කොවිඩ්: ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස ප්‍රභේද ග්‍රීක අක්ෂරවලින් නම් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොවිඩ්-19 රෝග කාරක කොරෝනා වෛරස ප්‍රභේද සඳහා නව නාමකරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව වැනි රටවලින් ප්‍රථම වරට අනාවරණය වූ මෙම ප්‍රභේදයන් මෙතැන් සිට ග්‍රීක අකුරු මගින් හඳුන්වනු ඇත.
උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ ප්‍රභේදය ඇල්ෆා ලෙසද, දකුණු අප්‍රිකානු ප්‍රභේදය බීටා ලෙස සහ ඉන්දියානු ප්‍රභේදය ඩෙල්ටා ලෙස නම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මෙය සාකච්ඡා කිරීම සරල කිරීමට පමණක් නොව මෙම නම් කිරීම් තුළින් අදාළ රටවලට යම් අපකීර්තියක් වන්නේ නම් එය ද මගහරවා ගැනීමට උපකාරී වන බවය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාව තුළින් ප්‍රථම වරට අනාවරණය කරන ලද බී.1.617.2 ප්‍රභේදය "ඉන්දියානු ප්‍රභේදය" ලෙස නම් කිරීම පසුගිය මාසය මුලදී ඉන්දීය රජය විසින් විවේචනය කරන ලදී.
කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිවිටක් එම ප්‍රභේදය එනමින් හදුන්වනු නොලැබිණි.
"ප්‍රභේද හඳුනා ගැනීම සහ ඒ බව වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතුයි" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 තාක්ෂණික ප්‍රධානී මාරියා වැන් කෙර්කොව් ට්වීටර් සටහනක් පළකරමින් පැවසීය. ප්‍රභේදයන් පිළිබඳව "දැඩි සෝදිසියක්" කිරීමටත්, පැතිරීම නැවැත්වීමට විද්‍යාත්මක දත්ත හුවමාරු කර ගන්නා ලෙසත් ඇය තවදුරත් එමගින් ඉල්ලා සිටියාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post



ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ මෙම නම් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇත. එම අක්ෂර මගින් වඩාත් සැලකිලිමත් වන ප්‍රභේද සහ උනන්දුවක් දක්වන ප්‍රභේද යන දෙකම දක්වා ඇත.
මෙම ග්‍රීක අක්ෂර දැනට පවතින විද්‍යාත්මක නම්වලට ආදේශකයක් නොවනු ඇත. ප්‍රභේද 24 කට වඩා නිල වශයෙන් හඳුනා ගතහොත් ග්‍රීක අක්ෂර භාවිත කළ නොහැකි බැවින් එම ක්‍රියාවලියෙන් ඉවතට යන අතර අලුත් නාමකරණ වැඩසටහනක් ප්‍රකාශයට පත් කරනු ඇතැයි වැන් කර්කොව් STAT ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
"අපි කියන්නේ B.1.1.7 වෙනුවට ආදේශ කරන්න කියා නොවේ, නමුත් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය පුද්ගලයන් යම් සංවාදයකට යොමුවන අවස්ථාවන්වලදී මෙම අක්ෂර භාවිත කිරීම ඔවුනට පහසුවක් වේවි" යනුවෙන් ඇය එක්සත් ජනපදය පදනම් කරගත් වෙබ් අඩවියට පැවසුවාය. "එබැවින් පොදු කතිකාවේදී, අපට මෙම ප්‍රභේද සමහරක් වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි භාෂාවෙන් සාකච්ඡා කළ හැකියි."
සඳුදා, එක්සත් රාජධානියේ රජයට උපදෙස් දුන් විද්‍යාඥයෙක් කියා සිටියේ අර්ධ වශයෙන් ඩෙල්ටා හෙවත් ඉන්දියානු ප්‍රභේදය හේතුවෙන් රට කොරෝනා වයිරස් ආසාදනවල තුන්වෙනි රැල්ලක මුල් අවධියේ සිටින බවයි.
ශීත සෘතුව පුරා එක්සත් රාජධානියේ රෝගීන්ගේ වැඩිවීමට හේතු වූ ඇල්ෆා (එක්සත් රාජධානි හෙවත් කෙන්ට්) ප්‍රභේදයට වඩා වේගයෙන් එය ව්‍යාප්ත වනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ අතර වියට්නාමය තුළින් හමුවූ නව ප්‍රභේදය එම ප්‍රභේද දෙකේ ම එකතුවක් ලෙස පෙනෙන්නට තිබේ. සෙනසුරාදා රටේ සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියේ එය ඉක්මණින් වාතය හරහා පැතිර යා හැකි බවය. එය "ඉතා භයානක" එකක් යැයි ඔහු විස්තර කළේය.






























