නව ආණ්ඩුවක් පිහිටුවීමට පකිස්ථානයේ දේශපාලන පක්ෂ දෙකක් අතර එකඟතාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මතභේදයට තුඩු දී ඇති මැතිවරණයකින් පසු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පකිස්තානයේ දේශපාලන පක්ෂ දෙකක් නිළ එකඟතාවකට පැමිණ තිබේ.
පකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (පීඑම්එල්එන්) පක්ෂයට පකිස්ථාන මහජන පක්ෂය (පීපීපී) නව පාලනයක් තුළ සහාය දක්වනු ඇතැයි ඔවුහු ඒකාබද්ධව නිවේදනය කළහ.
බන්ධනාගාර ගතකර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පක්ෂපාතී අපේක්ෂකයින්ට වඩා අඩු ආසන සංඛ්‍යාවක් මෙම පක්ෂ දෙකම දිනා ගත්තේය.
X හි, පණිවිඩයක් තබමින් ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය විසින් නව සභාගය "ජනවරම සොරාගත්" පිරිසක් ලෙස නම් කරනු ලැබීය.
ඉම්රාන් ඛාන්ගේ පක්ෂය චෝදනා කරන්නේ තම ආධාරකරුවන් බලයෙන් ඈත් කිරීම සඳහා ඡන්දය වංචා කර ඇති බවට ය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
හිටපු අගමැති සහ පීඑම්එල්එන් සභාපති ෂාබාස් ෂරීෆ් "ආර්ථික සහ අනෙකුත් අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක්" වෙනුවෙන් ප්‍රතිඥා දුන්නේය.
ගිවිසුමෙන් අදහස් වන්නේ ෂරීෆ්, කනිෂ්ඨ සභාග හවුල්කරුගේ සහාය ඇතිව දෙවන වරටත් අගමැති වීමට නියමිතව බවය.
PPP හි අසීෆ් අලි සර්දාරි ජනාධිපති ධුරය සඳහා සභාගයේ අපේක්ෂකයා වනු ඇත.
ඊළඟට සිදුවන්නේ කුමක් ද? නව අගමැති කවු ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හිටපු අගමැති ඉම්රාන් ඛාන් රඳවා තබා ගැනීම සහ ඔහුගේ පකිස්ථාන ටෙරීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) වෙත එල්ල වූ බොහෝ බාධක නොතකා, පක්ෂයේ සහය ඇති ස්වාධීන අපේක්ෂකයින් ජාතික සභා ආසන 256න් 93ක් දිනා ගනිමින් නිරීක්ෂකයින් මවිතයට පත් කළ අතර එය පක්ෂයක් දිනා ගත් වැඩි ම ආස ගණන ද බවට පත් විය. කෙසේ වෙතත් එය ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 169ක සරල බහුතරයට වඩා බෙහෙවින් අඩු ය.
හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය නවාස් (පීඑම්එල්-එන්) ආසන 75ක් දිනා දෙවන ස්ථානයට පත්විය. ඔහුට එරට බලගතු හමුදාවේ සහය ලැබෙන බව දැකගත හැකි වූ අතර, අපකීර්තිය ගෙන දුන් සිදුවීම්වලින් පසු රට හැර ගොස් වසර පහකට පසු ඉතා පහසුවෙන් ඔහු ජයග්‍රහණය කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන බිලාවල් භූතෝ සර්දාරිගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන මහජන පක්ෂය (පීපීපී) ආසන 54ක් ලබා තුන්වන ස්ථානයට පත්විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලන පක්ෂ විසින් පෙබරවාරි 29 වන දිනට හෝ මැතිවරණ දිනයෙන් සති තුනකට පසු ආණ්ඩුවක් පිහිටුවනු ලැබිය යුතු ය. ජාතික සභාවට ආසන 366ක් ඇති අතර, ඉන් 266ක් ඍජු ඡන්දයෙන් තීරණය වන අතර කාන්තාවන් සඳහා 60ක් ලෙස ත්, මුස්ලිම් නොවන අයට 10ක් ලෙස ත් ආසන 70ක් වෙනම වෙන් කර ඇත. මේවා සභාවේ එක් එක් පක්ෂවල ශක්තිය අනුව වෙන් කෙරේ.
"ඒක බෙදී ගිය ජනවරමක් වන අතර එහිදී කිසිදු පක්‍ෂයකට සරල බහුතරයක් හිමි වන්නේ නැහැ. ඒ වුණත් ඔවුන්ට පැවැත්ම සඳහා පොදු පදනමක් සොයා ගැනීමට හෝ සභාගයක් පිහිටුවීමට සිදු වෙනවා," දේශපාලන විශ්ලේෂක රෆියුල්ලා කකාර් ඉස්ලාමාබාද් සිට බීබීසී උර්දු සේවය වෙත පැවසීය.
පීටීඅයි සහ පීඑම්එල්-එන් යන පක්ෂ දෙක ම ජයග්‍රහණය ප්‍රකාශ කර ඇති අතර, සභාග ආණ්ඩුවක් පිහිටුවීම නොවැළැක්විය හැකි බව පෙනේ. සටන අඛණ්ඩව පවතින අතර, ජයග්‍රහණය නොකළ ස්වාධීන අපේක්ෂකයින් මැතිවරණ වංචා සිදුවූ බවට එල්ල කරන චෝදනාවලින් අධිකරණය පිරී ගොස් ඇත. පීටීඅයි ආධාරකරුවන් ද රට පුරා මැතිවරණ කොමිෂන් සභා කාර්යාල ඉදිරිපිට විරෝධතා පවත්වා තිබේ.
ඊළඟට කුමක් සිදුවනු ඇති ද? විය හැකි දෑ කිහිපයකි.
ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂය, භූතෝගේ පීපීපී පක්ෂය සමග එක් වීම
පීඑම්එල්-එන්, පීපීපී සහ කුඩා පක්ෂ සමග සභාගයක් පිහිටුවීම එක් අවස්ථාවක් ලෙස දැකගත හැකි බව බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමීනා යස්මින් බීබීසී නිව්ස්ඩේ වෙත පැවසීය. 2022 වසරේදී ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීම සඳහා මෙම පක්ෂ දෙක සන්ධානයක් පිහිටුවා ගත් අතර පසුගිය අගෝස්තු දක්වා ඔවුහු රට පාලනය කළහ.
"බාධකය තමයි මීළඟ අගමැති කවුරුන් ද යන්න (සහ) ඒ ඒ පළාත් තුළ මෙන් ම, ජනාධිපතිවරයාගේ බලපෑම අනුව බලය කිනම් ආකාරයකින් බෙදී යනු ඇති ද යන්න කියන එක," ඇය තවදුරටත් පැවසුවා ය.
පීඑම්එල්-එන් පක්ෂය ආසන 17ක් දිනාගත් සමාජ ලිබරල්වාදී පක්ෂයක් වන මුත්තහිදා ක්වාමි ව්‍යාපාරයේ (එම්කියුඑම්) සහය ලබා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටියි. ස්වාධීන අපේක්ෂකයන් තමන් වෙත පොළඹවා ගැනීමට ද ඔවුහු මාන බලමින් සිටිති.
සර්දාරි ඉරිදා ලාහෝර්හිදී ෂරීෆ්ගේ සොහොයුරු ෂෙබාස්ගේ නායකත්වයෙන් යුත් පීඑම්එල්-එන් නියෝජිත පිරිසක් හමුවූ අතර, පීපීපී පක්ෂය එහි විකල්ප පිළිබඳ සලකා බැලීමට කාලය ගන්නා බව පෙනේ. පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව ලබන සඳුදා ඉස්ලාමාබාද්හිදී රැස්වීමට නියමිත ය.
පීපීපී, ඛාන්ගේ පීටීයි සමග සන්ධානගත වීම
පීටීඅයි පක්ෂය සමග වැඩ කිරීමට තම පක්ෂය කැමති දැයි බීබීසී උර්දු සේවය විමසූ විට, පීපීපී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ෂෙරී රෙහ්මාන් පැවසුවේ, සියලු ම දේශපාලන බලවේග සඳහා පක්ෂයේ දොරටු විවෘතව පවතින බව ය.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන්ගේ මාධ්‍ය උපදේශක සුල්ෆි බුහාරි බීබීසීයට පැවසුවේ, බහුතර බලයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් සන්ධානයක් පිහිටුවීම වෙනුවට පීටීඅයි පක්ෂය විපක්ෂයේ අසුන් ගැනීම බොහෝ දුරට ඉඩ ඇති බව ය.
විවිධ චෝදනා මත දැනට වසර 14ක සිර දඬුවමක් විඳිමින් සිටින ඉම්රාන් ඛාන්ගේ මතය මෙමගින් යළි පැවසේ. සභාග ආණ්ඩුවක් දුර්වල වන බව ත් රට මුහුණ දී සිටින අර්බුදවලින් ගොඩ ඒමට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බව ත් ඔහු 2018 වසරේදී පැවසීය. එසේ වුව ද, ඔහු එම්කියුඑම් වැනි කුඩා පක්ෂ සමග සභාගයක් පිහිටුවීමට ගියේ ය.
පීඑම්එල්-එන් පක්ෂය පීටීඅයි සහ අනෙකුත් පක්ෂ සමග සභාගයක් ගොඩනැගීම
නායකයා සිරගත කර ඇති, පක්ෂ ලකුණ උදුරාගත් සහ ආධාරකරුවන් ගණනාවක් රඳවාගෙන සිටින පක්ෂයකට මෙය කැපී පෙනෙන පෙරළියක් වනු ඇත. නමුත් මෙම පෙර නොවූ විරූ දෑ සිදුවන කාලයේ කිසිවක් සිදු නොවනු ඇතැයි පැවසිය නොහැක.
පීඑම්එල්-එන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අසාම් නසීර් තරාර්ගේ "සහභාගී සභාග ආණ්ඩුවක්" සඳහා "සියල්ල අත්වැල් බැඳගත යුතු යි" යන ආමන්ත්‍රණය, පීටීඅයි පක්ෂයට නොසලකා හැරිය නොහැකි නිහඬ පිළිගැනීමක් බව පෙනේ.
"මීට පෙර ඉම්රාන්ට ඡන්දය නොදුන් අයට පවා පසුගිය වසර දෙක තුළ හමුදාව ඔහුට සහ ඔහුගේ පක්ෂයට සැලකූ ආකාරය ගැන අසාධාරණයි කියලා දැනේවි," ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ උදය චන්ද්‍ර බීබීසීයට පැවසීය. "කලාපය පුරා පොදු ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණත්වය පිළිබඳ හැඟීමක් උල්ලංඝණය වී ඇති බවක් පේනවා."
ඔහු තවදුරටත් පැවසුවේ: "ස්වාධීන අපේක්ෂකයින් තෝරා ගැනීමෙන්, ඡන්ද දායකයින් හමුදාවට පැහැදිලි පණිවිඩයක් යවලා තියෙනවා: සිවිල් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න කියලා."
පීටීඅයි පිටුබලය ලබන ස්වාධීන අපේක්ෂකයින් කුඩා පක්ෂයක් සමග ඒකාබද්ධ වීම
සාකච්ඡාවට බඳුන් විය හැකි තවත් අවස්ථාවක් වන්නේ, පීටීඅයි සහය දක්වන අපේක්ෂකයින් සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කුඩා පක්ෂයකට සම්බන්ධ වීම ය. මෙය ඔවුන්ගේ ආසන ඒකාබද්ධ කිරීම සඳහා වන අතර, කාන්තාවන් සඳහා වෙන් කර ඇති ජාතික සභා ආසන 60 ප්‍රයෝජනයට ගැනීම සඳහා ද වනු ඇත.
දේශපාලන පක්ෂයක් දිනාගත් සෑම ආසන 3.5කට ම කාන්තා ආසනයක් හිමිවේ. ස්වාධීන අපේක්ෂකයන් පක්ෂයකට අයත් නොවන බැවින් ඔවුහු මේ සඳහා නුසුදුසු වෙති. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී පැය 72ක් ඇතුළත ඔවුන් පක්ෂයකට බැඳීම හෝ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීම ගැන තම අභිප්‍රාය ප්‍රකාශ කළ යුතු ය.
කෙසේ වෙතත්, ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්වවිද්‍යාලයේ අස්මා ෆයිස් පවසන්නේ, කුඩා පක්ෂ සමග සන්ධානගත වීමෙන් පවා ඔවුන්ට බහුතර බලයක් නොමැති වීම නිසා පීටීඅයි පක්ෂයට සභාග රජයක් පිහිටුවීමට "බොහෝ දුරට ඉඩක් නොලැබෙනු ඇති" බව ය.
"පීටීඅයි සඳහා, පක්ෂයක් තුළ ස්ථාවරයක් ගොඩනගා ගැනීම සඳහා නීතිමය අවශ්‍යතාවක් ලෙස මිස මෙම කුඩා පාර්ශවයන් වෙත ළඟා වීමේ සංඛ්‍යාත්මක වාසියක් නැහැ," ඇය පැවසුවා ය.































