බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරශ්‍රයට ගාන්ධි ප්‍රතිමාවක්

අඩි නමයකුත් මීටර් 2.7 ක් උස ප්‍රතිමාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇති මුදල ඩොලර් මිලියන බාගයකටත් වැඩි බවයි වාර්තා වන්නේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අඩි නමයකුත් මීටර් 2.7 ක් උස ප්‍රතිමාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇති මුදල ඩොලර් මිලියන බාගයකටත් වැඩි බවයි වාර්තා වන්නේ
Published

මහත්මා ගාන්ධි තුමන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරස්‍රයේ එලි දක්වා තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු චතුරශ්‍රය බ්‍රිතාන්‍යයේ ගෞරව ආදරයට පත් වින්ස්ටන් චර්චිල් ඇතුළු තවත් කීර්තිමත් නායකයින්ගේ ප්‍රතිමා පිහිටුවා තිබෙන ස්ථානයක්.

ඉන්දියාවේ නිදහස් සටනේ ගාන්ධි තුමන්ට විරුද්ධව කටයුතු කළ වින්ස්ටන් චර්චිල් ඇතුළු සමහරක් චරිත අතර එතුමන්ගේ ප්‍රතිමාවට චතුරශ්‍රයේ ඉඩක් හිමි වී තිබීම විශේෂයක්.

මූර්ති ශිල්පි ෆිලිප් ජැක්සන් ප්‍රතිමාව නෙළා ඇත්තේ වෙහෙසකර මුහුණකින් යුතු වුවද දයානුකම්පාවෙන් පිරි එතුමා සිට ගෙන සිටින ආකාරයෙන්.

අද ඉන්දියාව නිදහස් රටක් නම් ඒ නිදහස ලබා දුන්නේ මහත්මා ගාන්ධි ඇතුළු කොන්ග්‍රසය භාවිතා කළ පිළිවෙත වන බවයි ප්‍රතිමාව පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාන්ධි ප්‍රතිමා අරමුදලේ සභාපති, මෙඝනාද් දේසායි කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Judy Green

මහත්මා ගාන්ධි මතභේදයට ලක්වූ චරිතයක්

1931 දී නිදහස වෙනුවෙන් කතා කිරීමට ලන්ඩන් නුවරට පැමිණි ගාන්ධිතුමන් සියල්ලන් මවිතයට පත් කරමින් ධනවත් පෙදෙසක පිහිටි නවාතැනක් වෙනුවට තෝරා ගත්තේ දිළිඳු බවින් පීඩිත නැගෙනහිර ලන්ඩනයයි.

බටහිර මහත්මා ගාන්ධි වෙනුවෙන් ඇති ගෞරවය වැඩෙමින් පැවතුනත්, ඉන්දියාවේ ඔහු මුස්ලිම් ආගමට බර ප්‍රතිපත්තියක් ගෙන ගිය බව විශ්වාස කරන පිරිසේ විවේචනයට ලක් වනු ලැබේ.

ගාන්ධිතුමාගේ මුනුබුරා වන අරුන් ගාන්ධි අදහස් දක්වමින් කියා සිටියේ තමන් ප්‍රතිමා ස්ථාපිත කිරීමට විරුද්ධ බවයි.

ඔහු පවසන්නේ තමන්ගේ සීයා වන මහත්මා ගාන්ධිට අවශ්‍ය වූයේ සිය ප්‍රතිමා ස්ථාපිත කිරීමට නොව දිළිඳු ජනතාවගේ ජීවන මට්ටම ඉහල නැංවීමට කටයුතු කිරීම වන බවයි.

ඉන්දීය නිදහස් අරගලයේ දී මහත්මා ගාන්ධිතුමන් කෙදිනකවත් බ්‍රිතාන්‍ය සිය සතුරෙක් වශයෙන් හැඳින්වීමට ඉඩ නොදුන් අතර කියා සිටියේ බ්‍රිතාන්‍ය සිය මිතුරෙක් නමුත් ඔවුන්ට වැරදි ආකල්පයක් ඇති වී තිබෙන බැවින්, එය වෙනස් කළ යුතු බවයි.