'ඩෙංගු අධිවසංගත තත්ත්වයක්': 'මිය ගිය 31 දෙනාගෙන් 25ක් ම කාන්තාවන්' - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
2026 වසරේ ජූනි 29 වන දා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 54,189ක් වාර්තා වී ඇති අතර ඔවුන් අතරින් රෝගීන් 31 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත පෙන්වා දෙයි.
එවැනි පසුබිමක ජූනි 30 වන දා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දුන්නේ, එම මිය ගිය පිරිස අතරින් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් බව ය.
ඩෙංගු රෝග ව්‍යාප්තියත් සමග තත්ත්වය "බරපතළ තත්ත්වයකට" පැමිණ ඇති බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක අනතුරු ඇඟවීය.
"අපේ රෝහල් පද්ධතිය දැන් උපරිම ප්‍රමාණයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මීටත් වඩා රෝගීන් වැඩි වෙන්න ගත්තොත්... රෝගීන්ට අවශ්‍ය හොඳ ම ප්‍රතිකාර ලබා දෙන්න අපහසු වෙනවා. එතකොට මරණ ගණන ශීඝ්‍ර ලෙස ඉහළ යන්න ඉඩ තිබෙනවා.
"ඒක නිසා අපි දැන්වත් මේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙන එක වළක්වා ගැනීමට මහ ජනතාවගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා," ඔහු අනතුරු ඇඟවීය.
එමෙන් ම, ශ්‍රී ලංකාව තුළ මේ වන විට "ඩෙංගු අධිවසංගත" තත්ත්වයක් නිරීක්ෂණය වන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලෙවිගේ මෙම මාධ්‍ය හමුවේදී පැවසුවා ය.
'මිය ගිය 31 දෙනාගෙන් 25 දෙනෙක් ම කාන්තාවන්'
මේ දක්වා මියගොස් ඇති ඩෙංගු රෝගීන් 31 දෙනාගෙන් 25 දෙනෙකු ම කාන්තාවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර මෙම මාධ්‍ය හමුවේදී දත්ත වාර්තා උපුටා දක්වමින් පෙන්වා දුන්නා ය.
ඇය සඳහන් කළේ, සමස්ත මරණවලින් වයස අවුරුදු 19ට අඩු මරණ වාර්තා වී ඇත්තේ 5ක් බවත් සෙසු මරණ සියල්ල වයස අවුරුදු 20 ඉක්මවූවන් බවත් ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ වන විට සතියකට ඩෙංගු රෝගීන් 5,200 දෙනෙකු පමණ වාර්තා වී ඇති බව ඇය තවදුරටත් පැවසුවා ය.
කාන්තා මරණ ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පැවසුවේ, මැදිවියේ කාන්තාවන් අතර මෙම ප්‍රවණතාව නිරීක්ෂණය වන බව ය.
කෙසේ වෙතත්, ඊට හේතුව නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමට දැනට දත්ත නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය.
"මම හිතන්නේ අපිට දත්ත වශයෙන් නැති වුණත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙනවා පරක්කු දෝ කියලා සැකයක් තියෙනවා," ඔහු පැවසීය.
"අපිට ඒක දත්ත මගින් බලන්න වෙනවා. මොකද ප්‍රතිශතයක් විදිහට ගත්තා ම ඉතා වැඩි ප්‍රතිශතයක්. මැදි වයසේ කාන්තාවන් තමයි මේ මරණවලට ගොදුරු වෙලා තියෙන්නේ," සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.
"සමහර විට මට හිතෙනවා, අපේ සමාජ තත්ත්වයන් අනුව ගෙදර ඉන්න අම්මා හෝ ආච්චිව වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්නේ ප්‍රමාද වෙලා. ළමයින්ගේ වැඩ ටික කරලා, ස්වාමියාගේ වැඩ ටික කරලා, දවසක් දෙකක් හෝ පමා වෙනවා දෝ කියලා සැකයක් තියෙනවා," ඔහු පැවසීය.
එසේ වුව ද, ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ හැකි රෝග ලක්ෂණ පෙන්වන්නේ නම්, නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ඉල්ලීමක් කරමුන් සඳහන් කළේ ය.
"රෝග ලක්ෂණ තියෙනවා නම්. ප්‍රමාද වෙන්න එපා, සංකූලතා වැඩි වෙනවා."
තව ද ස්ථූලභාවය සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇති පුද්ගලයින් ද ඩෙංගු රෝගයෙන් ප්‍රවේසම් විය යුතු බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු අනතුරු ඇඟවූයේ එවැනි පුද්ගලයින්ට සංකූලතා ඇති වීමේ අවදානම ඉහළ බව ය.
"ඔවුන්ට සැකසහිත උණ රෝගයක් තියෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ," අවධාරණය කළේ ය.
අධිඅවදානම් ප්‍රදේශ මොනවා ද?
මේ වන විට වැඩි ම ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා වන්නේ බස්නාහිර, දකුණු සහ සබරගමු යන පළාත්වලින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමහරවීර මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා ය.
ඇය පෙන්වා දුන්නේ, අධිඅවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මාතර, ගාල්ල, රත්නපුර, නුවර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව සහ පුත්තලම හඳුනාගෙන ඇති බව ත් ඒවායේ විශේෂ ඩෙංගු මර්දන කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ය.
සෙසු දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වන අතර රෝගීන් වාර්තා නොවන දිස්ත්‍රික්ක නොමැති බව ඇය පැවසුවා ය.
'ඇන්ටිජන් එක නෙගටිව් වුණත් ඩෙංගු තියෙන්න පුළුවන්'
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලෙවිගේ පෙන්වා දුන්නේ, ඩෙංගු රෝගය වෛරස් වර්ග 4කින් ආසාදනය විය හැකි බවත් ඒවා DENV-1, DENV-2, DENV-3 සහ DENV-4 ලෙස හඳුන්වන බවත් ය.
"2017 ලංකාවේ ඉතා දරුණු ඩෙංගු වසංගත තත්ත්වයක් තිබුණා. ඒ වෙලාවේ ඩෙංගු 1 කියන වෛරසයෙන් තමයි ලංකාවේ අධිවසංගත තත්ත්වය ආවේ. 2016 ඉඳන් දැන් වෙනකම් ඩෙංගු 2 කියන වෛරසය ලංකාවේ තිබුණා. නමුත් 2023, 2024 වසරවල්වල වැඩිපුර ම ලංකාවේ දකින්න ලැබුණේ ඩෙංගු 3 කියන වෛරසය," ඇය පැහැදිලි කළා ය.
මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, මේ වන විට රෝහල්ගත කෙරෙන රෝගීන්ගෙන් 80%කට පමණ ආසාදනය වී ඇත්තේ DENV-2 වෛරසය බව ත් DENV-3 වෛරසය ආසාදනය වී ඇත්තේ 20%කට පමණ බවත් ය.
"මේ වෛරස් සෑහෙන කාලයක් තිස්සේ ලංකාවේ තිබ්බ වෛරස්. වැදගත් ම දේ තමයි, මොන වෛරසය ආසාදනය වුණත්, අපි කොහොම ද ඉක්මනට රෝගය හඳුනා ගෙන ප්‍රතිකාරවලට යොමු වෙන්නේ කියන එක. මොක ද මේ දවස්වල චිකුන්ගුන්යා තියෙනවා, ඒ වගේ ම ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා සහ වෙන වෙන වෛරස් උණ වර්ග කිහිපයක් ම තියෙනවා," ඇය පැහැදිලි කළා ය.
කෙසේ වෙතත්, යම් පුද්ගලයෙකුට DENV-2 වෛරසය ආසදනය වී ඇති නම් ඩෙංගු රෝගය වැළඳී ඇතැයි ද තහවුරු කර ගැනීම සඳහා සිදු කරන NS1 ඇන්ටිජන් පරීක්ෂණයේදී, එය 'පොසිටිව්' ලෙස සටහන් වීමට ඇත්තේ අඩු ඉඩක් බව ඇය පෙන්වා දුන්නා ය.
"ඩෙංගු 3 වෛරස් එක නම් ශරීරගත වෙලා තියෙන්නේ, 80%ක් වගේ NS1 එක පොසිටව් වෙනවා. නමුත් ඩෙංගු 2 ආසාදනය වෙලා නම්, 63%ක් තමයි පොසිටිව් වෙන්නේ.
"ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්, නමුත් NS 1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුළුවන්.
"ඒක නිසා ඒ ටෙස්ට් එක නෙගටිව් වුණු පළියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා, වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. ඒක තමන්ව හෝ තමන්ගේ පවුලේ කෙනෙක්ව අමාරුවේ දැමීමක්," ඇය අනතුරු ඇඟවූවා ය.
රෝග ලක්ෂණ මොනවා ද?
අධික උණ, හිසරදය, ඇඟපත වේදනාව, ඇස් පිටුපස වේදනාව, කොන්දේ වේදනාව සහ වමනය වැනි රෝග ලක්ෂණ බහුලව ඩෙංගු රෝගියෙකුගෙන් නිරීක්ෂණය වන කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.
ඔහු අවධාරණය කළේ, "මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඔබට ඩෙංගු වැළඳී තිබීමේ ඉඩකඩ ගොඩක් වැඩියි," යනුවෙනි.
ඇතැම් අවස්ථාවලදී පාචනය වැනි තත්ත්වයත් ද ඇති වන බව ඔහු පෙන්වා දුන්නේ ය.
"මෙවැනි ලක්ෂණ තියෙනවා නම්, උණ පටන් අරන් පැය 48 ඇතුළත 'full blood count' පරීක්ෂණය කර ගෙන, වෛද්‍යවරයෙක් හමුවී උපදෙස්" ලබා ගත යුතු බව ඔහු පැවසීය.
"සමහර විට ඒ වෙද්දී උණ බැහැලා තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩෙංගුවල උණ දවස් 4ක් 5ක් තියෙනවා. සමහර වෙලාවට ඊට කලින් අඩු වෙනවා.
"එහෙම අඩු වුණත් රුධිර පරීක්ෂණය කර ගැනීම වැදගත් වෙනවා, මොක ද මේ අවස්ථාවේ ඩෙංගු තියෙන තත්ත්වය එක්ක බැලුවා ම," විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
උණ පවතින විට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබා ගැනීමෙන් වැළකිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.
"උණට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ නොගැනීම වැදගත් වෙනවා. වෙනත් වේදනා නාශක සහ ස්ටෙරොයිඩ් ඖෂධ ගන්න එපා," ඔහු පැවසීය.
විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේ, නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම මෙන් ම රෝගය වැළඳුණු පසු ශාරීරිකව විවේක ගැනීම සහ ප්‍රමාණවත් පරිදි තරල පානය කිරීම (කැඳ, ජීවනී, තැඹිලි) වැදගත් බව ය.


































