කොරෝනා වෛරසය: ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ රෝගීන්ගේ වැඩි වීමක්

ඔස්ට්‍රේලියාව

ඡායාරූප මූලාශ්‍රය, EPA

Published

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනාවෛරසයේ බලපෑමට ලක්වූ වික්ටෝරියා ප්‍රන්තය තුළ මෙතෙක් වාර්තාවූ දරුණුම මරණ සංඛ්‍යාව හා රෝගීන් ප්‍රමාණය බ්‍රහස්පතින්දා (ජූලි 30) දිනය තුළ සටහන් කෙරිණ.

මේ හේතුවෙන් ප්‍රාන්ත අගනුවර වන මෙල්බර්න් වෙත පනවා තිබූ සති හයක 'ලොක්ඩවුන්' වැඩපිළිවෙල ඵල නොදරන බවට බිය පළවෙමින් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ අලුතින් මරණ 13 සහ රෝගීන් 723 ක් වාර්තා විණි. එය පසුගිය සඳුදා වාර්තා වූ ප්‍රමාණයට වඩා 36%ක ඉහළ යාමකි.

මේ පසුබිම මත, ජූලි 7 වෙනිදා ඇරඹුණු 'ලොක්ඩවුන්' වැඩපිළිවෙල තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි බිය පළවී තිබේ.

මෙම වැඩිවීම තුළින් ඔස්ට්‍රේලියාව තුළ වසංගතය සම්බන්ධයෙන් සමස්තයක් ලෙස වාර්තා වූ දරුණු ම දවස ලෙස සැළකේ.

රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වහා පරීක්ෂණවලට යොමුවන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත නිලධාරීහු එහි වැසියන්ගෙන් ආයාචනයක් කළහ.

පසුගිය සතියේදී විටෝරියා ප්‍රාන්ත ආණ්ඩුව කියා සිටියේ ලොක්ඩවුන් වැඩපිළිවෙල අතරේ වුවද, හුදෙකලා වීමේ රීති බිඳ දමන රෝගී පුද්ගලයින් හෝ නොඑසේනම් නියමිත වේලාවේදී පරීක්ෂණවලට යොමු නොවන පුද්ගලයින් රෝගය පැතිරීමට හේතුවී ඇති බවය.

"ඔබට රෝග ලක්ෂණ ඇත්නම් ඔබට කළ හැකි එකම දේ පරීක්ෂා කරවා ගැනීමයි," යැයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පැවසීය.

"ඔබට සේවා ස්ථානයට යන්න බැහැ. මොකද ඔබ එයින් කරන්නේ වෛරසය පතුරවන එකයි," ඔහු කියා සිටියේය.

වික්ටෝරියා හි රෝගීන්ගේ දෛනික වැඩිවීම

නිවෙස්වල රැඳෙන ලෙසට මෙල්බර්න් නුවරට නිකුත් කෙරුණු නියෝගය අනුව ව්‍යායාම, ආහාර මිලදී ගැනීමට සාප්පු යාම, සේවයට යාම හා සත්කාර සේවා සඳහා යාම හැරුණු කොට පුද්ගලයින්ට සිය නිවෙස්වලින් බැහැර යා නොහැක.

ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළ පළමු ඔස්ට්‍රේලියානු නගරය ද මෙල්බර්න් වේ. මෙම පියවර ලබන සඳුදා සිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තය පුරාම දියත් කෙරෙනු ඇත.

වැඩිහිටි සාත්තු නිවාසවල තත්ත්වය පිළිබඳ ක්‍රියා කිරීම සඳහා 1,400 ට වැඩි හමුදා භට පිරිසක් යොදවා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩිහිටි සාත්තු නිවාසවල තත්ත්වය පිළිබඳ ක්‍රියා කිරීම සඳහා 1,400 ට වැඩි හමුදා භට පිරිසක් යොදවා ඇත

නගරයේ සාත්තු නිවාස ඇසුරේ වෛරසය පවතින බව අලුත්ම දත්තවලින් පිළිබිඹු වන බව අගමැති ඇන්ඩෲස් පැවසීය. ඒ අනුව වාර්තා වී ඇති සෑම රෝගීන් හයදෙනෙකුගෙන් එක් අයෙකු ම සාත්තු නිවාසවල වෙසෙන්නන් හා කාර්ය මණ්ඩලවලට සම්බන්ධය.

ගෙවී ගිය දෙසතිය තුළ වාර්තා වූ මරණවලින් බහුතරය සමන්විත වූයේ වැඩිහිටි පුද්ගලයින් ගෙනි.

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය කෙබඳුද?

වසංගතය පැතිරීමට අදාළ පළමු මාස කිහිපය තුළදී අනුගමනය කෙරුණු සාර්ථක මැඩලීමේ පියවර හේතුවෙන් ඔස්ට්‍රේලියාව අන් බොහෝ රටවලට වඩා අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කළේය. ඒ අනුව රෝගීන් ප්‍රමාණය 16,000 ක් පමණ වූ අතර මරණ සංඛ්‍යාව 189 ක් විණි.

කෙසේනමුත් මෙල්බර්න් නගරය ආශ්‍රිතව ජුනි මාසයේ ඇරඹුණු පැතිරීම මෙම මාසය තුළදී පමණක් රෝගීන් 7,000 ට වැඩි ප්‍රමාණය වාර්තාවීමට මග පාදා ඇති අතර දෙවෙනි රැල්ල තුළ මුලු රටේම රෝගීන් ප්‍රමාණයෙන් 95% ක් වාර්තා කළේය.

පසුගිය මාසයේදී ආසන්න ප්‍රාන්ත විසින් වික්ටෝරියා ප්‍රාන්තය සමග ඇති ප්‍රාන්ත සීමා වසා දැමූහ.

කෙසේවෙතත්, සිඩ්නි නුවරට වෛරසය පැතිර තිබුණේ මෙල්බර්න් සිට ඒ වෙත ගිය පිරිස්වලිනි.

එහි බලධාරීන් මේ වන විට ආපනශාලා හා සමාජ ශාලා ආශ්‍රිත පොකුරු සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින අතර නගරය 'අනතුරුදායක තත්ත්වයක' ඇති බවට ඔවුහු අනතුරු ඇඟවූහ.

මෙසේ අලුතින් මතුවූ අවදානම හේතුවෙන් සිඩ්නි නුවරින් පැමිණෙන කිසිවකු හෝ සිය ප්‍රදේශයට ඇතුළුවීම වැළකීම සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද බදාදා (ජූලි 29) උතුරු ප්‍රදේශ (Northern Territory) හා බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත සමග එක්විය.

මෙම තොරතුරු ද දැනගන්න: