කොරෝනා සමයේ අමුතු මගුල් ගෙයක්! දෙවන මනාලියන් වූ මිත්තනියෝ

Published

මේගන් කෙනඩි සහ තෝමස් කාහුන් විවාහ ගිවිස ගත්තේ සිය මංගල්‍ය උත්සවය සරුවට ගැනීමේ අපේක්ෂාවෙනි.

ඒ සඳහා සියල්ල සැලසුම් කෙරුණි. උත්සව ශාලාව වෙන් වුණි. ආරාධනා පත් තැපැල් කළහ. මේගන්ගේ දෙවන මනාලියන් සහ යෙහෙළියන් තෝරා ගැනුණි - එකතුව දස දෙනෙකි.

නමුත් කොරෝනාව ඒ සියල්ලට ම හරස් විය. මංගල උත්සවය අවලංගු කිරීමට සිදු විය. අවසානයේ අමුත්තන් 15 දෙනෙකුට පමණක් සීමා වූ පුංචි විවාහ මංගල්‍යයකට අවසර ලැබුණි.

මේගන් ගේ මුල් සැලසුම් සියල්ල වෙනස් විය. දෙවන මනාළියන් ලෙස සිය මිත්තනියන් දෙදෙනා තෝරා ගැනීමට මේගන් තීරණය කළාය. එක් මිත්තනියක ගේ වයස අවුරුදු 80ක් වූ අතර අනෙක් මිත්තනිය 90 හැවිරිදි වූවාය.

මේ පිළිබඳව මිත්තනියන්ට මුලින් ම දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ එය "ටිකක් මෝඩ" අදහසක් බවය.

"ඒ දෙන්න කිව්වේ දෙවන මනාලියන් වෙන්න 'අපි වයසට ගිහින් වැඩියි' කියල" මේගන් බීබීසීයට පැවසුවාය.

"ඔවුන් තෝරා ගැනීම ගැන දෙන්නම සතුටු වුනත් ඒක හාස්‍ය ජනක දෙයක් හැටියටයි ඔවුන් හිතුවේ."

සිය මංගල උත්සවයට ආරාධනා කිරීම සඳහා මුලින් සැකසුණු නාම ලැයිස්තුව ඉතා දීර්ඝ එකක් විය. එය 15 දෙනෙකුට සීමා කිරීම මේගන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි.

"මුළු උත්සවය ම 15 දෙනෙකුට සීමා කෙරුණම අඩු තරමේ මගේ හොඳම මිතුරියටවත් ඉඩක් නොලැබෙන බව මට තේරුම් ගියා." මේගන් පැවසුවාය.

අසූ හැවිරිදි ගිලියාන් හොලොවේ සහ අනූ හැවිරිදි මේරි කෙනඩි මෙම විවාහ මංගලෝත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණියේ පසුගිය ඔක්තොම්බරයේදී ය.

පසුගිය මාර්තු මාසයෙන් පසුව ඔවුන් දෙදෙනා නිවසින් පිට එතරම් ඈතකට ගියේ පළමු වතාවට ය.

"ඒ දෙන්න මගේ මගුල් ගෙදරට එනවනම් පුළුවන් උපරිමයෙන් මේක ඔවුන්ට විශේෂිත අවස්ථාවක් කරන්න ඕන කියල අපි හිතා ගත්ත." මේගන් ප්‍රකාශ කළාය.

දෙවන මනාලියන් හැඳ සිටියේ එකම මෝස්තරයේ ඇඳුම් පැළඳුම් නොවේ. නමුත් දෙදෙනා අත මල් කළඹක් විය. මනාලිය දෙපසින් උත්සව සභාවට සීරුවෙන් පිය මැන්නෝය.

තම මංගල උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ විය. කාගේත් වැඩි අවධානය යොමු වී තිබුණේ මනාල යුවළ මිත්තනියන් සමඟ සිටින ඡායාරූප කෙරෙහි ය.

නමුත් සමාජ මාධ්‍ය පිළිබඳව දැනුමක් මිත්තනියන් දෙදෙනාටම නොමැත.

"මම කිව්වම මිත්තනියගේ පින්තුරවලට ලයික් 5000ක් ලැබිල කියල, ඒක එයාලට තේරුණේ නැහැ. 'කවුද ඒවාට කැමතියි කිව්වේ' කියල එයාල මගෙන් අහනවා."

"ඒ පින්තූර කීදෙනෙක් බලල තියෙනවද කියල දැනගන්නේ කොහොමද කියන එක ගැන දැනුමක් එයාලට නැහැ." මේගන් පැවසුවාය.

මෙම පුවත 'බෙල්ෆාස්ට් ටෙලිග්‍රාෆ්' පුවත්පතෙහි පළ විය. ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලයක පළවනවාට වඩා පුවත්පතක ඔවුන් ගැන මුද්‍රණය වී තිබෙනු දැකීම, මිත්තනියන්ට වඩා සතුටක් ඇතිකරවනු ඇති බව මේගන් සිතන්නීය. එම පුවත්පත මිත්තනියන් දෙදෙනාට යවන බව මේගන් පැවසුවාය.

"ඒ දෙන්නම හිතන්නේ මේක පිස්සු වැඩක් කියල. ඒ වුණාට ඒ දෙන්නටම මේකෙන් ලොකු උද්යෝගයක් ලැබුණා."

මෙම වසර අවසානයේ, සරුවට විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීමට මේගන් සහ තෝමස් බලාපොරොත්තුවෙන් සිටිති.