ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මත් පෙති මිලියන 200ක් මියන්මාරයෙන් සොයා ගැනේ
අග්නිදිග ආසියාවේ රටකින් මෙතෙක් සොයා ගනු ලැබූ විශාලතම කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට මියන්මාරයේ පොලිසිය සමත් වී තිබේ.
මෙතම්ෆෙටමින් පෙති මිලියන 200කට අධික ප්‍රමාණයක්, මෙතම්ෆෙටමින් ස්ඵටික කිලෝ ග්‍රෑම් 500ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් මෙම මත්ද්‍රව්‍ය තොගයට අයත්වේ.
මෙය සොයාගෙන ඇත්තේ මියන්මාරයේ ඊසාන දිග කලාපයේ පිහිටි Shan ප්‍රාන්තයෙනි.
පසුගිය පෙබරවාරි මාසයේ පටන් අප්‍රේල් මාසය දක්වා මේ සඳහා කෙරුණු මෙහෙයුම්වලදී 33 දෙනෙකු අත්අඩංගුවට පත්වී තිබේ.
මෙතම්ෆෙටමින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍යය විශාලතම ප්‍රමාණයක් ලෝකයට සැපයෙන්නේ මියන්මාරයෙන් බව විශ්වාස කෙරේ.
අසල්වැසි රටවල අලෙවිය
සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයෙන් වැඩි ප්‍රමාණයක් මියන්මාරය තුළ සහ අසල්වැසි රටවල අලෙවිය සඳහා නියමිතව තිබූ බව සැකකරුවන් පොලිසියට පවසා ඇතැයි මියන්මාරයේ මත්ද්‍රව්‍ය විරෝධී කාර්යාංශයේ කර්නල් සොව් ලින්, රොයිටර් පුවත් සේවයට පැවසීය.
opioid fentanyl නමැති අධි බලැති මත්ද්‍රව්‍යය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනෙන methylfentanyl රසායනය ලීටර 3,700කට අධික ප්‍රමාණයක් ද මෙම මෙහෙයුම්වලදී සොයා ගෙන තිබේ.
Fentanyl යනු හෙරොයින්වලට වඩා පනස් ගුණයකින් බලසම්පන්න කෘත්‍රිම මත්ද්‍රව්‍යයකි; morphine මෙන් සිය ගුණයකින් ප්‍රබල ය.
මෙම කෘත්‍රිම මත්ද්‍රව්‍යය එක්සත් ජනපදයේ අර්බුදයක් බවට පත් වී ඇති අතර එය අධි මාත්‍රාවකින් ශරීරගත වීම හේතුවෙන් දිනකට ඇමරිකානුවන් 130 දෙනෙකු පමණ මිය යන බව එක්සත් ජනපදයේ රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
මත්ද්‍රව්‍ය වෙළඳපොළ වෙනස්වෙමින් පවතින ආකාරය:
(බීබීසී පුවත් සේවයේ ඩැනී වින්සන්ට් ගේ විශ්ලේෂණයක්)
කෘත්‍රිම මත්ද්‍රව්‍ය හේතුවෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමේ ස්වභාවය වෙනස් වෙමින් පවතී.
රසායනාගාරයක් තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම අඩුය. හෙරොයින් සහ වෙනත් සාම්පදායික මත්ද්‍රව්‍ය නිෂ්පාදනය මෙන්, වගාවේ අස්වනු නෙලන සමය මත යැපීමක් නොවේ.
මෙතම්ෆෙටමින් සහ ෆෙන්ටනිල් වැනි මත්ද්‍රව්‍ය තැනීම සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රාවන නිෂ්පාදනය කෙරෙන්නේ ඉන්දියාවේ සහ චීනයේ රසායනාගාර තුළ ය.
ආසියානු කලාපය තුළ කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ ගොස් ජාවාරම්කරුවන් වැඩිවීම සහ ඉන්දියාවේ සහ චීනයේ රසායනාගාර තුළ ඉහත කී රසායනික ද්‍රාවන නිෂ්පාදනය වීම අතර සම්බන්ධතාවයක් පවතින බවට මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙයි.
මියන්මාරයේ ගැටුම් පවතින ප්‍රදේශවල ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් සමඟ එක්වී කටයුතු කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අවස්තාව ලැබෙන හෙයින් මහා පරිමාණයෙන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
එවැනි නීතිවිරෝධී නිෂ්පාදනාගාර හැඳින්වෙන්නේ "සුපිරි රසායනාගාර" යන අන්වර්ථ නාමයෙනි.
'කිසිවෙකු අපේක්ෂා නොකළ මට්ටමකින්'
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ආසියා ශාන්තිකර කලාපය වෙනුවෙන් කටයුතු කරන නියෝජිත ජෙරමි ඩග්ලස් කියා සිටියේ මියන්මාරයෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය දෙස බලන කල, "කිසිවෙකු අපේක්ෂා නොකළ මට්ටමකින්" කෘත්‍රිම මත්ද්‍රව්‍ය ජාවාරම හිස ඔසවමින් පවතින ආකාරය පෙනී යන බවය.
ඇෆ්ගනිස්තානයට පසුව වැඩිම ප්‍රමාණයක් කංසා වගා කෙරෙන්නේ මියන්මාරයේ ය. එරට කඳුකර භූමි පැවතීම සහ ලෙහෙසියෙන් එහා මෙහා යාහැකි දේශසීමා පැවතීම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට රුකුලක් වී තිබේ.
"රන් ත්‍රිකෝණය"
එමෙන්ම මියන්මාරය පිහිටා ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රසිද්ධ "රන් ත්‍රිකෝණය" ලෙස හැඳින්වෙන චීනය, ලාඕසය සහ තායිලන්තයට මැදිව ය. මෙම "රන් ත්‍රිකෝණය" තුළ පමණක් ඩොලර් බිලියන ගණනක මත්ද්‍රව්‍ය වෙළඳාමක් සිදුවේ.
2018 සහ 2019 දෙවසර තුළ පමණක් මියන්මාරයෙන් සොයා ගැනුණු රහසිගත මත්ද්‍රව්‍ය රසායනාගාර ගණන 14කි.
2017 දී මියන්මාරයේ ආශ්‍රමයක සඟවා තිබූ, මෙතම්ෆෙටමින් පෙති මිලියන හතරකට අධික ප්‍රමාණයක් සමඟ බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට පත් විය.
කියවන්න: