කොරෝනා වෛරසය: ආසාදිත මහලු යුවලක් රෝහලේ දී සමුගත් අවසන් හෝරාව

Chloe's parents

ඡායාරූප මූලාශ්‍රය, Chloe Keljarrett

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැරී සහ බාබරා සති දෙකකට පෙර කෝවිඩ් -19 වසංගතයට ගොදුරුවූයෙන් රෝහල්ගත කරනු ලැබුණි
Published

කොරෝනාවෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි මහලු අඹුසැමි යුවලකට අවසන්වරට සමුගැනීමට අවස්ථාව සැලසීමක් පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා විය.

රෝහල් කාර්ය මණ්ඩලය විසින් එවැනි පියවරක් ගන්නා ලද්දේ වෛරසය ආසාදනය වී සිටි මහලු කාන්තාවගේ තත්ත්වය ඉතාම නරක අතට හැරීමත් සමඟය.

එක්සත් රාජධානියේ 'බර්ක්ෂයර්' පළාතේ 'බ්‍රක්නල් ' නගරයේ වැසියන් වන 'ගැරී' සහ 'බාබරා' එම සමුගැනීම සිදුකරන ලද්දේ 'සරේ' පළාතේ 'ෆ්‍රිම්ලි පාර්ක්' රෝහලේ (Frimley Park Hospital) වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් සිටි අතරය.

සිය දෙමව්පියන් අවසන් සමුගැනීම සඳහා මුණගැසුණු අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් 'ට්විටර්' පණිවුඩයක් ද සමඟ පළ කළ ඔවුන්ගේ දියණිය 'ක්ලෝඊ' (Chloe) ' සිය මව ජීවිතයේ අවසන් මොහොත කරා ලංව සිටින ආකාරයක් දක්නට ලැබුණු බව පවසා තිබුණි.

රෝහල් කාර්ය මණ්ඩලය විසින් ගනු ලබන අදහාගත නොහැකි ප්‍රයත්නයට ස්තුතිවන්නට තම මව්පිය දෙපළට අතිරේක කාලයක් ඔවුනොවුන් සමඟ ගතකිරීමට අවස්ථාව ලද බවත් ඇය පවසන්නීය.

ගැරී 79 වෙනි වියේ පසුවෙන අතර බාබරාගේ වයස අවුරුදු 76කි. ඔවුන් දෙදෙනාගේ විවාහ දිවියට වසර පනහකි.

මෙයින් සති දෙකකට පෙර සිය මව සහ පියා කෝවිඩ් -19 වසංගතයට ගොදුරුවූයෙන් රෝහල්ගත කළ බව දියණිය පවසයි.

''වෛරසය දරුණුතම අවස්ථාවකට පත්ව තිබෙන අතරවාරයේ රෝහල් කාර්ය මණ්ඩලය මගේ පියාට, ඇතැම්විට ඔවුන්ගේ අවසන් හමුව විය හැකි මුණගැසීම සඳහා අවස්ථාව ලබා දුන්නා'' පසුගිය සතියේ අඟහරුවාදා ක්ලෝඊ විසින් නිකුත්කරන ලද 'ට්විටර්' පණිවුඩයෙහි සඳහන් වෙයි.

ඉන් අනතුරුව බාබරා ගේ තත්ත්වය තවත් දරුණු අතට හැරීමෙන් පසු ඔවුන් දෙදෙනාට තවත් හමුවක් සඳහා පියවර ගෙන තිබුණි.

''මගේ මව ඇයගේ ජීවිතයේ අවසන් මොහොත කරා පැමිණ සිටින බවක් ඒ මොහොතේ පෙනී ගියා''

Frimley Park Hospital emergency department

ඡායාරූප මූලාශ්‍රය, Frimley Health NHS Foundation Trust

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැරීට සහ බාබරාට අවසන්වරට දැක ගැනීමට අවස්ථාව සැලසීම ''උපරිම සත්කාර සැලසීමක්'' වූ බව FPH රෝහල පවසයි

''මගේ පියා රෝද පුටුවකින් ආවේ කඳුළු සලමින්. ඇවිත් අම්මාගේ අත අල්ලගත්තා. එතකොටම අම්ම ඇස් ඇරලා බැලුවා. අම්මගේ ඇස් දීප්තිමත් වුණා. ඇයට කතාකරන්න පුළුවන් වුණා'' ක්ලෝඊ සිය දෙමව්පියන් ඔවුනොවුන් අවසන්වරට දැකගත් මොහොත ගැන සඳහන් කරයි.

''අම්මාගේ හුස්ම ගැනීම යළිත් නරක අතට හැරීමට පෙර අපට ඉතාම වටිනා අතිරේක පැයක හෝ දෙකක කාලයකුත් ලැබුණා. එය අපට කියාගන්න තිබුණු දේවල් කියාගැනීම සඳහා ලද කාලයක්''

''එම හමුව සලසාදුන් රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුදෙනාට ස්තුතියි! මේ වගේ දුෂ්කර කාලයක එවැනි අවස්ථාවක් ලැබීමත් සිතාගන්නත් අමාරු තරම්''

''සංවේදීභාවයේ සීමා''

ගැරී සහ බාබරාගේ දියණිය ක්ලෝඊ කෙල්ජරෙට් ( Keljarrett) 'බ්‍රකන්හේල්' පාසලේ ගුරුවරියකි. තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙන ලකුණු ඇතත්, පූර්ණ සුවය ලැබීම සඳහා ඔහුට තවත් කාලය ගතකිරීමට සිදුවිය හැකි බව ඇය සඳහන් කළාය.

'''මගේ පියාට තවත් සෞඛ්‍ය ගැටලු ගණනාවක් තියෙනවා. ඒ නිසා යලි සුවය ලැබීම අතින් පියාට දුෂ්කර කාලයක් ගෙවන්න සිදුවේවි. නමුත් මගේ පියා මේ භයානක වෛරසය පරාජය කරාවි කියන ශුභවාදී ආකල්පය තුළයි මම ඉන්නේ' ඇය වැඩිදුරටත් පවසයි.

දැනට පවතින කාර්ය මණ්ඩල හිඟය නිසා අනපේක්ෂිත මට්ටමින් වැඩමුර දෙකක් කිරීමට සිදුවූ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් තමාට මුණගැසුණු බවත් ක්ලෝඊ කෙල්ජරෙට් ( Keljarrett) සඳහන් කරයි.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ මෙවැනි අදහසකි.

''මෙම රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මුහුණදී සිටින සංවේදී සහ ශාරීරික වෙහෙසේ සීමාවන් අනුව ඔවුන් රෝගීන් සම්බන්ධයෙන් මෙතරම් සානුකම්පිත වන්නේ කෙසේද? යන්න මට සිතාගන්නත් අමාරුයි''

'ක්ලෝඊ කෙජරෙට්' විසින් පළකරනු ලැබ ඇති 'ට්විටර්' පණිවුඩයට ප්‍රතිචාරය දක්වන 'ෆ්‍රිම්ලි පාර්ක්' රෝහල (Frimley Park Hospital)මෙසේ සඳහන් කරයි.

''අපගේ හදවත් ඔබ සහ ඔබගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි යොමුවෙයි''

''ඔබ සියලුදෙනා දුෂ්කර තත්ත්වයකට පත්ව සිටින මේ මොහොතේ ඔබට මඳ සහනයක් සැලසීමට හැකිවීම සම්බන්ධයෙන් අපගේ රෝහල් කාර්ය මණ්ඩලය සතුටට පත්වෙයි''

''මෙය සැබැවින්ම අප රෝහල විසින් ලබාදෙන රැකවරණයේ එක්තරා අංශයකි''

කියවන්න ;