බකිංහම් මාලිගයෙන් සොරාගත් භාණ්ඩ eBay ඔස්සේ මතුවෙයි

Published

මහා බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිනගේ මාලිගයෙන් පදක්කම් සහ ඡායාරූප සොරාගත් බව බකිංහම් මාලිගයේ ආහාරපාන සැපයුම් සහකාරවරයෙකු (catering assistant) පිළිගෙන තිබේ.

37 හැවිරිදි ඇඩමෝ කැන්ටෝ විසින් වරද පිළිගනු ලැබුවේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේදී ය.

මෙම සොරකම් 2019 නොවැම්බර් මස 11වැනිදා සිට 2020 අගෝස්තු 7වැනිදා දක්වා කාලය ඇතුළත අවස්ථා තුනකදී සිදු වී ඇත.

මෙම සහකරුවාගේ නිල වාසස්ථානය තුළ තිබී "සැළකිය යුතු භාණ්ඩ ප්‍රමාණයක්" පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

ඔහුගේ වාසස්ථානය පිහිටා ඇත්තේ බකිංහම් මාලිගයේ 'රාජකීය අස්හල' අසල පිහිටි පරිශ්‍රයේ ය.

කැන්ටෝ සිදු කර ඇති වරදට අධිකරණය විසින් දඬුවම් නියම කරනු ලැබීම ඉදිරි දිනයකදී සිදුවනු ඇත.

අධිකරණයට දැන ගන්නට ලැබී ඇත්තේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කැන්ටෝ ට භාර දී තිබූ සුපුරුදු රාජකාරිවලට අමතරව පිරිසිදු කිරීමේ කටයුතු ද පවරා තිබුණු බවය.

ඒ අනුව, මාලිගාව තුළ සාමාන්‍යයෙන් ඔහුට ඇතුළු වීමට අවසර නොතිබුණු කාර්යාල සහ අනෙකුත් ස්ථානවලට යාමේ අවස්ථාව ඔහුට ලැබී ඇත.

මෙම පුද්ගලයා විසින් සොරා ගනු ලබා ඇති ඇතැම් භාණ්ඩ අලෙවිය සඳහා අන්තර්ජාලයේ eBay ඔස්සේ ලැයිස්තුගත කර තිබූ බව නීති බලධාරීහු පවසති.

මේ අතර ඇති ඇතැම් භාණ්ඩ බ්‍රිතාන්‍ය පවුම් 10,000 සිට 100,000 දක්වා වටිනාකම් සහිත නමුත් ඒවා අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ එහි සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට ය.

එමගින් කැන්ටෝ උපයාගෙන ඇති මුළු මුදල බ්‍රිතාන්‍ය පවුම් 7,741කි.

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ කළ නිල සංචාරය අතරතුර ලබා ගත් ඡායාරූප සහිත ඇල්බමය ද මෙම සොරාගත් භාණ්ඩ අතර වේ. එහි වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 1,500ක් පමණ වේ.

විලියම් කුමරු, කේට් කුමරිය සහ හැරී කුමරු ගේ අත්සන සහිත ඔවුන්ගේ නිල ඡායාරූප ද මෙම පුද්ගලයා විසින් සොරා ගනු ලැබ තිබේ.

මාලිගයේ කාර්යාල, ගබඩා ඇතුළු විවිධ ස්ථානවල තිබී සොරා ගෙන ඇති භාණ්ඩ ප්‍රමාණය 77ක් බව අධිකරණයට දැනුම් දී තිබිණි.

බකිංහම් මාලිගයේ ප්‍රධාන පාලකවරයාට අයත් වටිනා පදක්කමක් ද (Companion of Bath medal) තමන් සොරා ගත් බව කෙන්ටෝ පිළිගෙන තිබේ.

මාලිගයේ ප්‍රධාන පාලක (Master) වයිස් අද්මිරාල් ටෝනි ජොන්ස්ටන්-බර්ට් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම පදක්කම අස්ථානගත වී ඇති බව තමන් දැනගත්තේ රැජිනගේ උත්සවයක් සඳහා එය පැළඳීමට අවශ්‍ය වූ අවස්ථාවේදී බවය.

සොරාගත් භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අලෙවිය සඳහා පවතින බව තම කාර්ය මණ්ඩලය මගින් දැනගන්නට ලැබුණු බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

එලිසබත් රැජින විසින් බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් ජෙනරාල් රිචර්ඩ් සයික්ස් වෙත 2010 දී පිරිනමනු ලැබූ Commander of the Royal Victorian Order පදක්කම ද මෙම භාණ්ඩ අතර වේ.

මෙය සොරා ගෙන ඇත්තේ එම මේජර් ජෙනරාල්වරයාට අයත් කුඩා අල්මාරියක තිබියදී ය.

මෙම නඩු විභාගයේ විනිසුරුවරයා විසින් කොන්දේසි ඇප මත කැන්ටෝ නිදහස් කරනු ලැබ ඇත්තේ ඉදිරි දිනයක දී ඔහුට සිර දඬුවම් පමුණුවනු ඇති බව පවසමිනි.