ ය.
එමෙන් ම, 2020 සරත් සමයේදී කිලෝමීටර් 2ක් පමණ දකුණින් පිහිටි කොලැන්ග් ගැස්ලෝ හෝ පිකැක්ස් ලෙස හඳුන්වන කන්දක නව මධ්‍යස්ථානයේ සලකුණු මතු විය.
වර්තමානයේදී චන්ද්‍රිකා ඡායාරූප මගින් කන්දේ නැගෙනහිර සහ බටහිර පැතිවල උමං පිවිසුම් යුගල දෙකක් මෙන් ම එහි දකුණු පසින් මාර්ගයක් හෝ දොරටුවක් ඇති බව හෙළි කරයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 1,608ක පමණ උසකින් යුත් මෙම කන්ද තුළ භූගත මහල් ගණනාවක් ස්ථාපනය කර තිබිය හැකි බව එක්සත් ජනපදය පදනම් කර ගත් බුද්ධි මණ්ඩපයක් වන විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය (ISIS) පවසයි. නමුත් එහි අභ්‍යන්තර සැලසුම් වෙත ප්‍රවේශයක් නොමැතිව ඒවා සංඛ්‍යාත්මකව නිශ්චිතව පැවසීම සිදු කළ නොහැක.
උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයට අනුව, 2025 ජූනි මාසයේදී ඊශ්‍රායලය සමග ඇති වූ දින 12 යුද්ධයෙන් පසුව, සමස්ත සංකීර්ණය ම වට වන අයුරින් තාප්පයක් ඉදිකරමින් ඉරානය මෙම ස්ථානයට ඇති ප්‍රවේශය වඩාත් සීමා කර ඇත.
2026 පෙබරවාරි මාසයේදී, විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය විසින් විශ්ලේෂණය කරන ලද චන්ද්‍රිකා ඡායාරූප මගින් උමං දොරටු තවදුරටත් ශක්තිමත් කෙරෙමින් පවතින බව පෙන්නුම් කළේ ය. එක් ඡායාරූපයකින් අනාවරණ වූයේ, එක් පිවිසුම් දොරටුවකට ඉහළින් අලුතින් කොන්ක්‍රීට් අතුරා ඇති බවයි.
තවත් ඡායාරූපයකින් දෙවන උමං දොරටුව ගල් සහ පස් තද කර සමතලා කර ඇති බව පෙන්නුම් කළේ ය.
නමුත් විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනයේ නවතම තක්සේරු මගින් පවසන්නේ මෙම සංකීර්ණය තවමත් සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන බව පෙනෙන්නට නොමැති බවයි.
2026 ජූලි 9 වන දින ලබාගත් ඡායාරූපවලින් පෙනී යන්නේ ඇතැම් පිවිසුම් තවමත් විවෘතව පවතින බව සහ ඒවාට ප්‍රවේශ විය හැකි බවයි.
මේ අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කරන ලද නටාන්ස් හෝ ෆෝඩෝ සහ ඉස්ෆහාන් වැනි අනෙකුත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවට සුළු වශයෙන් සලකුණු පවතින බව චන්ද්‍රිකා ඡායාරූප පෙන්නුම් කරයි.
ජූලි 22 වන අඟහරුවාදා, ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ, පිකැකස් කන්දේ කිසිදු න්‍යෂ්ටික ක්‍රියාකාරකමක් සිදු නොවන බවයි.
පරමාණු වෙන් කිරීමේ ඉහළ ධාරිතාවක් ඇති නවීන කේන්ද්‍රාපසාරික යන්ත්‍ර සහිත කුඩා පරිමාණයේ යුරේනියම් බලගැන්වීමේ කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට තරම් මෙම ස්ථානය විශාල බව විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය (ISIS) ඇස්තමේන්තු කරයි. ඉන් අදහස් කෙරෙන්නේ කුඩා ස්ථානයක් තුළ යන්ත්‍ර කිහිපයකින් වැඩි යුරේනියම් ප්‍රමාණයක් බලගැන්විය හැකි බවයි. නමුත් මෙම කේන්ද්රපසාරික යන්ත්‍ර ස්ථාපනය කර ඇති බවට සාක්ෂියක් නොමැත.
කේන්ද්රපසාරික යන්ත්‍ර කොටස්, සංවේදී උපකරණ හෝ න්‍යෂ්ටික ඉන්ධන චක්‍රීය ද්‍රව්‍ය ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ද එය භාවිත කළ හැක.
න්‍යෂ්ටික ආයුධ සඳහා භාවිත කෙරෙන යුරේනියම් ලෝහ යොදා ගෙන සිදු කරන ක්‍රියාකාරකම් පවා එහි සිදුවිය හැකි බවට විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ආයතනය යෝජනා කර තිබේ.
නමුත් එවැනි කිසිවක් සඳහා සාක්ෂියක් නොමැත. සිසිලන කුළුණු, භාවිත කළ ඉන්ධන තැන්පත් කරන තටාක හෝ විශාල ජල සම්පාදන ජාලයක් වැනි සාමාන්‍යයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉදිකිරීමකදී දක්නට ලැබෙන ලක්ෂණ මෙම චන්ද්‍රිකා ඡායාරූපවල ප්‍රමාණවත් ලෙස නොමැති බව විශේෂඥයෝ පවසති.
කෙසේ වෙතත්, මෙම ස්ථානයේ සැබෑ අරමුණ කුමක්දැයි තීරණය කිරීමට ඇති ප්‍රධාන බාධාව වන්නේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට තවමත් මෙම සංකීර්ණයට ප්‍රවේශ වීමට අවසර ලබා දී නොතිබීම සහ ඉරානය එහි සැලසුම් පිළිබඳ තොරතුරු ලබා දී නොමැති වීමයි.
ඉකුත් මාර්තු මාසයේදී එම ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පැවසුවේ මෙම ස්ථානයේ සිදුවිය හැකි න්‍යෂ්ටික අරමුණු පිළිබඳව ඉරානය ලබා දී ඇති ප්‍රකාශ හමුවේ පරීක්ෂකවරුන්ට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.
මෙම හසුකම වෙත න්‍යෂ්ටික ද්‍රව්‍ය ගෙන එන තුරු ප්‍රවේශය අනවශ්‍ය බව ඉරානය පවසයි.
නමුත් බීබීසී ලෝක පුවත් සේවයේ Newsday වැඩසටහනට එක්වෙමින් ග්‍රොසී පැවසුවේ ''අප දැනටමත් එහි සිටිය යුතු යි.'' යනුවෙනි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නවතම තක්සේරුව වන්නේ, පරීක්ෂකවරුන්ගේ ප්‍රවේශය අහිමි වූ දින 12ක යුද්ධයේ පළමු දිනය වූ 2025 ජූනි 13 වන විට, ඉරානය සතුව 60%ක් දක්වා බලගන්වන ලද යුරේනියම් කිලෝග්‍රෑම් 440.9ක් තිබුණු බව ය. එය ආයුධ සඳහා අවශ්‍ය වන 90% මට්ටමට වඩා මදක් අඩු ප්රමාණයකි.
මේ වනවිට ඉරානයේ 60%ක් දක්වා බලගන්වන ලද යුරේනියම් වැඩි ප්‍රමාණයක් ෆෝඩෝ සහ නටාන්ස්හි නිෂ්පාදනය කර ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට දැන සිටිය ද, ඒවා අනිවාර්යයෙන් ම එම ස්ථානවල ම ගබඩා කර නොතිබුණු බව දැන සිටියේ ය. ඉස්ෆහාන් න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ද න්‍යෂ්ටික ද්‍රව්‍ය ගබඩා කර තිබිය හැකි බව ද එම ඒජන්සිය යෝජනා කළේ ය. 2026දී ග්‍රොසී පැවසුවේ කිලෝග්‍රෑම් 200කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් එහි භූගත සංකීර්ණය තුළ පැවතිය හැකි බවයි.
මෙවැනි පසුබිමක් තුළ පිකැක්ස් කන්ද යනු, විවිධ අනුමානකිරීම්වලට ලක්වූ ස්ථානයක් බවට පත්ව ඇත. නමුත් මෙම සිද්ධාන්ත තහවුරු කෙරෙන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ කිසිදු නිල වාර්තාවක්, ප්‍රකාශිත බුද්ධි තොරතුරක් හෝ තහවුරු කළ හැකි ඡායාරූපමය සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත්ව නොමැත.
එක්සත් ජනපදය ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත GBU-57 වර්ගයේ බංකර් බස්ටර් ප්‍රහාරයක් එල්ල කළේ ය. ටොන් 13.6ක බරින් යුත් මෙම බෝම්බය නිර්මාණය කර ඇත්තේ පිපිරීමට පෙර පස්, පාෂාණ සහ කොන්ක්‍රීට් ස්ථර විනිවිද යා හැකි ලෙස ය.
නමුත් මෙවැනි ප්රහාරයක සාර්ථකත්වය රඳා පවතින්නේ අදාළ ස්ථානයේ පාෂාණ වර්ගය, භූගත මධ්‍යස්ථානයේ ගැඹුර සහ ප්‍රහාරය එල්ල වන කෝණය මත ය. මෙම ප්‍රහාරය එල්ල වූයේ, වසර ගණනාවක් පුරාවට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ෆෝඩෝ මධ්‍යස්ථානය පිළිබඳ තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව ය. මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ න්‍යෂ්ටික පර්යේෂක මැතිව් ෂාප් වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, පිකැක්ස් කන්ද වෙත එල්ල කරන ප්‍රහාරයකින් එවැනි සාර්ථකත්වයක් අපේක්ෂා කළ නොහැකි විය හැකි බවයි. ඊට හේතුව එම සංකීර්ණය වඩාත් ගැඹුරින් පිහිටා තිබීම සහ එහි අභ්‍යන්තර සැකැස්ම පිළිබඳව හොඳ අවබෝධයක් නොමැති වීමයි.
මෙම සංකීර්ණයේ වඩාත් ම ගැඹුරු කොටස්වල න්‍යෂ්ටික ද්‍රව්‍ය ගබඩා කර ඇත්නම්, ගුවන් ප්‍රහාරයකින් ඒවා විනාශ කළ හැකි ද යන්න තවමත් පැහැදිලි නොමැත.
ප්‍රහාරයක් මගින් එහි ප්‍රවේශයට සහ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණවිය හැකි නමුත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ උමං පිවිසුම්, බලශක්ති සහ වායු හුවමාරු පද්ධති වඩාත් අවදානම්සහගත මට්ටමක පැවතිය හැකි බව යි. නැතහොත් ප්‍රහාරයකින් මෙම සංකීර්ණයේ අනාගත භාවිතය පවා වැළක්විය හැක.
පිකැක්ස් කන්දේ භූගත සංකීර්ණයේ ගැඹුර, දැඩි ආරක්ෂාව සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන තුළ එහි භූමිකාව හේතුවෙන් එක්සත් ජනපද බලධාරීන්ගේ දැඩි අවධානය ඒ වෙත යොමුවීමෙන් අනතුරුව එල්ල වූ ට්‍රම්ප්ගේ මෑතකාලීන තර්ජන පිළිබඳ මෙමගින් පැහැදිලි වනු ඇත.