ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: මවගේ "හද කකියවන" මරණය දුටු දියණියකගෙන් ඉල්ලීමක්
කොරෝනා වෛරස් උවදුරෙන් ආරක්ෂාවනු වස් පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්නැයි සිය මව අහිමි වූ දියණියක් ලෝවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
ඇනබෙල් ෂර්මා සහ හැත්තෑ හය හැවිරිදි ඇයගේ මව මරියා රිකෝ එංගලන්තයේ ලෙස්ටර්ෂයර් වාසීහුය.
කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම රෝහල් ගත කරනු ලැබණු අතර ඔවුන්ට එකිනෙක යාබද ඇඳන් දෙකක් ලැබී තිබිණි.
අසල වැතිර සිටි සිය මව අවසන් හුස්ම හෙළමින් සිටිය ද ඇනබෙල්ට කළ හැකි කිසිවක් නොවීය.
ඔක්සිජන් ලබා දීම සඳහා තිබූ මුව ආවරණය මරියාගේ මුවින් ඉවත් කරනු ලැබුවේ අවසන් වරට සිය දියණියන් දෙදෙනා හා වචනයක් කතා කිරීමටය. ඒ හේතුවෙන් සිය මරණය තවත් ඉක්මන් වනු ඇති බව ඇය දැන සිටියාය.
එය "හද කකියවන" මොහොතක් වූ බව ඇනබෙල් පවසයි. අනෙක් අතට මරණ මංචකයේදී සිය මව අසල සිටීමට හැකිවීම පිළිබඳ යම් සතුටක් දැනෙන බව ද ඇය සඳහන් කළාය.
කොරෝනා වෛරස් උවදුර පිළිබඳ ජනතා අවධානය ඉහළ නැංවීමේ අරමුණින් සිය මව හා එක්ව ගත් අවසන් ඡායාරූපය ඇනබෙල් විසින් මාධ්‍ය වෙත මුදා හරිනු ලැබ ඇත්තේ ඉන් අනතුරුවය.
'අස්වැසිල්ලක්'
ඔක්සිජන් දීමට තිබූ මුව ආවරණය ඉවත් කර අඩ හෝරාවකට පසු සිය මව අවසන් හුස්ම හෙලූ බව ඇනබෙල් පවසයි.
"ඔක්සිජන් මාස්ක් එක ඉවත් කරන්න කියලා මගේ අම්මා ඔවුන්ට කිව්වා. 'එය ඉවත් කළොත් එපමණ තමයි, වැඩි වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ,' ඔවුන් ඇයට කීවා,"
"ඇයගේ ප්‍රතිචාරය වුණේ, 'ඔව්, මම ඒක දන්නවා, ඒත් මට දැන් ඇති' " හතලිස් නව හැවිරිදි ඇනබෙල් කියා සිටියාය.
"ඇයත් සමග කතා කරන්න ඉඩ ලැබුණේ මිනිත්තු පහක් පමණයි. ඊට පස්සේ ඇයට සිහිය නැති වුණා."
"මැරෙන්න බය නැහැ, ඒකට සූදානම් බව ඇය අපිට කිව්වා. දරුවෝ ඉන්න නිසා මා තදින් සටන් කරන්න ඕනි කියලත් අම්මා මට කිව්වා."
පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) ඇඟලා සිටි ඇනබෙල්ගේ සොහොයුරිය සුසෑනාට ද ඒ මොහොතේ මව අසල සිටීමට අවසර ලැබිණි.
"අන්තිම හුස්ම පොද පිටව යන තෙක්ම අපි අම්මගේ අත අල්ලන් සිටියා" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය.
"ඇයත් සමග සිටීමට හැකි වුණා කියන දේ මට අස්වැසිල්ලක්. ඒ වගේම අම්මටත් ඒක අස්වැසිල්ලක් වුණු බව මම දන්නවා,"
මරියා සිය දියණිය ඇනබෙල්, ඇයගේ සැමියා සහ පුතුන් තිදෙනා වන නොආ (10), අයිසැක් (12) සහ ජේකොබ් (22) වාසය කළේ එකම නිවසකය.
සිය පුතුන්ගෙන් කෙනෙකු පාසලේදී කොරෝනා වෛරසයට නිරාවරණය වන්නට ඇතැයි ඇනබෙල් විශ්වාස කරයි. එය "බිය උපදවන" වේගයකින් සිය පවුල ව්‍යසනයක් කරා ගෙන ගිය බව ඇය පවසයි.
"සියලුම ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න, අනෙක් අය ගැන සිතන්න කියලා මම මිනිස්සුන්ගෙන් ඉල්ලනවා," යනුවෙන් ඇය සඳහන් කළාය.
ඇනබෙල් සහ ඇයගේ මව ලෙස්ටර්ෂයර් හි රෝහලකට ඇතුළත් කරනු ලැබුනේ පසුගිය ඔක්තෝබරයේ එකම දිනකදීය. මව මිය ගියේ නොවැම්බර් 01 වෙනිදාය.
ඒ එන විටත් රෝහල්ගතව සිටි ඇනබෙල්ට සිය මවගේ අවමංගල්‍ය උත්සවය අන්තර්ජාලය ඔස්සේ සජීවීව දැක ගැනීමට කටයුතු යොදා තිබිණි.
"වෙන්න යන දේ ගැන ඇයට හොඳ අවබෝධයක් තිබුණා. සුවය නොලබන බව ඇය දැන සිටියා. ප්‍රතිකාරවලින් ඇය හෙම්බත් වෙලයි සිටියේ," යනුවෙන් ඇනබෙල් කියා සිටියාය.
රෝහලෙන් පිටව ගොස් ඇතත් කොරෝනා වෛරසය හේතුවෙන් පෙනහළුවලට සිදුව ඇති හානිය නිසා ඇනබෙල්ට තවදුරටත් නිවසේදී ඔක්සිජන් ලබා ගැනීමට සිදුව ඇත.
ඇනබෙල් විසින් සිය මව හඳුන්වනු ලබන්නේ 'ඉතාමත් දැඩි අධිෂ්ඨාන ශක්තියක් සහිත සිතා ගැනීමට අපහසු තරම් හොඳ ගතිගුණ සහිත ආච්චි අම්මා කෙනෙකු" වශයෙනි.
මේ ගැනත් කියවන්න: