පිල් මාරු කිරීම: නසීර් අහමඩ්ට අත්වූ ඉරණම තවත් කී දෙනෙකුට අත්වෙයි ද?

The Supreme court Colombo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

පිල් මාරු දේශපාලනය යනු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ සුලභව හමුවන මාතෘකාවකි.

පිල් මාරු කිරීම් පිළිබඳව පිළිකුල්සහගත ආකාරයේ ප්‍රතිචාරයක් සමාජය තුළ පවතින අතර, පිල් මාරුව‌ට විරුද්ධ ඡන්දදායකයින්ට සැනසිලිදායක තත්ත්වයක් මේ වන විට උදා වී තිබේ.

ඒ, පරිසර අමාත්‍යධූරය දැරූ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බවට පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග ය.

මේ වන විට නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය අහෝසි වී ඇති අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා අලි සාහිර් මෞලානා සෙයියඩ් පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ ය.

ඓතිහාසික නඩු තීන්දුව

පරිසර අමාත්‍යධූරය දැරූ නසීර් අහමඩ්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බව පසුගිය ඔක්තෝබර් හයවන දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ක‌ළේ ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරනු ලැබ තිබුණු අතර, එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය ප්‍රකාශයට පත් කර තිබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විනය පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කරමින් නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුකර ඇති බවත්, අධිකරණය එයට මැදිහත් නොවිය යුතු බවත් පිටු 62ක තීන්දුවක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

2022 වසරේ අප්‍රේල් මාසයේ දී, එවකට පරිසර අමාත්‍යධූරය දැරූ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කෙරින.

ඊට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නිල වශයෙන් යොමු කරන ලද්දේ 2022 අප්‍රේල් මස 25 වන දා ය.

එම පක්ෂයේ ලේකම් නිසාම් කාරිප්පර් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රතිපත්තිවලට හා මතයට පිටුපා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ආණ්ඩුවේ විවිධ තීරණයන්ට සහය දැක්වීමත් පසුව පසුගිය දා අමාත්‍යධූරයක් ලබා ගැනීමත් යන චෝදනා යටතේ නසීර් අහමඩ්ට එරෙහිව දීර්ඝ විනය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුව ඔහු පක්ෂයෙන් හා මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ය.

පිල් මාරු කිරීම යනු කුමක් ද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඔහුට/ඇයට මන්ත්‍රීධූරය හිමිවූ පක්ෂයේ මතයට විරුද්ධ මතයක් පාර්ලිමේන්තුව තුළ දැරීම සහ තමන් නියෝජනය කරන පක්ෂයට පටහැනිව ක්‍රියා කිරීම පිල් මාරු කිරීම යනුවෙන් හැඳින්වේ.

එවන් අවස්ථාවක අදාළ මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අදාළ පක්ෂයේ මහ ලේකම්වරයා ක්‍රියා කරයි.

ඉන්පසු, අධිකරණමය ක්‍රියාවලියකට නොයන්නේ නම්, පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලද දිනයේ සිට මාසයක කාලයකට පසු මන්ත්‍රීවරයාගේ හෝ වරියගේ පාර්ලිමේන්තු අසුන අහිමිවන බව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 99(13)(අ) වන ව්‍යවස්ථාව මඟින් පැහැදිලි කර තිබේ.

අධිකරණමය ක්‍රියාවලියකට අවතීර්ණ වුවහොත් එහි තීන්දුව ලැබෙන තුරු මන්ත්‍රීවරයාගේ හෝ වරියගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය අහෝසි වන්නේ නැත.

පක්ෂ සාමාජිකත්වය අහෝසිකර මාසයක් ගතවීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් පසු එම අහෝසි කිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි නොවන බව ද 99(13)(අ) වන ව්‍යවස්ථාවේ අතුරු වගන්තියකින් පෙන්වා දී තිබේ.

Sri Lanka Constitution

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament

තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අවදානම් තත්ත්වයක

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවේ.

මේ වන විට, නසීර් අහමඩ්ට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අදාළව ඔවුන් නියෝජනය කරන පක්ෂ විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඇතැමුන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹී තිබේ.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඇතුළු පිරිසක් ඒ අතර වෙති.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් කරන ලද විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, පක්ෂයේ විනය කඩ කළ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ය.

ඔවුන් ඊට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කිරීමෙන් පසු ලැබෙන අධිකරණ තීන්දු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර, පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරමින් සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ, නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී ය.

එම තීන්දුව පිළිබඳව අධ්‍යයනය කිරීම විශේෂ නීතිඥ කණ්ඩායමකට භාර දුන් බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

පිල් මාරු ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ පිල් මාරු කිරීම අළලා පැවරුණු නඩු කීපයක් වෙයි.

1991 වසරේ, ගාමිණී දිසානායක එදිරිව එම්.සී.එම්. ඛලීල් සහ තවත් අය නඩුව, 1993 තිලක් කරුණාරත්න එදිරිව සිරිමාවෝ බණ්ඩාරනායක සහ තවත් අය, 2000 වසරේ සරත් අමුණුගම හා තවත් අය එදිරිව කරූ ජයසූරිය හා හා තවත් අය ආදිය ඉන් කීපයකි.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී පිල් මාරු කළ දේශපාලනඥයන් රැසක් හමුවෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, දයාසිරි ජයසේකර, මංගල සමරවීර, මනූෂ නානායක්කාර, වෛද්‍ය රාජිත සේනාරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වසන්ත සේනානායක, විජේදාස රාජපක්ෂ, විජිත් විජයමුනි සොයිසා, හරින් ප්‍රනාන්දු, ඩයනා ගමගේ ඉන් කීපදෙනෙකි.

සරත් එන්. සිල්වා දුන් අර්ථකථනය

ජාතික මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු වන නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල සේවයට පැවසුවේ, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා දුන් තීන්දුවක් අනුව පිල් මාරු කිරීම සම්බන්ධයෙන් පැවති අර්ථකථනය වෙනසකට ලක්වූ බව ය.

"ගාමිණී දිසානායක, ලලිත් සම්බන්ධයෙන් මීට කලින් නඩු තීන්දුවක් දීලා තිබුණා. ඊට පස්සේ සරත් එන්. සිල්වා අගවිනිසුරුවරයා ලෙස වැඩ කරන කාලෙ දීපු නඩු තීන්දුවක් මඟින්, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජනතාව වෙනුවෙන් පිල් මාරු කරන්න ඉඩක් තියෙන්න අවශ්‍ය යි කියලා අර්ථකථනයක් දුන්නා. ඒත් මහජනතාව වෙනුවෙන් කියලා යන අය හෘද සාක්ෂියට එකඟව නෙවෙයි, විවිධ ප්‍රතිලාභ සඳහා යන ප්‍රවණතාවක් තමයි දකින්න තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක හෘද සාක්ෂිය කියන එක අවභාවිතාවක් සිද්ධ වෙනවා."

කෙසේ වෙතත්, නසිර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යම් අනතුරු ඇඟවීමක් නිකුත් වී ඇති බව ද නිමල් පුංචිහේවා පවසයි.

"මේ ප්‍රවණතාව හොඳ යි. විවිධ තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් පිල් මාරු කරන එක අනුමත් කරන්න බැහැ. ඒ අයට ජනතාව ඡන්දය දීලා තියෙන්නේ, ඔවුන් අයත් පක්ෂය සමග කටයුතු කරයි කියන විශ්වාසය මත යි. ඒ අය පිල් මාරු කළොත් ඒක ජනතා මතයට පටහැනි යි. ඒ නිසා, ඉදිරියේ දී පිල් මාරු දේශපාලනයේ යෙදෙන දේශපාලනඥයින්ට මේ නඩු තීන්දුව හරහා යම් අනතුරු ඇඟවීමක් නිකුත් වෙලා තියෙනවා. ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්."

මේ අතර, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු පැවසුවේ, ඉදිරියේ දී ලැබෙන අධිකරණ තීන්දු අනුව සුදුසු පියවර ගැනීමට සූදානම් බව ය.