නේපාල-ටිබෙට් දේශසීමාවේ ඇති වූ හදිසි ගංවතුරෙන් මිය ගිය පිරිස 300 ඉක්මවයි; 900කට වැඩි පිරිසක් අතුරුදන්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

නේපාලයේ ටිබෙට් දේශසීමාව අසල රසුවා ප්‍රදේශයේ භෝටේකෝෂි ගංගාවේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 332 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, පුද්ගලයින් 900කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීම් සහ කළමනාකරණ අධිකාරිය පවසයි.

අතුරුදන් පිරිස අතරින් 500කට වැඩි පිරිසක් සංචාරකයින් බව වාර්තා කර තිබේ.

බදාදා (අගෝ: 26) පෙරවරු 9:00ට පමණ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දේපළවලට දැඩි හානි සිදුවන්නට ඇතැයි නේපාල බලධාරීහු සැක පළ කරති.

ක්ෂණික ගංවතුර ඇති වීමට බලපෑ හේතුව කුමක් ද?

නේපාල - ටිබෙට් දේශසීමා ආශ්‍රිතව සිදුවූ හදිසි ජලගැලීම්වලට හේතුව කුමක් ද? යන්න පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඍජු නිශ්චිත පිළිතුරක් ලබා දීමට මෙතෙක් සමත් වී නැත. ටිබෙටය ද ඇතුළත් හිමාල කලාපයේ දුෂ්කර භූ ප්‍රදේශ, ඇතැමුන් පවසන පරිදි ජලගැලීම් ආරම්භ වූ ස්ථානය විය හැකි අතර, එහි මිනිස් වාසය ඉතා සීමිත වීම නිසා නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.

මූලික තොරතුරු උපුටා දක්වමින් නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ශිශිර් ඛනල් පාර්ලිමේන්තුවට පැවසුවේ, එරට වේලාවෙන් පෙරවරු 8.37ට පමණ එම ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව ඇති බව ය.

ඒ අනුව, මෙම හදිසි ජලගැලීම සිදුවන්නට ඇතැයි ඔහු අනුමාන කරයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, මුලදී භූ කම්පනයක් යැයි වාර්තා කළ ද "ග්ලැසියර කඩා වැටීමක් සහ සුන්බුන් කඳු බෑවුම දිගේ පහළට ගලා ඒම," හේතුවෙන් පහත් බිම්වලට විනාශකාරී බලපෑම් ඇති වූ බව ය.

නමුත් මෙවැනි ව්‍යසනයක් ඇති වීමට හේතු වූ සිදුවීම් මාලාව නිශ්චිතව ම කුමක් ද? යන්න තේරුම් ගැනීමට විද්‍යාඥයෝ තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිති.

අමාත්‍යවරයා පවසන්නේ, නේපාලයට පමණක් නොව චීනයට ද මෙම සිද්ධිය හේතුවෙන් "විශාල හානි" සිදුව ඇති බවයි.

නේපාලය මේ සම්බන්ධයෙන් චීනය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බව ඔහු පවසයි. මේ වන විට පොලිස් නිලධාරීන් 26 දෙනෙකු, සන්නද්ධ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු සහ හමුදා සාමාජිකයින් 44 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද ඔහු සඳහන් කරයි.

දේශසීමාවේ දෙපසම විදේශිකයන් සිය ගණනක් අතුරුදහන් වී ඇත . නේපාලය පවසන්නේ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 178 ක්, නේපාලයෙන් පැමිණි සංචාරකයින් 127 ක්, ඇමරිකානුවන් 65 ක් සහ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් 33 ක් ඊට ඇතුළත් බවයි.

රේගු හා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු ද අතුරුදන්ව ඇති බව ඔහු තවදුරටත් පවසයි.

මාර්ග, පාලම්, සන්නිවේදන සහ ජල විදුලි යටිතල පහසුකම්වලට ද විශාල හානි සිදුව ඇති අතර මෙම ආපදාවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ රසුවා සහ නුවාකොට් දිස්ත්‍රික්ක බව ද ඔහු සඳහන් කරයි.

ජනපති අනුරගෙන් නේපාල බලධාරීන්ට සහ ජනතාවට පණිවුඩයක්

නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සාතිශය සංවේගය පළ කර තිබේ.

X පණිවුඩයක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, නේපාලයේ ගංවතුරට හසුවූ ජනතාව බේරා ගැනීමේ සහ හානියට පත් ප්‍රදේශ පිළිසකර කිරීමේ මෙහෙයුම්වලට සහය වීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ය.

වීඩියෝව නරඹන්න

2015 වසරේ පුද්ගලයින් 9,000කට ආසන්න පිරිසකට මරු කැඳවූ භූමිකම්පාවෙන් පසු නේපාලය මුහුණ දුන් දරුණුතම ආපදාව මෙයයි.

නේපාල-චීන දේශසීමාව ඔස්සේ පහළින් පිහිටි දිස්ත්‍රික්ක කිහිපයකට මෙම ආපදාවෙන් බලපෑම් එල්ල වී තිබේ. ජීවිත හා දේපළ විශාල ගණනක් විනාශ වී ඇති බව බලධාරීන් පවසන නමුත්, හානියේ නිශ්චිත ඇස්තමේන්තුවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත.

භෝටේකෝෂි ගඟ දෙපස පිහිටි රසුවා සහ නුවාකොට් දිස්ත්‍රික්කවල ජනාවාස කිහිපයක් මෙම ආපදාවෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ. මෙම ප්‍රදේශවල ජනගහනය අඩු වුව ද, එහි මාර්ග නේපාලය සහ චීනය අතර වෙළෙඳාමට අත්‍යවශ්‍ය ප්‍රධාන සම්බන්ධතාවක් ලෙස ක්‍රියා කරයි.