වංචා චෝදනා මත ස්පාඤ්ඤ රජ කුමරියට වරෙන්තු

ජනතා හද ගැස්ම නොහඳුනන බවට රජ පවුලට චෝදනා
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතා හද ගැස්ම නොහඳුනන බවට රජ පවුලට චෝදනා
Published

කළු සල්ලි ජාවාරම සහ බදු මුදල් වංචා කිරීම පිළිබඳව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් ස්පාඤ්ඤයේ හුවාන් කාර්ලෝස් රජතුමාගේ බාලම දියණියට වරෙන්තු නිකුත් කොට තිබේ.

අදාළ නඩුවේ සැකකරුවකු ලෙසින් නම් කෙරුණු ක්‍රිස්තිනා කුමරිය ලබන මාර්තු මාසයේ මැයොර්කා දූපතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි.

ඇයගේ සැමියා වන ඉනාකි උර්දන්ගරින් විසින් පවත්වා ගෙන යනු ලබන පුණ්‍යායතනයකට ලබා දුන් මහජන මුදල් අනිසි ලෙස භාවිතා කළ බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ඔහුට විරුද්ධව වසරකට වැඩි කාලයක් පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

තමන් කිසිදු වරදක් කොට නැති බවයි, ඔහු පවසන්නේ.

මෙම නඩු විභාගය හේතුවෙන් ස්පාඤ්ඤයේ රජ පවුල ප්‍රබල අපහසු තත්වයකට මුහුණ දී සිටින බව පවසන වාර්තාකරුවෝ, ජනතා හද ගැස්ම නොහඳුනන බවට රජ පවුලට එල්ල වන චෝදනා මෙමගින් තවත් උත්සන්න වී තිබෙන බවද පවසති.