කොරෝනා වෛරසය: කෝවිඩ්-19 රෝගියකුගේ කන් ඇසීම හිටිහැටියේම නතර වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොරෝනාවෛරසය ආසාදනය වූ 45 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකුට ඔහුගේ කන් ඇසීම සදහටම අහිමිව ඇත.
කොරෝනා වසංගතයට සම්බන්ධ එවැනි ශ්‍රවනාබාධයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව එක්සත් රාජධානියේ වෛද්‍යවරු පවසති.
හිටිහැටියේ මුහුණදීමට සිදුවෙන මෙවැනි දුර්ලභ ශ්‍රවනාබාධ 'ෆ්ලු' (flu) වැනි වෙනත් වෛරස් වර්ග ආසාදනය වීම නිසාත් සිදුවිය හැකි බවත් පැවසෙයි.
මේ සම්බන්ධයෙන් BMJ සඟරාවට අදහස් දැක්වූ කණ, නාසය උගුර පිළිබඳ විශේෂඥයන් සඳහන් කර තිබෙන්නේ 'උත්තේජක ඖෂධ' (steroid drugs) කල්තබා දෙන ලද්දේ නම්, එවැනි ශ්‍රවනාබාධයකට ගොදුරුවීම වලක්වා ගැනීමට එමගින් ආධාරයක් ලැබිය හැකි බවය.
සදහටම සිය කන් ඇසීම අහිමි වූ රෝගියා ඇදුම රෝගයෙන් ද පෙළෙන්නකු වන අතර, කොරෝනාවෛරසය ආසාදනය වීමේ ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහු ලන්ඩන් නගරයේ රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇත. මේ අතර ඔහු හුස්ම ගැනීම අතින් බරපතල සටනක නිරතවීමත් සමඟ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුණි.
රෝගියාට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වූ අතර ඔහුට හුස්ම ගැනීම සඳහා 'වෙන්ටිලේටර්' පහසුකම් සපයා ඇත.
ඒ අතරවාරයේ රෝගියාගේ සෞඛ්‍ය යහපත් අතට හැරීමට පෙර විවිධ වර්ගයේ ඖෂධ වර්ග සහ රුධිරය ලබාදීමක් ද අවශ්‍ය විය. ඔහුට සපයමින් තිබුණ 'වෙන්ටිලේටර්' පහසුකම් ඉවත්කරන ලද්දේ දවස් තිහකට පසුවය.
හුස්ම ගැනීමේ පහසුව සඳහා සවිකරනු ලැබ තිබුණ 'ටියුබය' (breathing tube) ඉවත්කරනු ලැබ දැඩි සත්කාර ඒකකයෙන් වෙනත් අංශයකට මාරුකරනු ලැබීමෙන් සතියකට පසු රෝගියාට 'ගුමු ගුමු'නාදයක් (tinnitus) ඇසෙන්නට පටන්ගෙන ඇති අතර හිටිහැටියේම වම් කණේ ඇසීම නතර විය.
මේ අතර රෝගියාගේ ශ්‍රවන තත්වය සම්බන්ධයෙන් සිදුකරනු ලැබ ඇති පරීක්ෂණවලින් පෙන්නුම් කෙරෙන්නේ, ඔහු මුහුණ දී සිටින ශ්‍රවනාබාධයට හේතුව කර්ණ නාළිකාවේ අවහිරවීමක් හෝ එසේත් නොවේනම් ඉදිමීමක් නොව මැද කණෙහි හෝ කන් දෙකෙහිම ශ්‍රවන නහරවලට හානිවීමෙන් එම තත්වය උද්ගත විය හැකි බවය.

ඡායාරූප මූලාශ්‍රය, Science Photo Library
රෝගියා මුහුණදුන් Covid-19 ආසදනයවීම හැරුනවිට ඔහුගේ කන් ඇසීම අහිමිවීම කෙරෙහි බලපෑ වෙනත් හේතුවක් වෛද්‍යවරුන් විසින් තවමත් සොයාගනු ලැබ නැත.
වෛද්‍යවරුන් රෝගියාට 'උත්තේජක' පෙතිවර්ග (steroid tablets) දී ඇති අතර ඔහුගේ කනට එන්නත් කිරීම් සිදුකර ඇඇති නමුත් එම ප්‍රතිකාර මගින් රෝගියාගේ ශ්‍රවන තත්වය යහපත් අතට හැරීමක් පෙන්නුම් නොකරයි.
"ජනතාව අතර Covid-19 වෛරසය විශාල වශයෙන් පැතිර පැවැත්ම සහ කන් ඇසීම සැලකිය යුතු මට්ටමින් අහිමිව යාම ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන අනාගත පර්යේෂණ වලට වැදගත් මාතෘකාවක්," ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ (University College London) සහ උගුර, නාසය සහ කණ පිළිබඳ රාජකීය ජාතික රෝහලේ කණ්ඩායමක් පවසා ඇත.
Covid-19 පුද්ගලයකුගේ ශරීරගතවීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් ද අදහසක් පවතී. එම අදහස අනුව, වෛරසය පෙනහැල්ලට ඇතුල්වීමෙන් පසු එම ඉන්ද්‍රියයේ මතුපිට ස්තරය කලාප හැටියට බෙදාගනිමින් එහි සුවිශේෂී සෛලයක් මගින් ආසාදනය ඇතිකරයි.
එම සෛලය මැද කණෙහි නාලිකාවෙන් ද හමුවූ බව පර්යේෂකයෝ පවසති.
එසේම Covid-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ශ්‍රවන සංකූලතා පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් ඔවුහු වෛද්‍ය කාර්යමණ්ඩලවලට උපදෙස් දෙති.
පර්යේෂකයන් වැඩිදුරටත් කියා සිටින්නේ රෝගියකුගේ කන් ඇසීම හදිසියේම නතර වුවහොත් ඉක්මන් ප්‍රතිකාර සඳහා විශේෂඥයකු වෙත යොමුකරන ලෙසය.
කොරෝනා ගැන තවත් තොරතුරු:





























