යුද්ධයට ගොදුරු වූ ඇෆ්ගන් වැසියන්ගේ ගණන ඉහළට

වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන්
Published

ඇෆ්ගනිස්තානු යුද්ධයේ දී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ ගණන පසුගිය වසර තුළ දී සියයට දාහතරකින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ වසර 2013 දී පමණක් මිය ගිය ඇෆ්ගනිස්තානු සාමාන්‍ය වැසියන්ගේ ගණන තුන්දහසකට ආසන්න බවයි.

මීට අමතරව වසර 2013 දී පන්දහස් හය සීයකට අධික සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි එක්සත් ජාතීන් කියා සිටින්නේ.

වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ තාලිබාන් ඇතුළු කැරලිකරුවන් විසින් මාර්ග අද්දර අටවන ලද බෝම්බවලට ගොදුරු වීමෙන්.

තාලිබාන් කැරලිකරුවන් සහ ඇෆ්ගන් හමුදාව අතර පැවති සටන් වලදී තුවාල ලත් වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන්.

ජාත්‍යන්තර හමුදා එල්ල කළ ප්‍රහාර වලට ගොදුරු වූ සාමාන්‍ය වැසියන්ගේ ප්‍රතිශතය සියයට තුනක් බවයි එක්සත් ජාතීන් පවසන්නේ.