පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මරණීය දණ්ඩනය නියමව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුලු විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කීරීමට අභියාචනාධිකරණය අද (මාර්තු 31) නියෝග කළේය.
රත්නපුර මහාධිකරණය වෙත තීන්දුවේ පිටපතක් යැවීමටද අභියාචනාධිකරණය අද නියම කරනු ලැබීය.
මොවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමේ නියොගය ලබා දෙනු ලැබුවේ, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලයි.
තීන්දුව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය ඔවුන්ට එරෙහි චෝදනාවන්ගෙන් අද නිදොස් කොට නිදහස ලැබීය.

චෝදනාව කුමක්ද?
2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වු මෙම විත්තිකරුවන් ට රත්නපුර මහාධිකරණය මගින් 2020 ජූලි 31වැනිදා මරණීය දණ්ඩනය නියම කළේය.
2015 වසරේ ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර, ශාන්ත දොඩංගොඩ නමැත්තා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් මොවුන්ට මරණ දඬුවම නියමකර තිබුණි.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් නිතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කරණු ලැබ තිබිණි.
ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.
එම නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් භියාචනාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කර තිබුණේය.
විත්තිකරුවන් ගිනි අවි අතැතිව සිටි බවට හෝ වෙඩිතැබීමක් කළ බවට රත්නපුර මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර නොමැති බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය විත්තිකරුවන් සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබීය.
තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් පෙත්සම් වලින් පෙන්වා දී තිබුණි.
තමන්ම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
බැසිල් රාජපක්ෂට එරෙහිව මල්වාන ඉඩම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව
මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාර් නඩේෂන්ට එරෙහිව මල්වාන ඉඩම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව වැඩිදුර සාක්ෂි විභාගයක් සිදු නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව (මාර්තු 25) ගම්පහ මහාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව ගම්පහ මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මේ සම්බන්ධයෙන් අධිකරණයට දන්වා සිටියේය.
බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ල විසින් නඩුව අවසන් කර ඇති බැවින් තම සේවාදායකයන් චෝදනාවලින් නිදහස් කරන ලෙසයි.
නඩුවේ තීන්දුව ලබන මැයි 13 වන දින ලබා දෙනු ඇත.






























