ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමරිකාව: කාන්තාරයෙන් හමුවූ "අමුතු" ලෝහ කණුව
ඇමරිකාවේ යුටා කාන්තාරයට ඉහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානයක කාර්ය මණ්ඩලයට අමුතු ලෝහ කණුවක් නිරීක්ෂණය වී තිබේ. මෙම සිද්ධියත් සමග අදාළ පළාත් පාලන ආයතන කැලඹී ඇතැයි වාර්තා වේ.
එක්සත් ජනපදයේ යුටා ප්‍රාන්තයේ ගිනිකොන දෙසින් පිහිටි දුර බැහැර ප්‍රදේශයක ගුවනේ පියාසර කරමින් බැටළුවන් ගණන් කිරීමේ යෙදුණු වනජීවී නිලධාරීන් මෙම "අසාමාන්‍ය" වස්තුව දැක තිබේ.
ඔවුන් කියා සිටියේ මෙම වස්තුව රතු පාෂාණ අතර පිහිටි භූමියේ සිටුවා ඇති බවය.
අඩි 10 සිට 12 දක්වා පමණ වූ උසින් යුත් මෙම කණුව එම ස්ථානයේ සිටවූයේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත.
දේශීය පුවත් නාලිකාවක් වන KSLTV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙලිකොප්ටර් නියමුවා බ්‍රෙට් හචින්ස් පැවසුවේ "මම පියාසර කළ අවුරුදු ගණනාව පුරාම මේ තැන දැකපු අමුතුම දේ මෙයයි," යනුවෙනි.
හෙලිකොප්ටරයේ සිට විශාල අං සහිත බැටළුවන් ගණන් කරමින් සිටි ජීව විද්‍යාඥයෙකු පළමුවෙන්ම මෙම වස්තුව දුටු බව බ්‍රෙට් හචින්ස් පැවසුවේය.
"ආ, ආ, ආ, හැරෙන්න, හැරෙන්න! කියා ඔහු කෑ ගැසීමත් සමග, මම 'ඇයි?' කියා ඇසුවා. එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ යම් දෙයක් එතන තියෙනවා අපි ඒක බලන්න යන්න ඕන කියලා," බ්‍රෙට් හචින්ස් පැවසීය.
බ්‍රෙට් හචින්ස් අනුමාන කරන්නේ මෙම කණුව ස්ථාපනය කරනු ලැබ ඇත්තේ "කිසියම් නව කලාකරුවන්ගේ රැල්ලකට" අනුව හෝ ස්ටැන්ලි කුබ්රික් 1968 දී අධ්‍යක්ෂණය කළ 2001: අ ස්පේස් ඔඩිසි (2001: A Space Odyssey) චිත්‍රපටයේ රසිකයෙකු විසින් බවය.
ආතර් සී ක්ලාක්ගේ නවකතා රචනයේ එන පරිදි, නොපෙනෙන පිටසක්වල ජීවියෙකු විසින් නිර්මාණය කරන ලද කළු කණු පිළිබඳ එම චිත්‍රපටය තුළ දැක ගත හැකිය.
මෙම කණුව ස්ථාපනය කිරීමේ වගකීම කිසිවෙකුත් මෙතෙක් භාරගෙන නොමැත.
පිළිතුරු සොයමින් සිටින යුටා හි අධිවේගී මුර සංචාර අංශය මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාල සටහනක් පළ කර තිබිණි. "විමසීම් සිදු කරන මනස් දැන ගැනීමට කැමතියි, මේ කුමක්ද කියලා? කවුරුන් හෝ දන්නවා ද?," ඔවුන් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබිණි.
බොහෝ නිරීක්ෂකයින් උපකල්පනය කර ඇත්තේ එය මූර්ති ශිල්පියෙකු ඉතිරි කරන ලද කණුවක් ලෙසිනි. සමහරු එය කලාකරුවෙකු වන මියගිය ජෝන් මැක්‍රැකන්ගේ කෘතියට සමාන බව පවසති.