යුද ගුවන් යානයකට ලේසර් එල්ලකළැ යි ඕස්ට්‍රේලියාවෙන් චීනයට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Australian Government
චීන නාවික හමුදාවට අයත් නෞකාවක්, ඕස්ට්‍රේලියානු යුධ ගුවන් යානයක් දෙසට "මිලිටරි ශ්‍රේණියේ" ලේසරයක් එල්ල කළ බවට ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කරයි.
බ්‍රහස්පතින්දා මෙම අනතුර සිදුවන විට චීන යාත්‍රාව ඕස්ට්‍රේලියාවට උතුරින් අරෆියුරා මුහුදේ යාත්‍රා කරමින් තිබිණි.
"මෙවැනි ක්‍රියාවන්වලට ජීවිත අනතුරේ හෙළීමේ හැකියාවක් පවතිනවා. වෘත්තීය නොවන, [මෙම] භයානක හැසිරීම අපි තරයේ හෙළා දකිනවා," අමාත්‍යාංශය පැවසීය.
චීන බලධාරීන් තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැත.
ආරවුල් ගණනාවක් හේතුවෙන් දෙරට අතර සබඳතා මෑත වසරවල දී පළුදුවී තිබුණි.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය මීට පෙර ද මෙවැනිම ලේසර් එල්ල කිරීම් වාර්තාකර ඇති අතර, බුද්ධි අංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් චෝදනා කළේ කුඩා චීන යාත්‍රාවලට ය.
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක දැක්වුණේ, ලේසරයට ඉලක්කය වූ යානය, ආයුධ පද්ධති සහ සබ්මැරීන හඳුනාගත හැකි සංවේදක සහිත බෝයිං P-8A පොසයිඩන් වර්ගයේ සමුද්‍ර මුරසංචාරක ගුවන් යානයක් බව යි.
ගුවන් යානයට ලේසර් එල්ලකළ යාත්‍රාව, ඕස්ට්‍රේලියාව හා පැපුවා නිව් ගිනියාව අතර පිහිටන ටොරෙස් සමුද්‍ර සන්ධියෙන් කොරල් මුහුදට පිවිස, ඉන්පසු අරෆියුරා මුහුදේ නැගෙනහිරට යාත්‍රා කරමින් සිටි චීන යාත්‍රා ද්විත්වයකින් එකකි.
"මෙම ක්‍රියාවෙන් ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහ ජීවිත අනතුරට ලක්වෙන්න ඉඩ තිබුණා," අමාත්‍යාංශය පැවසීය. "එවැනි ක්‍රියා අපි වෘත්තීය හමුදාවකින් බලාපොරොත්තු වන ප්‍රමිතීන්ට අනුකූල නැහැ."

ඡායාරූප මූලාශ්‍රය, Boeing/Marian Lockhart
චීනය ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර, අතීතයේ දී ඔවුහු හොඳ සබඳතාවක් පවත්වාගෙන ගියහ. නමුත් මෑත වසරවල දී එය බිඳ වැටෙනු දකින්නට ලැබිණි.
චීන රජය සිය දේශීය දේශපාලනයට මැදිහත්වන බවට චෝදනාකර ඇති ඕස්ට්‍රේලියාව, චීන දුරකථන නිෂ්පාදන හා සේවා සැපයුම් දැවැන්තයෙකු වන Huawei හට ඕස්ට්‍රේලියාව තුළ තාක්ෂණික යටිතල පහසුකම් ගොඩනැගීම තහනම්කර ඇති අතර, චීනයේ වූහාන් නගරයෙන් ඇරඹුණු කොවිඩ්-19හි මූලාරම්භය පිළිබඳව පරීක්ෂණයක් ද ඉල්ලා තිබිණි.
ඊට ප්‍රතිචාර ලෙස, වසංගතයේ ආරම්භයත් සමග සිසුන්ට සහ සංචාරකයින්ට ඕස්ට්‍රේලියාවට නොයන්නැ යි ජාතිවාදී කෝණයකින් හේතු දක්වමින් චීන රජය අවවාද කර තිබිණි.
සැප්තැම්බර් මාසයේ දී චීනය පැවසුවේ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපදය අතර නව ආරක්ෂක සන්ධානයක් ඇති කරගතහොත් ඉන් "කලාපීය සාමයට දැඩි ලෙස බාධා වන... සහ අවි තරගය තීව්‍ර කිරීමේ" අවදානමක් ඇතිවිය හැකි බව යි.
එම අවස්ථාවේ චීන රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේ, ඕස්ට්‍රේලියාව "චීනයේ විරුද්ධවාදියෙකු බවට ස්වකැමැත්තෙන් පත්වී" ඇති බව යි.




























