ඩොනල්ඩ් ට්‍රම්ප්: විදෙස් ශ්‍රමිකයන් සඳහා වීසා ලබා දීම අත්හිටුවීමට තීරණයක්

Published

ඇතැම් ග්‍රීන් කාඩ්පත් සහ 2020 වසර අවසන් වන තෙක් අනෙකුත් විදේශීය ශ්‍රමිකයින් සඳහා වීසා බලපත්‍ර ලබා දීම අත්හිටුවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඒ අනුව, ඉහළ නිපුණතා ඇති තාක්‍ෂණ සේවකයින්, වගා සහායකයින්, ගෘහ සේවකයින් සහ ඉහළ විධායක නිලධාරීන්ගේ වීසා බලපත්‍රවලට මින් බලපෑම් එල්ල වනු ඇත.

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් පීඩාවට පත් වී සිටින ඇමරිකානුවන්ට මෙම පියවර මගින් රැකියා උත්පාදනය වනු ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

එහෙත් විචාරකයින් පවසන්නේ ධවල මන්දිරය සංක්‍රමණ නීති දැඩි කිරීම සඳහා කොරෝනාවෛරසය වසංගතය යොදාගෙන ඇති බවය.

පීඩාවට පත් වන්නේ කවු ද?

වාර්තාකරුවන් සඳහා පැවති සාකච්ඡාවකදී ධවල මන්දිර පරිපාලනය කියා සිටියේ වසර අවසානය වන විට මෙම තීරණය පුද්ගලයන් 525,000 කට පමණ බලපාන බවය.

විදේශිකයන්ට ස්ථිර පදිංචිය ලබා දෙන නව ග්‍රීන් කාඩ්පත් තහනම් කිරීමට ගත් තීරණය දීර්ඝ කිරීම බලපෑ 170,000 ක පමණ පිරිසක් ද මෙයට ඇතුළත්ය. ග්‍රීන් කාඩ්පත්‍ ලබා දීම නවත්වන බව ධවල මන්දිරය පළමුවෙන්ම නිවේදනය කළේ අප්‍රේල් මාසයේ දීය. එම තීරණය ජුනි 22 වෙනි සඳුදා දක්වා බලපැවැත්විණි.

කෙසේනමුත්, සඳුදා ප්‍රකාශයට පත් කරන ලද නව සීමාවන් යටතේ දැනට සිටින වීසා බලපත්‍රලාභීන්ට බලපෑමක් සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවයේ නිරත ඉන්දියානුවන් බොහෝ ප්‍රමාණයකට ලබා දී ඇති H-1B වීසා බලපත්‍ර සඳහා ද මෙම නියෝගය අදාළ වේ. විවේචකයන් පවසන්නේ මෙම වීසා බලපත්‍ර මඟින් විශාල තාක්ෂණික සමාගම්වලට අඩු වැටුපකට විදේශීය සේවකයින් සඳහා ඇමරිකානු රැකියා ලබා දීමට ඉඩ ලැබුණු බවය. පසුගිය වසරේදී පමණක් H1-B වීසා වැඩසටහන හරහා විවෘත වූ රැකියා 85,000 ක් සඳහා අයදුම්පත් 225,000 ක් පමණ ලැබී තිබිණි.

කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම් කර්මාන්තය සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හැර, හෝටල් කර්මාන්තය ඇතුළු අනෙකුත් විවිධ ක්ෂේත්‍රවල සේවකයින් සඳහා H1-B වීසා බලපත්‍ ලබා දීම මෙම නියෝගයෙන් අත්හිටුවනු ලැබේ.

හුවමාරු ක්‍රමයට පැමිණෙන විශ්ව විද්‍යාල සිසුන් සහ ගෘහ සේවා සපයන විදේශීය පුද්ගලයන්ට ලබා දෙන කෙටිකාලීන J-1 වීසා බලපත්‍රද මෙම නියෝගයෙන් සීමා කරනු ඇත. මහාචාර්යවරුන් සහ විද්වතුන් මෙයට ඇතුළත් නොවේ. කෙසේනමුත්, වීසා අයදුම් කිරීමේ දී විශේෂ සලකාබැලීමක් ඉල්ලා සිටීමට ද ප්‍රතිපාදන සකසා තිබේ.

බහුජාතික සමාගම්වල කළමනාකරුවන් සහ අනෙකුත් ප්‍රධාන සේවකයින් සඳහා ලබා දෙන වීසා බලපත්‍ර ද අත්හිටුවා ඇත.

ප්‍රතිචාර මොනවාද?

ජනාධිපතිවරයාගේ ක්‍රියාව හෙළා දකින කණ්ඩායම් අතර ප්‍රධාන පෙළේ තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් ද වේ.

"සංක්‍රමණය සීමා කිරීම සාධාරණීකරණය කිරීමක් ලෙස කෝවිඩ් -19 වසංගතය භාවිත කර තිබෙනවා. නමුත් ඇත්තටම, ඉහළ නිපුණතා තිබෙන පිරිස ඇමරිකාවෙන් ඉවත් කර තිබීම නිසා ආර්ථිකය ගොඩගැනීම තවත් දුෂ්කර වෙනවා," යැයි ෆේස්බුක් සමාගම පවසා තිබේ.

ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නව තීරණය ගැන තමා "දැඩි කලකිරීමට" පත්ව ඇති බවය. මේ අතර ගූගල් සහ යූ ටියුබ් හි මව් සමාගම වන ඇල්ෆාබෙට් (Alphabet) හි ප්‍රධානී සුන්දර් පිචායි කියා සිටියේ තම සමාගමේ සහ රටේ සාර්ථකත්වයට සංක්‍රමණිකයන් ඉතා වැදගත් බවය.

අනෙක් සමාගම් සියල්ලටම වඩා, පසුගිය වසරේදී H-1B වීසා 3,000 කට වඩා ලබා ගත් ඇමසන් සමාගම පවසන්නේ මෙය "කෙටි දැක්මකින්" ලබා ගත් තීරණයක් බවය.

පුළුල් ව්‍යාපාරික කණ්ඩායමක් වන ඇමරිකානු වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයාගේ නියෝගය අනුමත කළ අතර, සමහර කැනේඩියානු ව්‍යාපාරික ප්‍රධානීන් එක්සත් ජනපදයෙන් පිටත අවස්ථා ගැන හුවා දැක්වීමට මේ මොහොත යොදා ගෙන තිබිණි.

"මේ තීරණය ඔබගේ සැලසුම් වලට බලපාන්නේ නම්, ඇමරිකාව වෙනුවට කැනඩාවට පැමිණීම ගැන සලකා බලන්න," යැයි Shopify හි ප්‍රධාන විධායක නිලධාරී ටෝබි ලුට්කේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබිණි.

ජනාධිපති ධුරයේ මුල් දින සිටම සංක්‍රමණ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ තාක්ෂණික සමාගම් අතර මතභේද පවතී. සංචාරක තහනම සම්බන්ධයෙන් මෙන්ම නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස එක්සත් ජනපදයට රැගෙන ආ දරුවන්ට එරෙහි ක්‍රියාමාර්ග වැනි කාරණා සම්බන්ධයෙන් මෙම මත ගැටුම් ඇති විය.

එහෙත් නොවැම්බර් මස නැවත තේරී පත්වීමට සූදානම්ව සිටින ජනාධිපතිවරයා සංක්‍රමණ පිළිබඳ සිය දැඩි ස්ථාවරය මැතිවරණ ව්‍යාපාරයට යොදා ගෙන ඇත. ඔහු පවසන්නේ තාක්ෂණික සමාගම්වල රැකියා ඇමරිකානුවන් වෙත යා යුතු බවය.

මේ තොරතුරුද කියවන්න: