පකිස්ථානයේ දෙවන වරටත් අගමැති වූ ෂබාස් ෂරීෆ් යනු කවු ද?

ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමෙන් පසු ෂබාස් ෂරීෆ් ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2022 වසරේදී ය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමෙන් පසු ෂබාස් ෂරීෆ් ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2022 වසරේදී ය
Published

පකිස්ථානයේ අලුතින් පිහිටුවන ලද පාර්ලිමේන්තුව විසින් ෂබාස් ෂරීෆ් දෙවන ධුර කාලය සඳහා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබ තිබේ.

ඔහු සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහය හිමි ප්‍රතිවාදියා පරාජයට පත් කළේ ය.

මෙම පියවර ගෙන ඇත්තේ, බිය ගැන්වීම් සහ වංචා කිරීම් පිළිබඳ චෝදනා ලද අවිනිශ්චිත මහ මැතිවරණයකින් සති තුනකට පසුව ය.

ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂය ඡන්ද විමසීමෙන් දෙවන ස්ථානයට පත්විය. ඛාන්ගේ පීටීඅයි පක්ෂයේ සහය ලද ස්වාධීන අපේක්ෂකයෝ වැඩි ම ආසන ගණන දිනා ගත් නමුත් බහුතරයක් ලබා ගැනීමට අසමත් වූහ.

ෂරීෆ් පාර්ලිමේන්තු ඡන්ද 201ක් ලබා ගත් බව එරට ජාතික සභාවේ කතානායක අයාස් සාදික් මාර්තු 4 වැනිදා නිවේදනය කළේ ය. අගමැති වීම සඳහා ඔහුට ඡන්ද 169ක් අවශ්‍ය විය.

ඛාන්ගේ ටෙරීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සහය ලද ඔහුගේ ප්‍රතිවාදියා වූ ඕමාර් ආයුබ් ඡන්ද 92ක් ලබා ගත්තේ ය.

ඡන්ද විමසීමට පෙර ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ ජාතික සභාවෙන් පිටත විරෝධතාවක නිරත වූහ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඡන්ද විමසීමට පෙර ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ ජාතික සභාවෙන් පිටත විරෝධතාවක නිරත වූහ

සිය ජයග්‍රාහී කතාවේදී ෂරීෆ් කියා සිටියේ, කිසිදු පාර්ශවයකට පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් නොතිබූ වූ බැවින්, "ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම්" සමාන අදහස් ඇති පක්ෂ සභාග රජයක් පිහිටුවීම බව ය.

පසුගිය මාසයේ පැවති මැතිවරණයෙන් පසුව, ෂබාස් ෂරීෆ්ගේ සහෝදරයා වන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන මුස්ලිම් ලීගය නවාස් (පීඑම්එල්-එන්) - පකිස්ථාන මහජන පක්ෂය (පීපීපී) සමග සභාග ගිවිසුමකට එළඹියේ ය.

2022 වසරේදී සම්ප්‍රදායිකව ප්‍රතිවාදීන් වූ එම පක්ෂ දෙක එකතු වී ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් නෙරපා, ෂරීෆ් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කර ගත්තේ ය.

පසුගිය අගෝස්තු මාසයේදී සභාව විසුරුවා හැරීමෙන් පසු පකිස්ථානය භාරකාර රජයක් විසින් මෙහෙයවනු ලැබීය.

ඉම්රාන් ඛාන් පවසන්නේ තමාට එරෙහි දූෂණ නඩු දේශපාලන අරමුණු මත සිදු වූ ඒවා බව ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉම්රාන් ඛාන් පවසන්නේ තමාට එරෙහි දූෂණ නඩු දේශපාලන අරමුණු මත සිදු වූ ඒවා බව ය

පෙබරවාරි 6 වන දා පැවති මැතිවරණයට පෙර ඉම්රාන් ඛාන් සිරගත කෙරුණු අතර ඔහුට ඒ සඳහා පෙනී සිටීම ද තහනම් විය.

ඔහුගේ පක්ෂයට එරෙහි මර්දනයක් ලෙස ඔහුට අපරාධ සහ සිවිල් චෝදනා 150කට වැඩි ගණනක් එල්ල වී ඇති අතර ඒ සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි.

පීටීඅයි අපේක්ෂකයින්ට ස්වාධීනව තරග කිරීමට සිදු වූ නමුත් ඔවුහු අනෙක් පක්ෂවලට වඩා වැඩි ආසන ගණනක් දිනා ගත්හ.