ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි?' - පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) දින නියම කළේ ය.
මෙම පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතිව්‍යුහගත කරණයකට ලක්වී ඇති බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේ ය.
ඉන් අනතුරුව මෙම පෙත්සම දෙසැම්බර් මස 04 වන දා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ ය.
පෙත්සමේ සඳහන් වන්නේ කුමක් ද?
නීතිඥ විජිත කුමාර නමැත්තෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කරු කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය 2019 වසරේ සැප්තැම්බර් මස 12 වන දා සිට 15 වන දා තෙක් මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි නිවසේදී පැවති බව ය.
ඒ සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු මුදල රුපියල් 2,682,246.57ක් බව පෙත්සම්කරු පවසයි.
එම මංගලෝත්සවය පැවැත්වුණු සැප්තැම්බර් මස 12 සහ 15 අතර කාලය තුළදී එම නිවස සහ අවට ප්‍රදේශයට ආරක්ෂිත විදුලි ලාම්පු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසින් විදුලි බල සහ බලශක්ති ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බව පෙත්සමේ සඳහන් වේ.
ඒ අනුව, එවක විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා විසින් එම ප්‍රදේශයට විදුලිය ලබා දෙන ලෙසට විදුලි බල බලධාරීන් දැනුවත් කරනු ලැබ ඇති බවත්, ඊට අදාළ ගෙවීම් එම පවුලේ සාමාජිකයන් ගෙවීමට සූදානම් බවට කරුණු ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.
එහෙත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බව පවසන පෙත්සම්කරු වගඋත්තරකරුවන් සිය බලය අයුතු ලෙස භාවිත කරමින් අදාළ විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර විදුලි බිල ගෙවීම පැහැර ඇති බවටත් චෝදනා කළේ ය.
පෙත්සම දැම්මේ ඇයි?
එසේ තිබියදී තම නිවසේ රුපියල් 7390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව පවසන පෙත්සම්කරු අතිවිශාල විදුලි බිලක් නොගෙවා තිබියදී වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකර තම නිවසේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන් ම නීතිය ඉදිරියේ අසමාන ක්රියාකලාපයක් බවත් පවසයි.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.
කිසි වෙනත් හිටපු අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මියයාමට පෙර ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ, නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය සදහා ගෙවිය යුතු මුදල තමන් විසින් ගෙවනු ලැබූ බව ය.