ගාසා තීරයේ දරුවන් ඉලක්ක කරමින් ඊශ්‍රායලය හිතාමතාම ජන සංහාරයක: එක්සත් ජාතීන්ගෙන් බරපතළ චෝදනාවක්

File photo showing Palestinian children looking out from their family's destroyed house following an Israeli air strike, in Shati refugee camp, northern Gaza (29 October 2025)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමට අනුව, ගාසා යුද්ධයෙන් මියගිය පිරිසෙන් 30%ක් පමණ දරුවන් වේ
    • Author, ඩේවිඩ් ග්‍රිටන්, ස්ටෙෆනි හෙගාර්ටි
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඊශ්‍රායලය පලස්තීන දරුවන් හිතාමතාම ඉලක්ක කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරය තුළ ජන සංහාරයක්, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සිදු වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමක් ප්‍රකාශ කරයි. එමෙන්ම ඊශ්‍රායලය විසින් අත්පත් කර ගෙන සිටින බටහිර ඉවුර තුළ ද ඔවුන් යුද අපරාධ සිදු කර ඇති බව එම කොමිසම පවසයි.

නවතම වාර්තාවක් මඟින් චෝදනා කරන්නේ ඊශ්‍රායල බලධාරීන් සහ ආරක්ෂක හමුදා "ලක්ෂ සංඛ්‍යාත පලස්තීන දරුවන්ට මරණය, බරපතළ ශාරීරික හා මානසික හානි පමුණුවන ක්‍රියා හිතාමතාම සිදු කර ඇති" බව සහ පසුගිය ඔක්තෝබර් මාසයේදී ගාසා තීරය සඳහා පැනවූ සටන් විරාමයෙන් අනතුරුව පවා මෙම ඝාතන අඛණ්ඩව සිදුව ඇති බවයි.

කොමිසම පවසන්නේ එම ප්‍රහාර "දරුවන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන ලද උපායමාර්ගයක කොටසක්" බව නිගමනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.

මෙම වාර්තාව "අපහාසාත්මක, ව්‍යාජ" වාර්තාවක් බවත්, ''මීට පෙර නිකුත් කරන ලද වාර්තා මෙන්ම මෙය ද හුදෙක් ප්‍රචාරක ලේඛනයක් පමණක් බවටත් චෝදනා කරමින් ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය පැවසුවේ එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශයට එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරය තුළ හමුදා මෙහෙයුමක් ආරම්භ කළේය. හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගියහ.

හමාස් පාලනය යටතේ පවතින ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම අවස්ථාවේ සිට මේ දක්වා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ළමුන් 21,280කට වැඩි පිරිසක් ඇතුළුව පුද්ගලයන් 73,035කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දත්ත විශ්වසනීය තොරතුරු ලෙස පිළිගනී.

ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා 2021 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ''අත්පත් කර ගනු ලැබූ පලස්තීන භූමිය සහ ඊශ්‍රායලය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කොමිසම'' පිහිටුවන ලදී.

සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් එම විශේෂඥ මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් නිල වශයෙන් ප්‍රකාශ නිකුත් නොකරයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම කොමිසම චෝදනා කළේ ඊශ්‍රායලය ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට එරෙහිව ජනසංහාරයක් සිදුකරන බවටය. ඔවුන්ගේ වාර්තාවක දැක්වුණේ 1948 ජනසංහාරක සම්මුතිය යටතේ අර්ථ දක්වා ඇති ජනසංහාරක ක්‍රියා පහෙන් හතරක්ම ඊශ්‍රායල බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් සිදුකර ඇති බව නිගමනය කිරීමට සාධාරණ පසුබිම් පවතින බවයි.

එය විකෘති සහ අසත්‍ය බව පවසමින් ඊශ්‍රායලය එම වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

මීට පෙර මෙම විමර්ශන කොමිසම නිගමනය කර තිබුණේ 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සහ අනෙකුත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් යුද අපරාධ සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සිදුකර ඇති බවයි. එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක අංශ ද ගාසා තීරයේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සිදුකර ඇති බවට කොමිසම මීට පෙර නිගමනය කර තිබිණි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද්ධය අවසන් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ විය.

එතැන් සිට සටන් විරාමය උල්ලංඝනය කරන බව පවසමින් දෙපාර්ශ්වයම නැවත නැවතත් එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කර ගෙන තිබේ. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පලස්තීනුවන් 1,020කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සහ ඒ අතර ළමුන් 265 දෙනෙකු ද සිටින බවයි. ඊශ්‍රායල හමුදාව පවසන පරිදි ඔවුන්ගේ සෙබළුන් සිව්දෙනෙකු මියගොස් ඇත.

ඉකුත් අඟහරුවාදා වාර්තාව සමග නිවේදනයක් නිකුත් කරමින් විමර්ශන කොමිසම පැවසුවේ ගාසා තීරය තුළ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වල දැඩි ස්වභාවය සහ ක්‍රමානුකූල බව අඛණ්ඩව සිදුව තිබූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීන දරුවන්ට පෙර නොවූ විරූ මරණ, තුවාල සහ දැඩි මානසික කැලඹීම්වලට මුහුණ දීමට සිදුව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

"2025 ඔක්තෝබර් මාසයේ එළඹි සටන් විරාමයෙන් පසුව පවා දරුවන් ඝාතනය වීම සහ බරපතළ ලෙස තුවාල ලැබීම අඛණ්ඩව සිදුවෙනවා. සටන් විරාමය මෙන්ම ජාත්‍යන්තර නීතිය යටතේ පලස්තීන දරුවන්ට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳව ඊශ්‍රායලය සලකා බැලීමක් සිදු කර නැහැ." විමර්ශන කොමිසමේ සභාපතිත්වය දරන ඉන්දීයාවේ ප්‍රවීණ අධිකරණ විනිසුරුවරයෙකු වන ශ්‍රීනිවාසන් මුරලිදර් පැවසීය.

"පලස්තීන දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ පැවැත්ම පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතිනවා.'' ඔහු වැඩිදුරටත් පවසයි. ''ළමයින් ඉලක්ක කිරීමෙන් ඊශ්‍රායලය සැබවින්ම පහර දෙමින් සිටින්නේ පලස්තීන ජනතාවගේ පැවැත්මට සහ ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට ඇති හැකියාවටයි."

කොමිසමේ නවතම වාර්තාව පවසන්නේ quadcopter ඩ්‍රෝන යානා සහ ස්නයිපර් තුවක්කු වැනි නිරවද්‍ය ආයුධ භාවිත කරමින් ශරීරයේ වැදගත් අවයවවලට වෙඩි තැබීම මගින් ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන දරුවන් ඍජුව ඉලක්ක කර ඇති බවයි. එමෙන්ම දැඩි විනාශයක් කළ හැකි අවි ආයුධ භාවිත කරමින් ළමුන්ගෙන් පිරී ඉතිරී ගිය නේවාසික ගොඩනැඟිලි, පාසල් සහ අවතැන් කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තාවේ දැක්වේ.

ඊශ්‍රායල සෙබළුන් සහ බටහිර ඉවුරේ වෙසෙන පදිංචිකරුවන් විසින් පලස්තීන දරුවන් ඉලක්ක කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද ඊශ්‍රායලයට නීතිමය වගකීමක් පවතින බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වෙසෙන පලස්තීන දරුවන්, විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන පිරිමි ළමුන්, "ඊශ්‍රායල බන්ධනාගාර සහ රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථාන තුළදී අත්අඩංගුවට පත්වීම, වධහිංසාවලට සහ අකටයුතුකම්වලට ලක්වීම සිදුව ඇති" බව ද මෙම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී හෝ රැඳවුම්භාරයේ සිටින අතරතුර පලස්තීන දරුවන් ඉලක්ක කර සිදු කළ "ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ සිදුවීම්'' ද එම කොමිසම ලේඛන ගත කර ඇත.

වාර්තාවට අනුව, ගාසා තීරයේ පිහිටි නොමේරූ බිළිඳුන් සහ ළමුන් සඳහා වන රෝහල් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දරුවන්ට ජීවිතය රැකගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ක්‍රමානුකූලව අහිමි කර ඇති අතර ආරක්ෂිත කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ පැවැත්මට ද එය දැඩි තර්ජනයක් වී ඇත.

ඊශ්‍රායලය සාගින්න යුද උපක්‍රමයක් ලෙස භාවිත කරන බවට ද චෝදනා කරන මෙම වාර්තාව, ගාසා තීරයට මානුෂීය ආධාර ඇතුළුවීම සීමා කිරීම හේතුවෙන් ගාසා හි දරුවන් අතර උග්‍ර සහ නිදන්ගත මන්දපෝෂණ තත්ත්වයක් උද්ගත වී ඇති අතර එය ඔවුන්ගේ ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය මූලික තත්ත්වයන් පවා අහිමි කර තිබෙන බවට ද අනතුරු අඟවයි.

එමෙන්ම අදාළ වාර්තාවෙන් චෝදනා කරන්නේ පාසල් වෙත එල්ල කරන ප්‍රහාර, මහා පරිමාණ අවතැන් කිරීම සහ බලහත්කාරයෙන් වසා දැමීම හරහා ඊශ්‍රායල බලධාරීන් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ක්‍රමානුකූලව කඩාකප්පල් කර ඇති අතර එමගින් පලස්තීන සමාජයේ බුද්ධිමය හා සමාජීය පදනම විනාශ කරමින් සිටින බවයි.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය මෙම වාර්තාව දැඩි ලෙස හෙළා දැක තිබේ. ඔවුන් පවසන්නේ මෙම කොමිසම "සත්‍යය සෙවීම වෙනුවට, ඊශ්‍රායලය හුදකලා කිරීම සහ අපකීර්තියට පත් කිරීම අරමුණු කරගත් මූලික වශයෙන් දෝෂ සහිත යාන්ත්‍රණයක්" වූ බවයි.

"හමාස් සංවිධානය විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද, පැහැර ගන්නා ලද සහ ඉලක්ක කරන ලද ඊශ්‍රායල දරුවන් පිළිබඳ මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම මකා දමා තිබෙන අතර හමාස් සංවිධානය විසින් පලස්තීන දරුවන් මිනිස් පලිහක් ලෙස සහ යුද්ධයේදී ඉත්තන් ලෙස භාවිතා කිරීම ද මෙහිදී නොසලකා හැර තිබෙනවා," එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි. එමෙන්ම ඔවුන් චෝදනා කළේ කොමිසමට එම චෝදනා විශ්වසනීයව තහවුරු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති බවයි.

ජනසංහාරය පිළිබඳ එල්ල වන චෝදනා ඊශ්‍රායල නායකයන් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් පවසන්නේ ගාසා තීරය තුළ සිදු කරන සිය හමුදා මෙහෙයුම් ස්වයං ආරක්ෂාව වෙනුවෙන් සහ හමාස් ඇතුළු අනෙකුත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් පරාජය කර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් සිදු කරන බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බවත්, සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

ඊශ්‍රායල හමුදාව ජනසංහාරයක නිරත වන බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව විසින් ගොනු කරන ලද නඩුවක් මේ වන විට ජාත්‍යන්තර අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. නමුත් ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට වසර කිහිපයක් ගත විය හැක. ඊශ්‍රායලය මෙම නඩුව හඳුන්වා දී ඇත්තේ "පදනම් විරහිත" සහ "පක්ෂග්‍රාහී සහ අසත්‍ය ප්‍රකාශ" මත පදනම්වූවක් ලෙසය.