කොරෝනා වෛරසය: භූමදානයට එරෙහි වූ ඊජිප්තු ගම්වැසියන් පිරිසකට කඳුළු ගෑස්

ඡායාරූප මූලාශ්‍රය, AFP
කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් විනැයි වාර්තා වූ වෛද්‍යවරියකගේ මෘතදේහය ඇයගේ ගමෙහි භූමදානය කිරීම සම්බන්ධයෙන් ගම්වාසීන් කණ්ඩායමක් විසින් විරෝධය පළ කරනු ලැබීම ඊජිප්තුවේ අගමැතිවරයාගේ හෙළා දැකීමට ලක් විය.
අගමැති මුස්තාෆා මැඩ්බොලි (Mostafa Madbouly) ගම්වාසීන්ගේ එම හැසිරීම හෙළා දුටුවේ එය "නින්දිත" ක්‍රියාවක් ලෙස විග්‍රහ කරමිනි.
ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා මියගිය වෛද්‍යවරියගේ ස්වාමිපුරුෂයාගෙන් සමාව අයැද සිටියේය.
නයිල් ගංගා නිම්නයේ පිහිටි 'ෂුබ්‍රා එල් -බහු' (Shubra el-Bahou ) නම් ගම්මානයෙන් වාර්තා වෙන ඉහත කී විරෝධය සම්බන්ධයෙන් ගම්වාසීන් විසිතුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
එම ගම්වාසීන් එවැනි විරෝධතා ව්‍යාපාරයක් ගෙනගොස් තිබෙන්නේ, මියගිය වෛද්‍යවරියගේ දේහය තම ගමෙහි මිහිදන් කිරීම මගින් තමන් ද කොවිඩ්-19 වෛරසයට ගොදුරුවනු ඇතැයි භීතියෙනි.
සෝනියා අබ්දෙලාෂිම් ( Sonia Abdelazim) නම් හැටහතර හැවිරිදි වෛද්‍යවරිය පසුගිය සිකුරාදා මරණයට පත් වූවාය.
වාර්තාවෙන ආකාරයට ඇයට Covid 19 වෛරසය ආසාදනය වී ඇතැයි නිගමනය කොට ඇත. එහෙත් වෛද්‍යවරියගේ සහෝදරයා එම නිගමනය බැහැර කරමින් කියා සිටින්නේ, සිය සහෝදරිය 'නිව්මෝනියා' රෝගයෙන් මරණයට පත් වූ බවය.


කඳුළු ගෑස් ප්‍රහාරයක්
ඊජිප්තුවෙන් වාර්තාවෙන ආකාරයට,වෛද්‍යවරියගේ මෘතදේහය භූමදානය සඳහා ගමට ගෙන ආ අවස්ථාවේ ගම්වාසීන් කණ්ඩායමක් දේහය රැගත් අවමංගල රථය සුසාන භූමියට ඇතුල්කිරීමට ඉඩ නොදෙමින් අවහිර කරනු ලැබ ඇත.
එම අවස්ථාවේ විරෝධතාවාදීන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, අවමංගල රථය සුසානය තුළට ඇතුල් කොට අදාළ භූමදානය සිදුකර තිබෙන්නේ ඉන් අනතුරුවය.
අත් අඩංගුවට ගෙන සිටින විසිතුන් දෙනාට සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වෙන අතරවාරයේ දවස් පහළොවක කාලයක් රැඳවුම් භාරයේ සිටීමට සිදුවනු ඇත.
ඉහත කී විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊජිප්තුවෙහි විශාල විරෝධයක් පළවෙමින් පවතී.


ආණ්ඩුවේ නීතිපති හමාඩා එල්-සවි (Hamada el-Sawy) එම ක්‍රියාව "ත්‍රස්ත ක්‍රියාවක්" ලෙස විග්‍රහ කළ බව 'AP' පුවත් සේවය (Associated Press) වාර්තා කළේය.
"සිදු වූ දෙය චිත්ත ධෛර්යයෙන්, මනුෂ්‍යත්වයෙන් සහ ආගමෙන් බොහෝ දුරස්ථ ක්‍රියාවක්" යයි ඊජිප්තුවේ බලවත්ම සුන්නි පූජක ෂේක් අහ්මඩ් අල්-ටයෙබ් (Grand Sheikh Ahmed al-Tayeb) සඳහන් කොට ඇත.
"ව්‍යාධිය සම්බන්ධයෙන් පවතින 'අපවාදී දැක්ම' අවසන් කරන ලෙසත් සුන්නි ආගමික නායකයා ඉල්ලීමක් කරයි.
ඊජිප්තුව මැදපෙරදිග වැඩිම ජනගහනයක් සහිත රාජ්‍යය වෙයි. කොරෝනාවෛරසය පැතිරයාම වළක්වා ගැනීම සඳහා ඊජිප්තු බලධාරීන් විසින් රාත්‍රී කාලයේ බල පැවැත්වෙන ඇඳිරි නීතිය ඇතුළු තහංචි මාලාවක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.
මේවනවිට ඊජිප්තුවේ දෙදහසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර මරණ 159 ක් වාර්තා වී ඇත.
සබැඳි යොමු:




























