ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය සමග ඇති කර ගත් ගිවිසුමකින් පසු හමාස් සංවිධානය ආයුධ අත්හැරීමට එකඟ වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
මාස ගණනාවක් පුරා පැවති "ඉතා දුෂ්කර" සාකච්ඡාවලින් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය සමග ගිවිසුමකට එළැඹීමෙන් පසු, "සම්පූර්ණ නිරායුධකරණයකට" හමාස් සංවිධානය එකඟ වී තිබේ.
මෙය "ඓතිහාසික ඉදිරි පිම්මක්" ලෙස හඳුන්වන සාම මණ්ඩලය පවසන්නේ, නිරායුධකරණයෙන් අනතුරුව "ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වීම" සිදුවනු ඇති බව ය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය එම සැලැස්ම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නැත.
ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සාම සැලැස්ම යටතේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යන පාර්ශ්ව දෙක ම එකඟතාවකට පැමිණ තිබූ කරුණක් වන 'ගාසා තීරයෙන් ඉවත් වීම' සිදු නොකිරීමට ඊශ්‍රායලය තීරණය කළහොත්, ජනාධිපති ට්‍රම්ප් "ඉතා දැඩි කලකිරීමකට" පත්වනු ඇතැයි එක්සත් ජනපද නිලධාරියෙක් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
මේ අතර, ගාසා තීරයේදී මෙම නිවේදනය සම්බන්ධයෙන් මහ ජනතාව දැඩි උද්යෝගයක් නොදක්වන බව කයිරෝවේ සිට වාර්තාකරණයේ නියැලෙන බීබීසී ගාසා වාර්තාකරු රුෂ්ඩි අබුලුෆ් පවසයි.
"වසර ගණනාවක් පුරා අසාර්ථක වූ සටන් විරාමයන් සහ බිඳ වැටුණු ගිවිසුම්වලින් පසුව, නව දේශපාලන ප්‍රගතියක් පිළිබඳව බොහෝ පලස්තීනුවන් තුළ දැඩි සැකයක් ඇති වී තිබේ," යැයි ඔහු ලියයි.
බොහෝ දෙනෙකු තුළ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය යන පාර්ශ්ව දෙක ම කෙරෙහි පවතින්නේ අඩු විශ්වාසයක් වන අතර, ඊට හේතුව වී ඇත්තේ, බිම් මට්ටමේ අර්ථවත් දියුණුවක් ඇති කිරීමට පෙර සිට ම පෙර පැවති ගිවිසුම් දිගින් දිගට ම බිඳ වැටීම ය.
සැලැස්ම කුමක් ද?
BBC වෙත ලැබුණු පිටු හතරකින් යුත් ක්‍රියාමාර්ග සැලැස්මකට අනුව, හමාස් සංවිධානයේ එකඟතාව ඊශ්‍රායල් හමුදා ක්‍රමයෙන් ඉවත් කර ගැනීම සහ ජාත්‍යන්තර සහය ලබන නව පලස්තීන අන්තර්කාලීන අධිකාරියක් ස්ථාපනය කිරීම යන කරුණු සමග සම්බන්ධ කෙරෙන අදියරගත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනු ඇත.
එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ, මෙම සැලැස්ම හිතාමතා ම "ශුන්‍ය විශ්වාසය" මත සහ සත්‍යාපනය සමග ගොඩනගා ඇති බවත්, තම කැපවීම් ඉටු කරන තුරු හමාස් හෝ ඊශ්‍රායලය ඊළඟ අදියර කරා නොයන බවත් ය.
හමාස් සංවිධානය තම රාජ්‍ය හමුදා යටිතල පහසුකම් ලෙස විස්තර කළ උමං මාර්ග, අවි ගබඩා සහ නිෂ්පාදන පහසුකම් විසුරුවා හැරීමට පටන් ගැනීමට පෙර ගාසා තීරයේ කුඩා කණ්ඩායම් පළමුව නිරායුධ කරන බව ඔවුහු පැවසූහ. මෙම ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ඔවුහු පිළිගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සැලසුම් සිතියමේ (roadmap) අදියරයන් සම්පූර්ණ වූ පසු, නව පලස්තීන අධිකාරියක් ගාසා තීරයේ ආයුධ පිළිබඳ පූර්ණ පාලනය සියතට ගනු ඇත.
ගාසා තීරයේ සිටින හමාස් පොලිස් බළකාය සිය අවිආයුධ අන්තර්කාලීන බලධාරීන් වෙත භාර දෙනු ඇතැයි එක්සත් ජනපදය සහ නිලධාරී මණ්ඩලය පවසයි.
ඉන්පසු, බර අවි ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සිදු කෙරෙනු ඇති අතර, ඊට උමං මාර්ග සහ ගබඩා වසා දැමීම මෙන් ම එම ස්ථානවල ක්‍රියාත්මක වන සටන්කරුවන්ගේ රාජකාරි අත්හිටුවීම ද ඇතුළත් වනු ඇත.
මෙය "අතිශය තාක්ෂණික ක්‍රියාවලියක්" වනු ඇති අතර, එහිදී මතු වන ප්‍රධාන ගැටලුවක් වනුයේ එකතු කරන ලද ආයුධ ආරක්ෂිතව ගබඩා කරන්නේ කෙසේ ද? යන්න ය.
අවසාන වශයෙන්, ගාසා තීරයේ ඇති සියලු ම පෞද්ගලික ආයුධ සම්බන්ධයෙන් පලස්තීන නීතියට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇත.
ඊළඟට කුමක් වෙයි ද?
ඊශ්‍රායලයේ ඉවත් වීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න තවමත් ඉතිරිව පවතී.
"එවැනි පියවරකට දිගු කලක් තිස්සේ විරුද්ධ වූ අන්ත දක්ෂිණාංශික සන්ධාන හවුල්කරුවන්ගෙන් එල්ල වන පීඩනය හමුවේ, ගාසා තීරයෙන් ස්ථිරව ඉවත් වීම සම්බන්ධයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙතෙක් සැලකිය යුතු උනන්දුවක් පෙන්නුම් කර නොමැත." BBC උතුරු ඇමෙරිකානු වාර්තාකරු ෂයිමා ඛලීල් පවසයි.
උදාහරණයක් ලෙස, ඊශ්‍රායල් හමුදා භාර දෙන්නේ කාට ද, සහ කහ රේඛාව ලෙස හඳුන්වන ස්වාරක්ෂක කලාපය මෙම ඉවත් කර ගැනීමේ එකඟතාවට ඇතුළත් වේ ද? ආදී සාම ක්‍රියාවලියට අදාළ මෙහෙයුම් ප්‍රශ්න රාශියක් ද ඇති බව ඇය පවසයි.
මෙම ගිවිසුම ක්‍රියාත්මක වේ ද? යන්න පිළිබඳව තීරණය කිරීමට තවමත් කල් වැඩි බව ද අබුඅලූෆ් පවසයි.
නමුත් එය ක්‍රියාත්මක වුවහොත්, වසර තුනකට ආසන්න කාලයක් පැවති ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා එය "පළමු විශ්වසනීය පියවර" වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නායකත්ව මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව ගාසා තීරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස ඛලීල් අල්-හයියා පත් කිරීමට හමාස් සංවිධානය පියවර ගෙන තිබේ.
සාකච්ඡාවලට සම්බන්ධ පලස්තීන නිලධාරීන් විශ්වාස කරන්නේ, ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් මුහුණ දී සිටින දරුණු මානුෂීය තත්ත්වයන් හමුවේ, හමාස් සංවිධානයේ ඉතිහාසයේ වඩාත් ම තීරණාත්මක දේශපාලන තීරණය ගැනීමට එහි නව නායකත්වය සූදානමින් සිටි බව ය.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර, ඉන් පුද්ගලයින් 1,200 දෙනෙකු මියගිය ගොස්, තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනු ලැබූහ.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්වසනීය යැයි සැලකෙන, හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන එම ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, ළමුන් 21,280 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 73,290කට අධික සංඛ්‍යාවක් එහිදී මිය ගියහ.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක විය. නමුත් ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එතැන් පටන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අවම වශයෙන් පලස්තීනුවන් 1,168 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊළඟට, කයිරෝව ගාසා සාම සැලැස්මේ මැදිහත්කරුවන් අතර රැස්වීමක් "ළඟදී ම" පවත්වනු ඇති බව රාජ්‍යයට අයත් පුවත් සේවයක් වන Al-Qahera News සිකුරාදා (ජූලි 31) වාර්තා කළේ ය. මැදිහත්කරුවන් අතර ඊජිප්තුව, ඇමෙරිකා එක්සත් ජනපදය, කටාර් සහ තුර්කිය වේ.
"අදාළ සියලු පාර්ශ්ව ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ඇති කැපවීම තහවුරු කිරීම" සඳහා වන එම හමුවීම කවදා පැවැත්වෙන්නේ ද යන්න නිශ්චිතව සඳහන් නොකළ, "තොරතුරු දන්නා ඊජිප්තු පාර්ශ්වයක්" වෙතින් එම ප්රවෘත්ති ආයතනය අදාළ තොරතුරු තහවුරු කරගෙන තිබිණි.

































