ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: පාළුවට ගිය ආරුගම්බේ ඇතුළු ලොව වටා සංචාරක නගර
සමහරුන්ට එය ආරුගම්බේ නගරයේ දිය මත ලිස්සා යෑමකි, තවත් සමහර අයට අහසින් බිමට පැනීමකි, නැත්නම් තමන් කව්රුන්දැයි සොයා ගැනීමකි, නමුත් ඒ සියල්ලටම වඩා කඳුකරයට ඇති ආදරය නිසා ටාරා බැෂ්ෆර්ඩ්ගේ මීළඟ සංචාරය වූයේ නවසීලන්තයයි.
බ්‍රිතාන්‍ය ජාතික 23 හැවිරිදි කඳු නැගීමේ උපදේශකවරියක් වන ඇය වකුගඩු බද්ධ කිරීමකින් සුවය ලබා ඇති අතර, ඇය කාලයක් පුරාවට සිය පෙම්වතා සමඟ "හැකි තරම් මුදල් ඉතිරි කිරීමට" ක්‍රියා කර ඇත.
"මම සංචාරය කිරීමට කැමතියි. මම සැලසුම් කර සංචාරය කරන්නේ නැහැ එන විදිහකට මුහුණ දෙමින් හැඩගැහෙනවා," යැයි ඇය බීබීසී නිව්ස්බීට් වෙත පැවසීය.
නමුත් කෝවිඩ් -19 බොහෝ දේ වෙනස් කළේය.
ටාරා බැෂ්ෆර්ඩ් අප්‍රේල් මාසයේදී නවසීලන්තයට පියාසර කිරීමට නියමිතව තිබූ නමුත් එහි දේශසීමා වසා දැමීමෙන් පසු එටර අගමැතිවරිය පවසා ඇත්තේ "දීර්ඝ කාලයකට" සංචාරකයින්ට එය විවෘත නොකරන බවය.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නිරෝධායන රහිතව සංචාරය කිරීම සඳහා 'සංචාරක බුබුලක්' යෝජනා වී ඇත. "ව්‍යාපාරවල පැවැත්ම සඳහා මෙය උපයෝගී" වනු ඇති බව ව්‍යාපාර හිමිකරුවන් බලාපොරොත්තු වේ.
'මට ඇත්තටම බයයි'
පසුගිය වසරේ පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් ඉක්බිතිව සංචාරකයින්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් පහත වැටීමෙන් පසුව, මෙම වාරයේ දී නැවතත් එය "සාමාන්‍ය" තත්ත්වයට පත් වනු ඇතැයි ආරුගම්බේහි ප්‍රදේශවාසී පිරිස් බලාපොරොත්තු වූහ.
"මට මේ ගැන ඇත්තටම බයයි," දිය මත ලිස්සා යෑම පුහුණු කරන්නෙකු වන අයතු පිචායි මුබාරක් පැවසීය. ඔහු 'මුබා' ලෙස අමතන්න යැයි ඉල්ලීමක් ද කළේය.
"සංචාරකයින් නැවත එනකම් අපි බලාගෙන ඉන්නවා. මට මාස තුනකින් බිස්නස් තිබුණේ නැහැ. මම යාළුවන්ගෙන් සල්ලි ණයට ගත්තා. නමුත් කවදාහරි ඒවා ඔවුන්ට ආපසු ගෙවන්න ඕනේ."
ප්‍රදේශවාසීන්ගෙන් බහුතරයක් හෝටල් සේවකයන් හෝ ත්‍රීරෝද රථ රියදුරන් වන අතර, සංචාරකයින් "අප සැමට මුදල් උපයා ගැනීමට උදව් කරන" බව මුබා පවසයි.
26 හැවිරිදි ඔහු පවසන්නේ "හිරු උදාවේ සිට හිරු බැස යෑම" දක්වා දිය මත ලිස්සා යෑම උගන්වමින් දිනකට ඇමරිකානු ඩොලර් 100 ක් පමණ උපයන නමුත්, දැන් ඔහුගේ අනාගතය ගැන අවිනිශ්චිත බවය.
"ගිය අවුරුද්දේ සංචාරකයන් ශ්‍රී ලංකාව පැමිණීමට බය වුණා නමුත් දැන් කොරෝනාවෛරස් එක නිසා ඔවුන්ට එන්න බැහැ," මුබා නිව්ස්බීට් වෙත පැවසීය.
"මම මගේ යාළුවන් සමඟ කතා කරමින් ඉන්නේ සංචාරකයින් ආපසු ආවේ නැත්නම් අපි ජීවත් වන්නේ කොහොම ද කියන එක ගැනයි."
"බොහෝ සෙයින් දුකට පත්වුණා"
නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් හි ජනගහනය 28,000ක් වන අතර, ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සංචාරක ක්ෂේත්‍රයේ සේවය කරති. සෑම වසරකම ජාත්‍යන්තර සංචාරකයින් මිලියන 2 ක් පමණ එහි පැමිණෙන අතර, දේශීය ආර්ථිකයට නවසීලන්ත ඩොලර් බිලියන 2.4ක ආදායමක් ලැබේ.
"මේ වන විට අපි ලාභ ලබන මට්ටමට ආසන්න වී හෝ නැහැ," නගරයේ නේවාසිකාගාර දෙකක හිමිකරු වන බ්‍රෙට් ඩන්කන් නිව්ස්බීට් වෙත පැවසීය.
"මෙහි ව්‍යාපාරයක් පවත්වාගෙන යාම මිල අධිකයි. වට්ටම් නොමැතිව සම්පූර්ණ මිලට ලබා දුන්නත් නේවාසිකාගාරයෙන් 71% ක් පිරෙන්න ඕනේ ලාභ ලබන්න. නමුත් දැන් එක් නේවාසිකාගාරයක් වසා දමා තිබෙන්නේ. අනෙක වට්ටමක් සහිතව ලබා දීලා 40% ක් පමණ පිරිලා තිබෙනවා".
ඔහු පවසන්නේ කොරෝනාවෛරස් වසංගතය කර්මාන්තය "විනාශයට" පත් කර ඇති අතර, ක්වීන්ස්ටවුන් නගරය සංචාරක ව්‍යාපාරය කෙරෙහි "දැඩි ලෙස විශ්වාසය තබා ඇති" බැවින් එයට අනෙක් නගරවලට වඩා දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.
"දැන් මෙහි ජීවත් වන ජනතාවට විසමනුපාතික ලෙස බාර් සහ අවන්හල් ප්‍රමාණයක් තිබෙනවා," බ්‍රෙට් ඩන්කන් පැහැදිලි කළේය.
"ඉදිරියේ දී බොහෝ හානි සිදුවෙනවා වගේම ව්‍යාපාර රාශියක් වසා දමන්න වෙනවා" යැයි ඔහු විශ්වාස කරයි.
"මෙය මාස 12 ක සැබෑ වේදනාවක් පමණක් වෙයි. නමුත් විශේෂයෙන්ම නේවාසිකාගාර දේශීය සංචාරක ව්‍යාපාරයෙන් පමණක් දියුණු වෙන්නේ නැහැ." ඒ හේතුවෙන් 2021 වන තෙක් ඔහුට මුදල් අහිමි වීමට ඉඩ ඇතැයි බ්‍රෙට් ඩන්කන් පැවසීය.
එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය දැනට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සංචාර හැර අනෙක් සියලු සංචාරවලට එරහිව උපදෙස් ලබා දී ඇති හෙයින් ටාරා බැෂ්ෆර්ඩ් වැනි සංචාරකයන්ට සිය ගමන දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවනු ඇත.
නවසීලන්තයට යන ගමන මෙන්ම ටාරා ඔක්තෝබර් මස දී ඔස්ට්‍රේලියාවට යෑමට ද ගුවන් ගමනක් වෙන් කරවා ගෙන ඇති අතර, මාස 12 ක් ඇයගේ පෙම්වතා සමඟ ලෝකය වටා සංචාරය කිරීමට සැලසුම් කර තිබිණි.
කෙසේනමුත්, සංචාරයේ යෙදෙනවා වෙනුවට, සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ටාරාට වැඩි කාලයක් නිවසේ ගත කිරීමට සිදුව ඇත. මන්ද යත්, කොරෝනාවෛරසය අසාදනයවීමේ වැඩි අවදානම ඇති මිලියන 2.5ක පිරිස අතරින් ඇය ද කෙනෙකු වන බැවිනි.
"අපි නවසීලන්තයට පියාසර කිරීමට නියමිතව සිටි දවසේදී මම බොහෝ සෙයින් දුකට පත්වුණා," ඇය පැවසුවාය.
"සෑම සැලසුමක්ම අවලංගු වී කල්යනවා බලා ඉන්න සිදු වෙලා. අපි මේ වසරේ විවාහ වෙන්න සිටියේ. දැන් එය සිදු වෙන්නෙත් නැහැ."
ජාත්‍යන්තර සංචාර නවතා දමා ඇති නමුත් දේශීය සංචාරකයින්ට ක්වීන්ස්ටවුන් නැරඹීමට පැමිණෙන ලෙසට ඉල්ලීම් කර තිබේ. නමුත්, ලෝකයේ වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථාන සඳහා එය එතරම් සරල නැත.
'මචු පිචු'
ලෝකයේ නව පුදුම හතෙන් එකක් වන 'මචු පිචු' වෙත පැමිණෙන අමුත්තන්ට දකුණු පේරුහි කුස්කෝ හරහා ගමන් කළ යුතු නමුත් මේ වන විට "කිසිවෙකුත් නවාතැන් වෙන් කරවා ගෙන නැහැ".
"සාමාන්‍යයෙන් මේ ළඟා වන්නේ සංචාරකයන් වැඩියෙන්ම පැමිණෙන කාලයයි," 'වයිල්ඩ් රෝවර්' තැබෑරුම සහ නේවාසිකාගාරයේහි සාමාන්‍යාධිකාරී අයර්ලන්ත ජාතික ක්‍රිස්ටෝපර් ඩොයිල් පැවසුවේය.
"අපි දැන් කාර්ය මණ්ඩලය අවම මට්ටමකට තියාගෙන ප්‍රදේශවාසීන් සේවයේ යොදවා තිබෙනවා. මෙහි සේවය කරන එකම විදේශිකයා මම විතරයි."
"අපි පොඩි පියවරවලට යා යුතුයි. නමුත් අපගේ නරකම අවස්ථාව බවට පත් වන්නේ සංචාරකයින් පෙර පරිදි පේරු වෙත නොපැමිණි විටයි," ඔහු නිව්ස්බීට් වෙත පැවසීය.
"මචු පිචු සහ රේන්බෝ මවුන්ටන් වැනි සංචාරක ස්ථාන පළමුව නැවත විවෘත කළ යුතුයි," ක්‍රිස්ටෝපර් ඩොයිල් පැවසුවේය.
"එයින් මෙම තත්ත්වය යම් ආකාරයකින් සාමාන්‍ය තත්ත්වයකට පත්වෙයි."