සීත කාලගුණය දිගටම පවතියි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නුවරඑළිය, වැලිමඩ, බදුල්ල ජනතාවට සීත කාලගුණය නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් 2022 දෙසැම්බර් මාසය තුළ එම ප්‍රදේශවල ජනතාවට පමණක් නොව පෙර නොවූ විරූ තරම් සීත කාලගුණ තත්ත්වයකට මුහුණ පෑමට දිවයින පුරා ම වෙසෙන ජනතාවට සිදුවිය.
ඇතැම් විට එම සීත කාලගුණ තත්ත්වය මධ්‍යම කඳුකරයට පමණක් නොව කුරුණෑගල, ත්‍රිකුණාමලය, බිබිල, මොනරාගල වැනි නගරවලට ද දැඩි ලෙස බලපා තිබිණි. මේ සීත කාලගුණයට හේතුව කුමක් ද? මෙය දිගටම පවතීවි ද? මෙය ශ්‍රී ලංකා කාලගුණයේ වෙනසක් ද?
නගර රැසක උෂ්ණත්වය පහළට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන බීබීසීය සමග කියා සිටියේ, දෙසැම්බර් මස මුල පැවති සීත කාලගුණයට සාධක කිහිපයක් එක විට බලපෑ බවය.
“මේක වුණේ ඉන්දියාවේ දුමාරය, ඒ දූලි අංශු අපිට ආවා. ඒ අංශු පැතිරලා යාම නිසා තමා ඒක වුණේ. ඒ සමගම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති සුළි කුණාටු තත්ත්වය නිසා ලොකු වලාකුළු ආවරණයක් තිබ්බා, ශ්‍රී ලංකාව ආශ්‍රිතව. ඒ නිසා හම්බන්තොට උෂ්ණත්වය පවා සෙල්සියස් 3කින් බැස්සා,” ඇය පැවසුවාය.
“වායු දූෂණය, වැස්ස, සුළඟ. ඒ වගේ ම සුළි කුණාටුව තීව්‍ර වුණේ ලංකාව ආශ්‍රිතව. මේ සියල්ල නිසා තමා ඒක වුණේ,” අචාර්ය ජයවර්ධන පැවසුවාය.
“සමකය උඩ තියෙන රටකට සීත සෘතුවක් එයි කියලා අපේක්ෂා කරන්න බැහැ. කොහොම වුණත් 'ලා නිනා' තත්ත්වයක් නේ තියෙන්නේ. ඒ නිසාත් ශීත කාලගුණයක් තියෙනවා. රස්නෙ ගතිය අඩුයි.”
දෙසැම්බර් 8 වන දා බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සතරත් පහත් අතර අගයකින් පහත වැටී තිබිණි.
මේ හේතුවෙන් නැගෙනහිර සහ උතුරු පළාතේ ගවයන් හා එළුවන් වැනි සතුන් මියයාමේ සිද්ධි ද වාර්තා විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
“උෂ්ණත්වය සෙල්සියස් අංශක නවයක් අඩු වුණා කටුගස්තොට, කරුණෑගල සෙල්සියස් අංශ 8කින් පමණ අඩු වුණා. ඒක පාරටම උෂ්ණත්වය අඩුවීමක් පෙන්නුම් කළා, ත්‍රිකුණාමලයේ අවම උෂ්ණත්වය සෙල්සියස් 16කට පමණ අඩු වෙලා තිබුණා. ඒක මං හිතන්නේ ත්‍රිකුණාමලයේ වාර්තා වූ අඩුම අවම උෂ්ණත්වය,” ආචාර්ය ශීරෝමනී ජයවර්ධන පැවසුවාය.
"සීතල හුළඟ ඇඟට වදිනකොට අපිට දැනෙන සීතල තවත් වැඩියි. සුළඟයි, වැස්සයි, සීතලයි එකට අවා මේ පාර. මම හිතන්නේ සත්තුන්ටත් ඒක බලපාන්න ඇති. වැඩිපුර ම සත්තු මැරුණේ ඒ වැස්ස පැවති ප්‍රදේශවල. එළියේ ගාල් කරන සත්තු.”
“ලබන ජනවාරි මාසය ගත්තම සීතල ගතිය එන්න පුළුවන්. ඊසාන දිග මෝසමේදී මේ සීතල එන්න පුළුවන්. සුළං හමන්නේ ඉන්දියාව දෙසින්. සමහර වෙලාවට පාන්දරට සීතල එන්න පුළුවන්. වලාකුළු නොමැති වීම නිසා විකිරණ බාධාවක් නොමැතිව පිටවීම නිසා, සීතල වෙනවා පොළොව. ඒ නිසා මීදුම සහ මල්තුහින වුණත් ඇති වෙන්න පුළුවන් දවල්ට රස්නෙයි, රෑට සීතලයි කියලා කියන්නේ ඒකයි,” ඇය අනාවරණය කළාය.
2022 දෙසැම්බර් සිට 2023 පෙබරවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ උපරිම උෂ්ණත්වය සඳහා සම්භාවිත පුරෝකථන අනුව, මන්නාරම, වව්නියාව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, කොළඹ, ගම්පහ, රත්නපුරය, ගාල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල දිගුකාලීන සාමාන්‍ය උපරිම උෂ්ණත්වයට වඩා මඳක් පහළ යාමේ හැකියාව ඇතැ යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සාමාන්‍යය ඉක්මවූ වර්ෂාපතනයක්!
සාමාන්‍යයෙන් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස සැලකෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කුණාටු ඇති වන සමය ලෙසයි. අඩු පීඩන කලාප, පීඩන අවපාත මෙන් ම සුළි කුණාටු බොහෝමයක් ඇති වන්නේ මෙම කාල සීමාව තුළය.
“වර්ෂාපතනය ගත්ත ම නොවැම්බර් වැස්ස ටිකක් අඩු වුණා. නමුත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති වෙලා තියෙනවා සමස්තයක් විදිහට 2022 වසර තුළදී 105%ක් වගේ වැහැල තියෙනවා. දෙසැම්බර් මාසය අවසන් වන විට මම හිතන්නේ තව වැඩි වෙයි. සාමාන්‍ය ප්‍රමාණයට ආසන්න හෝ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපනයක් ලෙස මේක සැලකිය හැකියි.”
මෙරට අපේක්ෂිත වාර්ෂික වර්ෂාපතන අගය මිලිමීටර් 1861කි.
ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව දිවයිනේ දේශගුණය නිවර්තන කලාපික දේශගුණික ලක්ෂණවලින් යුක්ත වේ.
දිවයිනේ දක්ෂිණ අර්ධයේ මධ්‍යම කොටස කිලෝමීටර් 2.5ට වැඩි උසින් යුත් කඳු සහිත ප්‍රදේශයකි. මධ්‍යම උස්බිම්වල අභ්‍යන්තරය, වැටි, කඳු මුදුන්, සානු, නිම්න, මිටියාවත්, මොහොර වැනි සංකීර්ණ භූ ලක්ෂණවලින් සමන්විතය.
දිවයිනේ ඉතිරි ප්‍රදේශයට අයත් පහත් බිම් තැනින් තැන ඉස්මතු වී තිබෙන කුඩා කඳු ගැට හැරුණු විට සාමාන්‍යයෙන් තැනි බිමකි.
විශේෂයෙන් ම මෝසම් සමයේ ව්‍යාප්ත වන සුළං රටා, කාලීන වර්ෂාපතන, උෂ්ණත්ව, සාපේක්ෂ ආර්ද්‍රතා සහ අනෙකුත් දේශගුණික තත්ත්වයන්ට මෙම භූ ලක්ෂණ බෙහෙවින් බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වර්ෂාපතනය
ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයට බහුවිධ සම්භවයක් ඇත. වාර්ෂික වර්ෂාපතනයෙන් බහුතරය මෝසම්, සංවහන, සුළි සුළං වැසිවලින් යුක්ත වේ.
වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය වඩාත් වියළි පෙදෙස්වල (ඊසාන දිග සහ ගිනිකොණ දිග) මිලිමීටර් 900 අඩු ප්‍රමාණයක සිට වඩාත් තෙත් පෙදෙස්වල (මධ්‍යම කඳුකරයේ බස්නාහිර බෑවුම්) මි.මී. 5000ට ඉහළ ප්‍රමාණයේ දක්වා වෙනස් වන විවිධි ප්‍රමාණවලින් යුක්ත වේ.
"ගෝලීය උණුසුම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා සුළං හැමීමේ රටාව වෙනස් වෙනවා. ලා නිනා එක තවත් මාස කිහිපයක් තියෙයි. පෙබරවාරි මාසය දක්වා, දීර්ඝ ලා නිනා එකක් මේක. මේක විශේෂයි. 98, 99, 2000 ලානිනා තිබ්බා. උෂ්ණත්වය ගෝලීය වශයෙන් අඩු වීමක් තියෙනවා. ලෝකයටම සිසිල්භාවයක් තියෙනවා මේ නිසා.
ලා නිනා යනු ස්පාඤ්ඤ භාෂාවෙන් "කුඩා දැරිය" යන අරුත දෙන වදනක් වන අතර, ලා නිනා තත්ත්වයන්වල දී වෙළෙඳ සුළං වෙන දාට වඩා ශක්තිමත්ව, උණුසුම් සාගර ජලය ආසියාව දෙසට තල්ලු කරයි (වෙළෙඳ සුළං යනු අතීතයේ වෙළෙඳ නැව් යාත්‍රා කිරීමේදී උපකාරී වූ වේගවත්, බලගතු සුළං ප්‍රවාහයකි).
උණුසුම් තරංග ඇති වෙයි ද?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන පැවසුවේ, ඉදිරියේදී උණුසුම් තරංග (heatwave) අපේක්ෂා කළ හැකි බවය.
ගෝලීය උණුසුම හේතුවෙන් ලොව පුරා සුළං හැමීමේ රටාවේ වෙනස්කම් සිදුවිය හැකි බව ඇය පැවසුවාය.
“ඉස්සරහට උණුසුම් තරංග බලාපොරොත්තු වෙනවා. 2030 වසරෙන් එහාට උපකල්පන දිහා බලපුවාම හීට් වේව්ස් එන්න චාන්ස් එකක් තියෙනවා කියලා පෙන්වනවා. අපිට තියෙන වාසිය තමා මේ තියන මුහුද. ඒ නිසා අපිව කූල් වෙනවා. වව්නියා, අනුරාධපුර වගේ නගරවල උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා සෙල්සියස් අංශක තුනක් හතරක් වැඩි වෙන්න පුළුවන්,” ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ ඉහළ වායුගෝලීය උෂ්ණත්වයේ නිරීක්ෂණය වන ප්‍රාදේශීය වෙනස්කම්වලට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අක්ෂාංශවල බලපෑමට වඩා උන්නතාංශයේ බලපෑමයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය සැලකීමේදී පහත් බිම්වල අතිශයින් එක සමාන උෂ්ණත්ව තත්ත්වයන් ද, උස්බිම්වල සීඝ්‍රයෙන් අඩු වන උෂ්ණත්ව තත්ත්වයන් ද ප්‍රදර්ශනය කරයි.
පහත් බිම් වල 27.5°Cක වාර්ෂික උෂ්ණත්වයක් සමග 100m සිට 150m උන්නතාංශයක් දක්වා 26.5°C සහ 28.5°C අතර වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය වෙනස් වෙයි.
උස්බිම්වල උන්නතාංශයේ වැඩිවීමත් සමග ඉතා ඉක්මනින් උෂ්ණත්වය පහළ බසියි. මුහුදු මට්ටමේ සිට 1800m ඉහළින් පිහිටි නුවර එළියේ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය 15.9°Cකි. මාසික මධ්‍යන්‍ය උෂ්ණත්වයට අනුව වඩාත් සීත මාසය සාමාන්‍යයෙන් ජනවාරි වන අතර වඩාත් උණුසුම් මාස අප්‍රේල් සහ අගෝස්තු වේ.
වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය වෙරළාසන්න පහත් බිම්වල 27°C සිට (මුහුදු මට්ටමේ සිට 1900mක් ඉහළ) මධ්‍යම කඳුකරයේ නුවර එළියේ 16°Cත් අතර විචලනය වේ.
































