ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිනිස් ඇසුරට ලැදි ගෝරිල්ලා මරා දැමූ දඩයක්කරුට සිර දඬුවම්
උගන්ඩාවේ කඳුකරයේ වෙසෙන ගෝරිල්ලන් අතරින්, රෆිකි නමින් ජනප්‍රියව සිටි ගෝරිල්ලා මරා දැමූ පුද්ගලයාට එකොළොස් වසරක සිර දඬුවමක් නියම විය.
සංරක්ෂිත ප්‍රදේශයකට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ගෝරිල්ලකු මරා දැමීමේ චෝදනාවට තමන් වරදකරු බව ෆෙලික්ස් බ්යමුකාමා (Felix Byamukama) පිළිගත්තේය.
උගන්ඩාවේ වනජීවී අධිකාරිය සඳහන් කර ඇති පරිදි, බ්යමුකාමා මීට පෙර පවසා ඇත්තේ මෙම ගෝරිල්ලා තමන්ට පහර දීමට පැමිණි අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා එම සත්වයා මරා දැමීමට සිදු වූ බවය.
මෙම ගෝරිල්ලන් උගන්ඩාවේ කඳුකරයෙන් තුරන් වී යාමේ අනතුරට මුහුණ දී සිටී. මේ වනවිට එම කඳුකරයේ වෙසෙන්නේ ගෝරිල්ලන් දහසකට මඳක් වැඩි ප්‍රමාණයක් පමණි.
"රෆිකිට යුක්තිය ඉටු වුණා," උගන්ඩාවේ වනජීවී අධිකාරිය පැවසීය.
බ්යමුකාමා, තවත් අනවසර දඩයම් කිහිපයකටම වරද පිළිගෙන තිබේ. එනම්, මුව පැටවෙකු සහ වල් ඌරෙකු මරා දැමීම මෙන්ම එම මාංශ සන්තකයේ තබා ගැනීමයි.
තමන් තවත් තිදෙනෙකු සමඟ බ්වින්ඩි (Bwindi) ජාතික වනෝද්‍යානයට ඇතුළු වූයේ කුඩා සතුන් දඩයම් කිරීම සඳහා පමණක් බවත් එහිදී රෆිකි පහර දීමට පැමිණි හෙයින් ආත්මාරක්‍ෂාව වෙනුවෙන් මරා දැමීමට සිදු වූ බවත් උගන්ඩාවේ වනජීවී අධිකාරිය ඉදිරියේ මෙම පුද්ගලයා පිළිගෙන තිබුණි.
තියුණු ආයුධයකින් අභ්‍යන්තර අවයවවලට තුවාල සිදු වීම හේතුවෙන් රෆිකි මරණයට පත්වී ඇති බව පරීක්ෂණවලින් සනාථ වී තිබේ.
රෆිකි පසුගිය ජුනි පළමුවන දා අතුරුදහන් වූ අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු කණ්ඩායමක් විසින් රෆිකිගේ මළසිරුර පසුවදා සොයා ගනු ලැබිණ.
වනජීවී නිලධාරීන් විසින් බ්යමුකාමා අල්ලා ගනු ලැබුණේ අසල පිහිටි ගම්මානයක සිටියදී ය. සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ආයුධ සහ උපකරණ ද ඔහු සන්තකයේ තිබුණි.
ඔහු සමඟ අත්අඩංගුවට පත් අනෙක් තිදෙනා චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර නඩු විභාගය නිම වන තුරු බන්ධනාගාර ගත කර ඇත.
බ්යමුකාමා ජීවිතාන්තය දක්වා සිරගත කෙරෙනු ඇති බවට අනාවැකි පලවී තිබුණු නමුත් එල්ලවූ චෝදනා කිහිපයටම ඔහුට ලැබී ඇත්තේ එකොළොස් වසරක සිර දඬුවමකි.
ඊට හේතුව, විශේෂ වනජීවී සංරක්ෂණ අධිකරණයක් ඉදිරියේ මෙම නඩු විභාගය නොපැවැත්වීම යැයි උගන්ඩාවේ වනජීවී අධිකාරියේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසීය.
මිය යන විට රෆිකි ගේ වයස අවුරුදු 25ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. ගෝරිල්ලන් 17 දෙනෙකුගෙන් යුත් රංචුවක නායකයා වූයේ රෆිකි ය.
මෙම ගෝරිල්ලන් රංචුව මිනිසුන්ට හොඳින් හුරු පුරුදු බවක් දැක්වූ බව සඳහන් වේ.
මෙම රංචුවේ නායකත්වය මිනිස් ඇසුරට අකමැති පිටස්තර ගෝරිල්ලෙකු අතට පත්වුවහොත් නැවත ඔවුන් මිනිසුන්ට දැකගත නොහැකි වනු ඇති බවට පරිසරවේදීහු කනස්සල්ල පල කරති. එය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට ද බලපානු ඇත.
නමුත් මේ දක්වා එම රංචුවේ ම වෙනත් ගොරිල්ලෙකුගේ නායකත්වය යටතේ ඔවුන් වෙසෙන බව වනජීවී බලධාරීහු සනාථ කර ඇත.
කඳුකර ගෝරිල්ලන් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්වී ඇති අතර උගන්ඩාවේ වනජීවී අධිකාරිය පවත්වාගෙන යන්නේ ද එමගින් ලැබෙන ආදයමෙනි.
රෆිකි මෙම සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි.
කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් මෙම වනෝද්‍යානය වසා දමා තිබුණු හෙයින් එම කාලය තුලදී නීතිවිරෝධී සත්ව දඩයම් ඉහළ ගොස් ඇත.
එවැනි සිද්ධීන් 300ක් පමණ ලොක්ඩවුන් මාසය ඇතුළත පමණක් වාර්තා වී තිබේ.