අධික වර්ෂාවෙන් ලක්ෂ 3කට වැඩි පිරිසකට පීඩා: ඉදිරි දිනවල වර්ෂා තත්ත්වය කෙබඳු ද?

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA AIR FORCE
- Author, දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩයම සහ බීබීසී සිංහල
- Role, නව දිල්ලි සහ කොළඹ සිට
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඇද හැළුණු අධික වර්ෂාව සහ තද සුළං නිවාස, ගොවිබිම් සහ මාර්ග වෙත බලපෑම් ඇති කළේ ය. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල දුම්රිය ධාවනයට ද බාධා එල්ල විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වර්ෂාවෙන් ලක්ෂ 3කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය.

පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වීමේ අවදානමක්
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වන දින අලුයම 5:30ට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවතිණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එම පද්ධතිය නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වීමේ හැකියාව ඇති බව ය.
කෙසේ වෙතත්, එය සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි ද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් බීබීසී සිංහල කළ විමසීමකදී පැවසීය.
එම දෙපාර්තමේන්තුව පවසන පරිදි උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

ඉදිරි දින තුන සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැසි පිළිබඳ අනතුරු ඇඟවීම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම පීඩන අවපාතය පැයට කිලෝමීටර් 2-3 වේගයකින් ඉතා සෙමින් ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තය වෙත ළඟා වෙමින් තිබෙන බව ය. ඒ අනුව, හෙට (නොවැ. 29) දිනයෙන් පසු ශ්‍රී ලංකාවේ උතුරු පළාත හැර සෙසු පළාත්වලට ඉන් ඇති වන බලපෑම පහව යන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියා බීබීසී සිංහල කළ විමසීමකදී වැඩිදුරටත් පැවසීය.
මුහුදේ තත්ත්වය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇති වීමට ඉඩ තිබේ.
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී.60-70 දක්වා ඉහළ යා හැක. මීට අමතරව, දිවයින ආසන්නයේ ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.



































