ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක මානසික සෞඛ්‍ය දිනය: ගෝල්ඩන් ගේට් පාලමට ජිවිත බේරා ගත හැක්කේ කොහොමද ?
ඇමරිකා එක්සත් ජනපදයේ, සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ඇති කිලෝමීටර් 2.7 ක් දිග ගෝල්ඩන් ගේට් පාලම, මිනිසා විසින් නිර්මාණය කරන ලද ඉදිකිරීම්වලින් සුප්‍රකට ම ඉදි කිරීමකි.
1937 දී එය ඉදි කෙරුණු දා පටන් මේ දක්වා ම, එය සියදිවි නසාගැනීම් සඳහා ද ප්‍රකට ස්ථානයක් බවට පත්ව තිබේ. නමුත් ඉතා ඉක්මනින් ම මෙම ශෝකජනක ප්‍රසිද්ධිය අතීතයට එක්වීමට නියමිතව ඇත්තේ, පාලමට ආරක්ෂිත දැල් සවි කිරීමේ සැළසුම් හේතුවෙනි. සියදිවි නසාගැනීමේ උත්සාහයකින් දිවි ගලවා ගත් අයෙකු ද ඇතුළුව, මෙයින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින් කිහිප දෙනෙකු බීබීසීයට පැවසුවේ, මෙය සුවිශාල වෙනසකට මග පාදනු ඇති බවයි.
"මෙම පාලම ලොව පුරා සියදිවි නසාගැනීම් වැළැක්වීම පිළිබඳව ඇති ප්‍රබලම සංකේතය බවට පත්වනු ඇත" යි කෙවින් හයින්ස් බීබීසී වෙත පවසා සිටියේ ය.
ඔහු ජීවත් වීමට ලද දෙවැනි අවස්ථාව, ගෝල්ඩන් ගේට් පාලම වෙනුවෙන් කැප කර ඇති බව පැවසීම සාධාරණ ය.
2000 දී, ඔහු පාලමේ සිට මීටර් 75 ක් පහළින් ඇති පැසිෆික් සාගරයට පැන සිය දිවි තොර කරගැනීමට උත්සාහ කළ නමුත්, ආශ්චර්යයකට මෙන් ඔහුගේ දිවි ගැලවිණි.
ගෝල්ඩන් ගේට් පාලම් අධිවේගී මාර්ගය සහ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පාලම සාදා නිම කිරීමෙන් පසු ගත වූ වසර 85 තුළ පුද්ගලයන් 1,800 කට වැඩි පිරිසක් මේ ආකාරයෙන් එයින් පැන සියදිවි නසාගෙන තිබේ.
සියදිවි නසාගැනීමේ උත්සාහයෙන් ලද බරපතල තුවාලවලින් සුවය ලැබීමෙන් පසුව, හයින්ස් සියදිවි නසාගැනීම් වැළක්වීමේ ක්‍රියාන්විතයක යෙදෙමින් එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල සංචාරය කිරීම ආරම්භ කළේ ය.
එමෙන් ම 41 හැවිරිදි ඔහු, පාලම මත ආරක්ෂිත දැල් සවි කිරීමේ කර්තව්‍යයේ වාචික ආධාරකරුවෙකු බවට ද පත් විය.
ප්‍රමාදය නිසා ජීවිත අහිමි වෙනවාද?
2008 සිට මෙම සැලසුම් අනුමත කර තිබුණත්, ඉදිකිරීම් ආරම්භ වූයේ ඉන් වසර 10 කට පසුව ය. නමුත් පිරිවැය, කොවිඩ් -19 වසංගතය සහ පරිපාලන ගැටළු ආදී හේතු රැසක් හේතුවෙන් මෙහි ඉදිකිරීම් තවදුරටත් ප්‍රමාද විය.
දැල් සඳහා වියදම ලෙස මුලින් ඇස්තමේන්තු කර ඇත්තේ ඩොලර් මිලියන 76 ක් වූවත්, ඒ සඳහා වන පිරිවැය ඩොලර් මිලියන 200 සීමාව ද ඉක්මවා තිබේ.
මෙම දැල් 2023 නොවැම්බර් වන විට සවි කිරීමට නියමිතය.
"වසංගත කාලය පුරාවට ම සියදිවි නසාගැනීමේ බාධකයේ ඉදිකිරීම් සිදුවුණු නමුත්, නමුත් කොන්ත්‍රාත්කරු අප බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් ක්‍රියා කළේ නැත. අපි කොන්ත්‍රාත්කරු සමඟ මෙම ගැටළුව විසඳීමට සහ ඉදිකිරීම් වේගවත් කිරීමට කටයුතු කරමින් සිටින්නෙමු" යි ගෝල්ඩන් ගේට් පාලම, මහාමාර්ග සහ ප්‍රවාහන දිස්ත්‍රික්ක මහජන කටයුතු කළමනාකරු පාවුලෝ කොසුලිච්-ෂ්වාට්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
ප්‍රමාදය කණගාටුදායක සිදුවීමක් වන නමුත් සියදිවි නසාගැනීම් වැළැක්වීමේ පද්ධතිය, 1950 තරම් ඈත කාලයකදී සාකච්ඡා කළ අයුරින් ම යථාර්ථයක් බවට පත්වෙමින් තිබීම කෙරෙහි තම වැඩි අවධානය යොමු වන බව, මේ වසරේ ඔක්තෝබර් 10 වන දිනයට යෙදෙන, ලෝක මානසික සෞඛ්‍ය දිනයට පෙර බීබීසී වෙත සිය අදහස් දක්වමින්, හයින්ස් කියා සිටියේ ය.
"එයට මෙතරම් කාලයක් ගතවීම කණගාටුවට කරුණක් වුවත්, එය කෙසේ හෝ සිදුවීම ගැන මට ඇත්තේ සතුටකි. මෙම දැල් යොදා අවසන් වූ විට අපට ලැබෙන ධනාත්මක ප්‍රතිඵලය වෙනුවෙන් මම බලා සිටිමි"ය ඔහු පවසන්නේ ය.
මේ වනවිට පවතින එකම බාධාව, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ ස්වේච්ඡා කණ්ඩායම්වල වේගය මත බොහෝ දුරට රඳා පවතී.
කෙවින් බ්‍රිග්ස් යනු මේ වනවිට විශ්‍රාමික, කැලිෆෝනියාවේ අධිවේගී මාර්ග මුර සංචාර නිලධාරියෙකි. ගෝල්ඩන් ගේට් පාලමෙන් පැන මියයාමට උත්සාහ කළ 200 කගේ පමණ දිවි බේරාගැනීමේ ගෞරවය හිමිවන්නේ ඔහුට ය. මෙම දැල් සියදිවි නසාගැනීම් වැළැක්වීමේ කාර්යය වඩා කාර්යක්ෂම කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
"මෙම ක්‍රියාවලිය සිදු වූ මන්දගාමීත්වය අතිශයින් කලකිරෙන සුළුය." යි බ්‍රිග්ස් බීබීසීයට පැවසුවේ ය.
"සෑම වසරකම මිනිසුන් 20 කට වඩා වැඩි පිරිසක් පාලමෙන් පැන දිවි තොර කරගන්නා නමුත්, මෙම දැල් සවි කිරීමෙන් පසුව මෙම සංඛ්‍යාව බිංදුව වනු ඇතැයි අපේක්ෂා කෙරේ."
අඳුරු සහ කලකිරවන තොරතුරු
නීතිය බලාත්මක කිරීමේ මුර සංචාර සහ බ්‍රිජ්වොච් එන්ජල් වැනි කණ්ඩායම් විසින් ආදරවන්තයන්ගේ දිනය සහ නත්තල් සන්ධ්‍යාව වැනි ප්‍රධාන දිනවලදී පාලම මත ස්වේච්ඡා සේවකයන් ජාලයක් යොදවා තිබේ. මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වීම වළක්වාගෙන ඇත්තේ ඔවුන් විසිනි. පාලම් බලධාරීන්ට අනුව, පසුගිය 2021 වසරේදී පමණක්, ඔවුන් මිනිසුන් 198 දෙනෙකු පාලමෙන් පැනීම වළක්වාගෙන තිබේ.
පුද්ගලයින් 25 දෙනෙකු පාලමෙන් පැන ඇති බව පවසන බලධාරීන්, ඉන් 21ක් දෙනෙකුගේ සිරුරු පමණක් පහල ඇති රළු මුහුදෙන් සොයා ගැනීමට හැකි වූ බව සඳහන් කරති.
ගෝල්ඩන් ගේට් පාලමෙන් මෙලෙස පනින පුද්ගලයන්ගෙන් 98% ක් ම, සිය ජීවිත ගලවා ගන්නේ නැත.
මිනිසුන් පැනීම වැලැක්වීම සඳහා දැනට පදික වේදිකාව ආසන්නයේ පහතින් ස්ථාපනය කළ පීලි දෙකක් පමණක් තිබේ. කෙසේ වෙතත් මෙම ආරක්ෂිත දැල් පවා එවන් පැනීමකදී තුවාල වීම වැලැක්වීමට සමත් වන්නේ නැත. එම දැල් වානේවලින් සාදා, පාලමේ පදික වේදිකාවේ සිට මීටර් 6 ක් පහළින් ස්ථානගත කිරීමට නියමිත ය.
අනුකම්පා විරහිත ගෝලීය ඝාතකයෙක්
සියදිවි නසා ගැනීම යනු ලොව පුරා විශාල ජීවිත ගණනක් බිලි ගන්නා හේතුවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, සියදිවි නසාගැනීම නිසා වාර්ෂිකව සිදුවන ගෝලීය මරණ සංඛ්‍යාව 700,000 ඉක්මවයි.
සංඛ්‍යාලේඛන ලබාගත හැකි, නවතම වසරවල දත්තවලට අනුව, 2020 දී එක්සත් ජනපදයේ පුද්ගලයින් 46,000 ක් පමණ සිය දිවි නසාගන ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසයි.
වයස අවුරුදු 10-14 සහ 25-34 අතර ඇමරිකානුවන්ගේ මරණවලට හේතු අතරින්, දෙවන ප්‍රධානතම හේතුව බවට සියදිවි නසාගැනීම් පත් වී තිබේ
දැල්වලින් අපේක්ෂිත ප්‍රතිඵලය අත්වේද?
නමුත් මෙම දැල්, පාලමෙන් මිනිසුන් පැනීම අධෛර්යමත් කරයි ද?
පාලම මතින් පැන දිවි තොර කරගත් පුද්ගලයන්ගේ ඥාතීන් ද ඇතුළුව, සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා කටයුතු කරන පිරිස් පවසන්නේ, අයිෆල් කුළුණ වැනි ලොව පුරා ප්‍රසිද්ධ ගොඩනැගීම් කිහිපයකම මෙම දැල් යොදා ඇති බවයි. එමෙන් ම ඒවායේ සිදුවන සියදිවි නසාගැනීමේ සිදුවීම් සහ මාරාන්තික සිද්ධීන් ප්‍රමාණය ඉතා අල්ප බවද ඔවුන් පෙන්වා දෙති.
ගෝල්ඩන් ගේට් පාලමේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා දැල් රැඳවීම කිරීම ආරම්භ කරන ලද සැන් ෆ්‍රැන්සිස්කෝ පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන බ්‍රිජ් රේල් අරමුදලේ ප්‍රධානියා වන්නේ පෝල් මුලර් ය. ඔහු, මෙම කාර්යය සඳදා ඔහුගේ සංවිධානයට පෙළඹවීම් ඇතිකළ සිදුවීම ගැන විශේෂයෙන් සඳහන් කරයි. ඒ සිදුවීම වන්නේ, 1998 දී ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේ මන්ස්ටර් ටෙරස් හිදී සියදිවි නසාගැනීම් වැළක්වීමේ ආරක්ෂක කට්ටලයක් ස්ථාපනය කිරීම ය. එය එම ස්ථානයේ සියදිවි නසාගැනීම් ප්‍රමාණය විශාල ලෙස අඩු කිරීමට දායක වී තිබුණි.
"ගෝල්ඩන් ගේට් හි අප අනුගමනය කරන්නේ බර්න්හිදී ක්‍රියාවට නංවා සාර්ථක වූ සැලසුම් සංකල්පම යි. එබැවින් මෙම දැල් යෙදවීමෙන් පසුව, මෙහි සිදුවන මරණ බිංදුවට හෝ ඊට ආසන්න වනු ඇතැයි අපි අපේක්ෂා කරමු" යි ඔහු විද්‍යුත් තැපෑල ඔස්සේ බීබීසීයට පැවසී ය.
ආරක්ෂිත දැල් විවේචනය කරන්නන් විශ්වාස කරන්නේ, මෙම ක්‍රියාව මගින් සියදිවි නසාගන්නන් වෙනත් ස්ථාන කරා යොමු කිරීම සිදු කිරීම පමණක් කෙරෙන බවයි.
මෙම පිරිස් බොහෝ විට උපුටා දක්වන උදාහරණය වන්නේ කැනඩාවේ ටොරොන්ටෝ හි පාලමක සිදුවීමකි. 2003 ජූනි මාසයේදී එම පාලමට සියදිවි නසාගැනීමේ බාධකයක් ස්ථාපනය කෙරුණු අතර, ඒ නිසා එහි සිදුවන මරණ සංඛ්‍යාව නවයේ සිට බිංදුව දක්වා පහත වැටීම සිදු විය. නමුත් 2010 වසරේදී නිකුත් වූ පත්‍රිකාවක් මගින් පර්යේෂකයන් හෙළි කළේ, එම පාලමේ සියදිවි නසාගැනීම් අඩු වීමට සමගාමීව, අනෙකුත් ප්‍රාදේශීය පාලම්වල සියදිවි නසාගැනීම් නිසා සිදුවන මරණ ගණන වැඩි වූ බවයි.
කෙසේ වෙතත්, ගෝල්ඩන් ගේට් පාලමෙන් පැනීම වළක්වන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයක්, මෙයට ප්‍රතිවිරුද්ධ දත්ත ඉදිරිපත් කර තිබේ. 1978 දී, එවකට කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍යවරයකු වූ රිචඩ් සෙයිඩන්, 1937 සහ 1971 අතර කාලයේදී පාලමෙන් පැන සියදිවි නසාගැනීමට උත්සාහ කළ, එහෙත් එයින් වළකනු ලැබූ පුද්ගලයන්ගේ ජීවිත සම්බන්ධ අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කළේ ය.
සියදිවි නසාගැනීමට උත්සහ කළ පුද්ගලයන් 515 දෙනෙකුගෙන්, පසුව සියදිවි නසා ගත්තේ පුද්ගලයන් 25 දෙනෙකු පමණක් බව සෙයිඩන් විසින් සොයා ගනු ලැබිණි.
"තමන් මිය යා යුතු නැති බව මිනිසුන්ට අවබෝධ කර දීම සඳහාත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ උපකාර ඇතිව, ඔවුන් මියයාමෙන් පසුව ඇතිවන ශෝකය ඔවුනට තේරුම් කරදීමටත් මෙය පෙළඹීමක් වී තිබේ." යි බ්‍රිජ් රේල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වන ඩේනා විට්මර් පවසන්නී ය. ඇයට ඇයගේ පුතු වූ මැතිව් අහිමි වන්නේ ගෝල්ඩන් ගේට් පාලමේදී සිදු වූ සියදිවි නසා ගැනීමකිනි.
"අප අත්විඳින වේදනාව, තවත් පවුලකට හිමිවීම අපට අවශ්‍ය නැත. මේ ශෝකය සහ හිස් තැන අප සමඟ සදහටම පවතිනු ඇත. එමෙන් ම ආරක්‍ෂිත දැල්, මෙහි වෙනසක් ඇති කරන බවත් අපි දනිමු."
ගෝල්ඩන් ගේට් මරණ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කටයුතු කරන මැරීන් ප්‍රාන්තයේ හදිසි මරණ පරීක්ෂක කාර්යාලයට අනුව, පාලමෙන් පැන මියයන පිරිසෙන් 60% ක් පමණ වයස අවුරුදු 45 ට අඩු අය වෙති.
ස්වීඩනයේ චාමර්ස් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාඥයෙකු වන මහාචාර්ය චාලට් තොඩෙලියුස්, සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැලක්වීමට භෞතික බාධක සිදුකරන බලපෑම පිළිබඳව පර්යේෂණ කර තිබේ.
පාලම්, මාර්ග සහ දුම්රිය ස්ථාන වැනි ස්ථානවලදී තම ජීවිතය නැති කර ගැනීමට මිනිසුන් ගන්නා උත්සාහයන් වැළකීමට භෞතික බාධකයන්ට විශේෂ හැකියාවක් ඇති බව එහිදී ඇයට සොයාගැනීමට හැකි විය.
"තරුණ අය සියදිවි නසාගැනීම් සිදු කරන්නේ වැඩිහිටියන්ට වඩා වෙනස් අකාරයකින් බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඔවුන් ක්ෂණික තීරණ මත ක්‍රියා කරන අතර, ඉතා ආවේගශීලී වෙති. ඔවුන්ට ඇත්ත වශයෙන්ම මිය යාමට අවශ්‍ය නොවේ. අවශ්‍ය යම් දෙයක් නවතා දැමීම පමණි."
'මට ඇසෙන මගේම හඬ'
මෙය කෙවින් හයින්ස්ට නුපුරුදු තත්ත්වයක් නොවේ. 2000 සැප්තැම්බර් 25 වැනිදා, ද්විධ‍්‍රැවීය අක්‍රමිකතාව ( බයිපෝලා ඩිස්ඔර්ඩර්) උත්සන්න වූ පසුව ඔහු සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ සිට ගෝල්ඩන් ගේට් පාලම දක්වා බස් රථයකින් ගමන් කළේ ය. ඔහුට 'මිය යන්න' යි කියන හඬ ඔහුගේ හිසෙන් ඇසෙමින් තිබුණි. එහෙත් ගමන අතරතුරදී ඔහු 'තමන් සමඟ ම එකඟතාවක්' ඇති කර ගත්තේ ය.
"යම් කෙනෙකු මගෙන් හොඳින්ද කියා හෝ මා යන්නේ දිවි තොර කරගැනීමටදැයි ඇසුවහොත් ඔහුට සත්‍ය තත්ත්වය පවසා උදව් ඉල්ලා සිටීමට මම අදිටන් කරගතිමි."
එහෙත් ඔහු වෙත පැමිණියේ එක් අයෙකු පමණි. ඒ එවකට 19 හැවිරිදි වූ ඔහුගෙන්, ඇගේ පින්තූරය ගන්නා ලෙස ඉල්ලා සිටි සංචාරක කාන්තාවකි. හයින්ස් ඉක්බිතිව පහත වූ පීල්ලට පිවිසියේ ය. තම සියදිවි නසා ගැනීමේ උත්සාහයන් ගැන ප්‍රසිද්ධියේ කතා කරන දිවි ගලවා ගත් බොහෝ අය මෙන් ම ඔහු ද, පැසිෆික් සාගරය දෙසට තත්පර හතරක තරමේ කෙටිකාලයක් තුළ සිදුවන ඇද වැටීම ආරම්භ වූ මොහොතේ ම පාලමෙන් පැනීමට ගත් තීරණය ගැන කනගාටු විය.
"මම පනින මොහොතේ නම් දැල් මාව ආරක්ෂා කරන්නට ඉඩ තිබුණා. නමුත් මම හිතන්නේ ඒවා තිබුණා නම් මම ඒ උත්සාහයවත් ගන්නා එකක් නැති බවයි" යි හයින්ස් පවසයි.
"ගෝල්ඩන් ගේට් පාලමෙන් පැන මියයාමට නො හැකි බව තේරුම් ගත් විට ඔවුන්ගේ සියදිවි නසාගැනීමේ උත්සාහයන් නතර වේවි."
බාධක සහ ආරක්ෂිත දැල් වැනි ක්‍රියාමාර්ග, සියදිවි නසාගැනීම් ක්‍රම ඉවත් කිරීමේ මාධ්‍යයන් ලෙස හැඳින්වේ. ගිනි අවි සන්තකයේ තබා ගැනීම සීමා කිරීම, ඖෂධ සහ විෂ වර්ග විකිණීමේදී ඇති ප්‍රතිපත්ති ද ඇතුළත් වන්නේ මේවාටම ය. මෙම ක්‍රියාමාර්ග සියදිවි නසාගැනීම් පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් පමණි. සියදිවි නසාගැනීම් වැළක්වීමේ රාජ්‍ය වැඩසටහන්වල සිට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති අයෙකුට සවන් දීම දක්වා සෑම තරාතිරමකම ක්‍රියාවන්වල වැදගත්කම පෙන්වාදෙන ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව තිබේ.
මේ අතර, ගෝල්ඩන් ගේට් පාලම වෙත තවත් සංචාරයක් යාමට හයින්ස් බලාපොරොත්තුවෙන් සිටී. ඔහු දැනටමත් කිහිප වතාවක් එලෙස ගොස් ඇති අතර, ඉන් පළමුවැනි සංචාරය ඔහු සිදු කළේ ඔහුගේ සියදිවි නසාගැනීමේ උත්සාහයේ පළමු සංවත්සරයට පෙර ය. එහෙත් ඔහුගේ මීළඟ සංචාරයේදී, පාලම වඩා ආරක්ෂාකාරී ලෙස පෙනුණු ඇත යන්න ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.
"ගෝල්ඩන් ගේට් පාලම ගැන මට කිසිම ගැටළුවක් නැත"යි හයින්ස් පවසයි. "එය ආරක්ෂිත නොවන, විශිෂ්ට ඉදිකිරීම් නිර්මාණයකි."
"නමුත් අපි එය ආරක්ෂිත බවට පත්කරන්නෙමු. එය විශ්මයජනක ලෙස යහපත් දෙයකි.."
සහාය අවශ්‍ය ඔබට උපකාරක සේවා
අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකිය.
ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සපයනු ලබන මනෝචිකිත්සක සේවාවන්, මානසික රෝග සහ ඒවාට ප්‍රතිකාර කිරීම පිළිබඳ සාක්ෂි පදනම් කරගත් තොරතුරු සඳහා මහජනතාවට slcpsych.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශාලතම රෝහල -ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකාව