කොරෝනා වෛරසය: කොවිඩ්-19 පන්සල්, පල්ලි, කෝවිල් අඳුරු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝකය පුරා පැතිර යමින් පවතින කොරෝනාවෛරස් (Covid 19) උවදුර මහජනතාවගේ දෛනික ජීවිතය කෙරෙහි මෙන් ම ඔවුන්ගේ ආගමික ජීවිත කෙරෙහිත් දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
රටවල් 'ලොක්ඩවුන්' කරනු ලැබීම සහ මහජනයා දූරස්ථව තැබීමේ ක්‍රියාමාර්ග සමඟ සියලු ආගම්වලට අයත් ජනතාවට ඔවුන්ගේ පුදබිම් කරා සමීප විය නොහැකි තත්ත්වයක් පවතී.
ලොවපුරා බෞද්ධ, හින්දු, කිතුනු, ඉස්ලාම් සහ යුදෙව් වැනි ප්‍රධාන ආගම්වලට අයත් පූජනීය ස්ථානවලින් ලැබෙන තොරතුරු මගින් පැවසෙන්නේ බැතිමතුන් එම ස්ථාන කරා ළඟා වීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවය.
පවතින කොරෝනා උවදුර නොතකා සිරිපා වන්දනාවේ නිරත වෙන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් විසින් කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්වූ අතර මේ වන විට මහජනයා සිරිපා තරණය නතර කරනු ලැබ ඇති තත්ත්වයක් පවතී.
පසුගිය දා ගෙවී ගිය බක් පුර පසළොස්වක දින වන්දනාමාන සඳහා පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට මලවතු-අස්ගිරි මහ නාහිමිවරුන් පියවර ගෙන තිබිණි.
උපසම්පදාව කල් දමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ වැදගත් ම ශාසනික කාර්යයක් වන වාර්ෂික උපසම්පදා විනය කර්මය ද කල් දැමීමට කොරෝනාවෛරසය හේතු වී ඇත.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති මල්වතු-අස්ගිරි සංඝ සභා කියා සිටින්නේ, එල්ල වී ඇති වෛරස් තර්ජනය මැද උපසම්පදාව වැනි ශාසනික විනය කර්ම සිදු කිරීම කාලෝචිත නොවන බවය.
එසේ ම මල්වතු-අස්ගිරි විහාරයන්හි වෙසක් උත්සව කල් තබන බව ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මේ මොහොතේ සියලු දෙනා නිවෙස්වලට වී සිටීම වැදගත් බවත්, සියලු කරදරවලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවත් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමියෝ පවසති.
ලන්ඩන් බෞද්ධ විහාරය
ලන්ඩන් නගරයේ පවත්වා ගෙන යනු ලබන ප්‍රධාන ශ්‍රී ලාංකික බෞද්ධ ආයතනය වන 'ලන්ඩන් බෞද්ධ විහාරය' බාහිර ජනයා සම්බන්ධ කර ගත් දෛනික ආගමික කටයුතු සීමා කරනු ලැබ ඇතැයි විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළහ.
''පිටස්තර පුද්ගලයන් දායකයන් ද ඇතුළුව අපේ විහාරස්ථානයට පැමිණෙන්නේ නැහැ. ඒවගේ ම විහාරවාසී භික්ෂූන් වහන්සේත් විහාරය තුළ පමණක් ආගමික කටයුතු කරන අතර පිටතට වැඩ ම කරන්නේ නැහැ,'' බෝගොඩ සීලවිමල නාහිමියෝ පවසති.
''දායකයන්ට අදාළ සියලු ආගමික කාර්යයන් ඉටු කරන්නේ දුරකතනය හෝ 'ස්කයිප්' මාර්ගයෙන්. අවමඟුලකදී පාංශ කූලය පවා දීම එමගින් සිදු කරනවා. ඒවා සියල්ල සිදු කෙරෙන්නේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ. දූරස්ථ සන්නිවේදනයෙන්.''
කෙසේවුව ද, විහාරය අභ්‍යන්තරයේ භික්ෂූන්ගේ දෛනික පුදපූජා සහ භාවනා කටයුතු අඛණ්ඩව දූරස්ථව කටයුතු කිරීමේ උපදෙස් පරිදි සිදුකරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
''හැම දිනක ම සවස හයට අපි මහ ජනයාට සෙත් පතමින් 'රතන සූත්‍රය' දේශනා කරනවා. ෆේස්බුක් ඔස්සේ මහ ජනයාට ඊට හවුල් වෙන්න පුළුවන්,'' ලන්ඩන් බෞද්ධ විහාරාධිපති සීලවිමල නාහිමියෝ පැවසූහ.
කිංග්ස්බරි බෞද්ධ මධ්‍යස්ථානය.
බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකදී දැන ගන්නට ලැබුණේ ලන්ඩන්හි කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ ද එවැනි ම වැඩපිළිවෙළක් අනුගමනය කෙරෙන බවය.
බාහිර ආගමික කටයුතු නතර කර තිබෙන අතර, පිටස්තර පුද්ගලයන් සහභාගී කර ගැනීම සහ භික්ෂූන් පිටතට ගමන් කිරීම නතර කරනු ලැබ ඇති බව විහාරවාසී පූජ්‍ය ගලයායේ ධම්මදස්සි හිමියෝ පවසති.
''විහාරයට දානය පවා ලැබෙන්නේ වියළි ආහාර මට්ටමින්. දායකයන් දොර අසල තබා යන ආහාර ඇතුළට ගෙන දින දෙකක කාලයක් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිනවා.''
විහාරය අභ්‍යන්තරයේ භික්ෂූන්ගේ ආගමික වතාවත්, පුදපූජා, භාවනා කිරීම් පෙර වූ මට්ටමින් පැවත්වෙන අතර, ධර්මදේශනා සහ පූජාවන්ට ඉන්ටර්නෙට් ඔස්සේ දායකයන්ට හවුල්විය හැකි බව ද ගලයායේ ධම්මදස්සි හිමියෝ සඳහන් කළහ.
යුදෙව් පාස්කුවටත් බාධා
අප්‍රියෙල් අට වන දා සන්ධ්‍යාව යුදෙව් දින දර්ශනයේ අතිශයින් වැදගත් මොහොතකි, ඊට හේතුව යුදෙව් ජාතිකයන්ගේ ආගමික ජීවිතයේ පූජනීය කාලයක් ලෙස සැලකෙන 'Passover' උදාවයි. 'පාස්ඕවර්' යුදෙව් ආගමිකයන්ගේ පාස්කුව නැත්නම් 'උපරිගමන් මංගල්‍යය' ලෙස හඳුන්වනු ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එම ශුද්ධ කාලයේ සමාරම්භයත් සමග යුදෙව් බැතිමතුන් පවුල් වශයෙන් එක්ව ඔවුන් 'Seder' නමින් හඳුන්වනු ලබන විශේෂ භෝජනය අනුභව කරති. සිය දහමට අයත් මූලග්‍රන්ථ කියවති. කතන්දර කියන අතරවාරයේ ගීත ගායනා කරති.
එහෙත් කොරෝනාවෛරසයෙන් බේරීමට අනුගමනය කරනු ලබන සමාජ දූරස්ථභාවයත් සමග එම සාමූහික ආගමික ජීවිතය යුදෙව් ජනයාගෙන් පැහැරගනු ලැබ ඇත. ලෝකය පුරා යුදෙව් ජනයාට 'Seder' භෝජනය භුක්ති විඳීමට කිසිවෙකුට ආරාධනා කළ නොහැකි පරිසරයක් උදා විය.
කිතුනුවන්ගේ 'පාස්කු' කාලයත් ඉස්ලාම් බැතිමතුන්ගේ 'රාමදාන්' සමයත් ළඟ ළඟ ම උදාවෙමින් පවතී.
ලොවපුරා කිතුනු සහ ඉස්ලාම් බැතිමතුන් ද මුහුණ දෙනු ඇත්තේ පෙර කී යුදෙව් ජනයාට සමාන තත්ත්වයකටය.
යුදෙව් පූජක රික් ජේකොබ්ස් රබ්බිවරයා නිව්යෝර්ක් නගරයේ ජීවත් වේ. නිව්යෝර්ක් ඇමෙරිකාවෙහි කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වඇත.
රික් ජේකොබ්ස් රබ්බිවරයා යුදෙව් දහම ප්‍රතිසංස්කරණය සඳහා වන සංවිධානයේ සභාපතිවරයා ය.
'Seder' භෝජනය සඳහා ඇරයුම් කරන්නන්ට ඔහුගෙන් ලැබෙන උපදෙස් මාලාවක් ගැන සඳහන් වේ.
ඔහුගේ උපදෙස් මාලාවේ ප්‍රමුඛ ප්‍රයත්නය වන්නේ, කොරෝනාවෛරසයත් සමග දැනට උද්ගත වී පවතින අනතුර හමුවේ අනුගමනය කළයුතු රෙගුලාසි අනුව 'Seder' වතාවත්වල ඇතැම් අංග අනුගත කිරීමය.
'' Seder' උත්සවයේ දී අත් සේදීමේ ආගමික වතාවතක් තිබෙනවා,'' රබ්බිවරයා පවසයි.
''එය පිරිසිදුවීමකට වඩා ආගමික පවිත්‍රතාව අරමුණ කර ගත් සාම්ප්‍රදායික චාරිත්‍රයක් ''
''දැන් අපි උත්සාහ කරනවා අත් සේදීම අපේ ප්‍රජා සමූහයේ ආරක්ෂාව සහ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීමට සැබැවින් ම හේතු වෙන ක්‍රියාවක්ය යන උපදේශය අපේ ළමයින්ට කියා දීමට,'' රබ්බි රික් ජේකොබ්ස් පවසයි.
ලැබෙන අත්දැකීම් වඩාත් අන්‍යෝන්‍ය වශයෙන් බලපැවැත්වෙන ආකාරය පැහැදිලි කිරීමට උත්සහ කළ යුතුව ඇතැයි යුදෙව් රබ්බිවරයා යෝජනා කරයි.
යුදෙව් බයිබලයේ එන චාරිත්‍රයක් වන 'එලිජාහ්' (හෝ එලියාහ්) (Elijah)සමරුවේ දී 'Seder' ආහාරය භුක්ති විඳීමට එන අමුත්තන් සඳහා අදාළ නිවසේ දොර විවෘත කරනු ලබන්නේ නිවසේ බාල ම සාමාජිකයකු විසිනි.
''එහෙත් දැන් 'Seder' පවුලේ බාලයා ගෙදර නොසිටීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ රුවක් අරගෙන දොර ළඟට ගිහින් දොර අරින්න පුළුවන් '' රබ්බි රිස් ජෙකොබ්ස් යෝජනා කරයි.
ළඟ එන කිතුනු පාස්කුව
අප්‍රියෙල් දොළොස් වන දා පාස්කු ඉරිදා උදාවන්නේ ලොවපුරා කිතුනු ජනතාවට ඉතා වැදගත් පණිවුඩයක් ද සමගය. කුරුසයේ ඇණ ගසනු ලැබීමෙන් පසු ක්‍රිස්තුන් වහන්සේ උත්ථානය වූ දිනය වන පාස්කු ඉරිදාව කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන්නේ උත්සවාකාරයෙනි.
මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා ලොවපුරා බොහෝ කිතුනු බැතිමත්හු යාඥා කිරීම සඳහා දේවස්ථාන කරා ගමන් ගනිති.
එහෙත් දැන් දේවගතිවරුනට ආගමික චාරිත්‍ර සහ සත්ප්‍රසාදය සිදුකිරීමට සිදුව තිබෙන්නේ වෙනත් ආකාරයකටය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
''මෙවර මහ සිකුරාදා අපි ඉතා සරල ලෙස අපේ ආගමික වතාවත් ඉටු කරනවා. මොක ද? පවතින තත්ත්වය යටතේ අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පාන් පෙත්තක් සහ මිදි යුෂ පමණයි'' කෙන්යාවේ සිටින කිතුනුවකු වන කැරොල් කුට්සුෂි පවසයි.
කැරෝල්ගේ දේවස්ථානය එක සතියකට එක නිවසක කුඩා පිරිසකට දේව මෙහෙය සිදුකරන තත්ත්වයකට පත්ව ඇත.
''ඒක අභියෝගයක්. ඒත් මම හිතනවා- එය තමයි දැන් දෙවියන්ට ළංවෙන්න තියෙන හොඳ මාවත කියල. අපේ ගෙවල් ඇතුළෙ ම යාඥා කිරීම. ළමයිනුත් හවුල් කරගෙන බයිබලය කියැවීම.''
අයර්ලන්ත කිතුනු ජනයාට අවමඟුල් චාරිත්‍ර සඳහා දේවස්ථානයට පිවිසීමට අවසර නැත.
එවැනි තත්ත්වයක් යටතේ 'අයිරිෂ්' ප්‍රජාව මියයන පුද්ගලයන්ට ඔවුන්ගේ ගෞරවය දැක්වීමට නව මං සෙවීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටිති.
උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමා කනගාටු වෙන නමුත්, මහජන ජීවිතාරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමට සිදුව ඇතැයි කතෝලික රදගුරු ලැරී ඩෆි පවසයි.
පූජකවරු අවමඟුල් සඳහා සහභාගි නොවනු ඇත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ මරණයට පත් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ පවුලේ නෑදෑයන් දුරකතනයෙන් කතා කරමින් අස්වසාලීමය.
රෝගීව සිටින්නේ කුඩා ළමයෙකු නම්, දෙමව්පියෝ පල්ලියේ පූජකවරයාට ඒ බව දුරකතනයෙන් දැනුම් දෙති. කුරුසයක් ළමයාට දී, එසේත් නැතනම් එය දෙමව්පියන්ගේ අතෙහි හෝ තබා ගනිමින් දරුවාට ආශීර්වාද කරන ලෙස පූජකවරයා උපදෙස් දෙනු ඇත. ඒ සමග පූජකවරයාත් දුරකතනය ඔස්සේ ආශීර්වාද කරයි.
හුදෙකලා රාමදාන් කාලයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම අප්‍රියෙල් 23 වන දා ඉස්ලාම් බැතිමතුන්ගේ රාමදාන් උපවාස සමය ආරම්භ වීමට නියමිතය.
අප්‍රියෙල් මාසය රාමදාන් උත්සව සමය වන්නේ එය මොහොම්මඩ් නබිනායකතුමා කුරාන් ශුද්ධ ග්‍රන්ථය පළමු වරට එළිදක්වන ලද මාසය වීම හේතුවෙනි.
රාමදාන් සමයේදී ඉස්ලාම් පවුල් සහ ඔවුන්ගේ හිතමිතුරන් හැම දිනක ම හිරු බැසයත් ම එකට එක්ව 'ඉෆ්තාර්' භෝජනය අනුභව කරති. එසේ ම බොහෝ බැතිමත්හු යාච්ඤා සඳහා සිය පල්ලි කරා ගමන් ගනිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලන්ඩන් නගරයේ ජීවත්වෙන ඉස්ලාම් බැතිමතුන් විසින් වෙනත් අවුරුදුවල ලන්ඩන් නගර මධ්‍යයේ පිහිටි 'ට්‍රෆල්ගා චතුරශ්‍රය' වැනි ස්ථානයක විවෘත ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් සූදානම් කරනු ලැබීම සිරිතක්ව පැවතිණි.
එහෙත් එක්සත් රාජධානියේ තරුණ මුස්ලිම් කණ්ඩායමක් දැන් පවතින තත්ත්වය තේරුම් ගනිමින් මෙවර 'සැබෑ ඉෆ්තාර්' විකල්ප වැඩපිළිවෙළක් සංවිධානය කර ඇත.
ඔවුහු ආහාර වට්ටෝරු, ක්‍රීඩා සහ තොරතරු ඇතුළත් පාර්සල් මුස්ලිම් ජනයා වෙත යවනු ඇත.
විද්‍යුත් ක්‍රම භාවිතය මගින් යාඥා ඇතුළත් සජීවී පණිවුඩයක් මගින් ඔවුන් දිනපතා සම්බන්ධ කර ගන්නා අතර දූරස්ථ 'ඉෆ්තාර්' උළෙලක් පැවැත්වීම ඔවුන්ගේ සැලැස්ම වේ.
දහස් ගණනින් ඊට හවුල් වෙනු ඇත යන්න එක්සත් රාජධානියේ තරුණ මුස්ලිම් කණ්ඩායමේ බලාපොරොත්තුවයි.




























