චීනය: කොවිඩ් තත්ත්වය මධ්‍යයේම 'ප්‍රසිද්ධ නින්දාවන්' නැවත ආරම්භ වේ

The accused are paraded through the streets

ඡායාරූප මූලාශ්‍රය, Zhengguan video

Published

දකුණු චීනයේ පොලීසියක්, වැරදිකරුවන්යැ යි සැලකෙන පුද්ගලයන් සිව්දෙනෙකු ප්‍රසිද්ධියේ නින්දාවට ලක් කිරීමේ අරමුණින් වීදි හරහා ඇවිද්දවන අයුරු කැමරා කාචවල සටහන් වී තිබේ.

කොවිඩ් හේතුවෙන් බොහෝ දුරට වසා දමා ඇති චීනයේ දේශසීමා හරහා මිනිස් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් මෙම සිව්දෙනාට චෝදනා එල්ලවී තිබුණි.

ජෛවආරක්ෂක ඇඳුම් හැඳ සිටි මේ පුද්ගලයින් ගුවන්ෂි පළාතේ ජින්ෂි නගරයේ වීදි ඔස්සේ ඇවිදවා තිබුණි.

මෙම නින්දා කිරීමේ ප්‍රයත්නයට චීන රජය සතු මාධ්‍යයන්ගෙන් ද ඇතුළු අන්තර්ජාලයෙන් ලැබී තිබුණේ මිශ්‍ර ප්‍රතිචාරයකි.

දෙසැම්බර් 28 වන දින සිදුව ඇති මෙම සිද්ධිය පිළිබඳ පින්තූර සහ වීඩියෝවල දැක්වෙන්නේ, ආරක්‍ෂිත ඇඳුම් සහ මුහුණු ආවරණ පැළඳ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය විසින් නගරයේ ප්‍රදේශයක් හරහා ගමන් කරවන ආකාරය යි.

ඔවුන් සිය නම් සහ ඡායාරූප ප්‍රදර්ශනය කළ පුවරු රැගෙන ගමන් කරනු දක්නට ලැබුණි. ඇතැම් පිරිස් මෙම සිදුවීම නරඹමින් සිටියෝ ය.

රජය විසින් පවත්වාගෙන යනු ලබන ගුවන්ෂි ඩේලි පුවත්පත පවසන්නේ, මෙවන් විනය ක්‍රියාමාර්ගය ගැනීම දේශසීමා ආශ්‍රිත අපරාධ වැලැක්වීමට හේතුවන බවත්, වසංගතය වැළැක්වීමට සහ පාලනයට අනුකූලවීම සඳහා දිරිදෙන බවත් ය.

චීන දේශසීමා ආසන්නයේ වත්මන් කෝවිඩ් තත්ත්වය එරට රාජ්‍ය මාධ්‍යවලින් විස්තර කර ඇත්තේ 'දරුණු සහ සංකීර්ණ' ලෙස යි.

2019 වර්ෂාවසානයේ දී චීනයෙන් ප්‍රථම වරට කොවිඩ් රෝගය මතුවූ අතර, පසුගිය දෙසැම්බර් 28 වන දා වන විට නව රෝගීන් 203ක් සමග මුළු මරණ 4849ක් ද, රෝගීන් 114 365ක් ද එරටින් වාර්තාවී ඇත.

චීනය, කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා මහා පරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණයන ද, ලොක්ඩවුන් දඇතුළුව, දැඩි ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටියි. මේ වන විට එරට ජනගහනයෙන් 86%ක් සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක්කර ඇත.

ප්‍රසිද්ධියේ නින්දා කිරීමේ සිදුවීමට චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Weiboහි මිශ්‍ර ප්‍රතිචාරයන් ලැබී ඇති අතර, එහිදී භාවිතා වූ හැෂ්ටැග් එකක් ඉහළම සමාජ මාධ්‍ය ප්‍රවණතා මාතෘකාව බවට ද පත්විය.

මෙම ක්‍රියාවෙන්, මීට වසර සිය ගණනකට පෙර පිළිපදින ලද ප්‍රසිද්ධියේ නින්දා කිරීමේ සිරිත තමාට සිහියට නැංවූ බව ඇතැමුන් කියා සිටි අතර, තවත් සමහරුන් දේශසීමාව ආසන්නයේ වෛරසයේ පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය ප්‍රයත්නයන්ට පක්ෂව කතාකර තිබුණි.

"ප්‍රසිද්ධියේ නින්දා කිරීමේ සිද්ධියට වඩා භයානක දේ තමයි, මේ ක්‍රමයට සහාය දක්වන බොහෝ අදහස් තියෙන එක," එක් පරිශීලකයෙකු ලියා තිබුණි.

එරට රජයට අයත් බීජිං ප්‍රවෘත්ති සේවය ප්‍රකාශකර තිබුණේ, "මෙම පියවර නීතියේ ආධිපත්‍යයේ අර්ථය බරපතල ලෙස උල්ලංඝනය කරන අතර එය නැවත සිදුවීමට ඉඩ දිය නොහැකිය" යන්න යි.

කෙසේ වෙතත්, ජින්ෂි මහජන ආරක්ෂක කාර්යාංශය සහ ප්‍රාදේශීය රජය මෙම අභ්‍යාසය අනුමත කළ අතර, එය "විනය සම්බන්ධ ක්‍රියාකාරකමක්" බවත්, එහි කිසිදු "නුසුදුසුකමක්" නොමැති බවත් කියා සිටියේයැ යි ප්‍රාදේශීය මාධ්‍යයන් පවසයි.

2007 දී චීනයේ බලධාරීන්ගේ දැනුම්දීමකින් පසුව, මරණ දඬුවම ලබා සිටින සිරකරුවන් ප්‍රසිද්ධියේ ජනයා ඉදිරියට යැවීම තහනම් කරන ලදී.

සංස්කෘතික විප්ලවය සමයේ ප්‍රසිද්ධියේ නින්දාවට ලක්කිරීම සාමාන්‍ය සිරිතක් වූ නමුත් දැන් එය දුර්ලභව පවතියි. 2006 දී ලිංගික ශ්‍රමිකයන් සියදෙනෙකු පමණත්, ඔවුන්ගේ ඇතැම් ගනුදෙනුකරුවනුත් කහ පැහැ සිරකරු ඇඳුම්වලින් සරසවා වීදි පුරා ඇවිද්දවීමට කටයුතුකර තිබුණි.