කොරෝනා වෛරසය: රුසියාවේ තහංචි කැඩුවොත් අවුරුදු හතක සිර දඬුවමක්

කොරෝනාවෛරසය මැඩලීම සඳහා නිර්දේශ කරනු ලැබ ඇති රෙගුලාසි බරපතල මට්ටමින් උල්ලංඝණය කරන පුද්ගලයන් වසර හතක කාලයකට බන්ධනාගාරගත කිරීමට බලය ලැබෙන නීති පද්ධතියකට රුසියාවේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබිණි.
දැඩි නීති සහ සංශෝධන ඇතුළත් එම ක්‍රියාමාර්ගය ඉතා කඩිනමින් ගනු ලැබ තිබෙන්නේ, වෛරසය පැතිරයාම වළක්වා ගැනීම සඳහා මොස්කව් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සීමාවන් (lockdowns) රට පුරා විවිධ පළාත්වල බල පැවැත්වෙන අතරවාරයේය.
මාර්තු 31 වන දා ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛන අනුව රුසියාවේ කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 2,337 ක් වූ අතර 17 දෙනෙකු මරණයට පත්ව ඇත.
සිය රට තුළ වෛරසය පැතිරයාම පාලනය කර ගැනීමට වටිනා කාලයක් පවතින බවට තර්ක කිරීම සඳහා නව නීති මගින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කෙරෙනු ඇත.
කොරෝනාවෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කරනු ලබන මොස්කව් නගරයේ පිහිටි ප්‍රධාන රෝහලේ ප්‍රධානියා වන ඩෙනිස් ප්‍රොට්සෙන්කෝට (Denis Protsenko) එම වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය අඟහරුවාදා (මාර්තු 31) හෙළිදරව් විය.
ඔහුගේ ආරාධනයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙයින් සතියකට පෙර 'කොමුනාර්කා' (Kommunarka) නම් එකී රෝහලේ සංචාරයක නිරත විය.
එහෙත් ජනාධිපති පුටින් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණවලට සහභාගී කෙරෙන හෙයින් කනස්සල්ලට පත්වීමට හේතුවක් නැතැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අවරුදු හතක සිර දඬුවමක් ඇතුළත් ඉහත කී සංශෝධිත දැඩි නීති පද්ධතිය, රටේ සෙසු පුරවැසියන්ගේ මරණයට හේතුවෙන පරිදි නිරෝධායන ක්‍රියාවලිය මඟ හරිමින් කොරෝනාවෛරසය පතුරුවා හරින පුද්ගලයන් කෙරෙහි බල පැවැත්වෙනු ඇත.
රුසියානු බලධාරීන් විසින් පාර්ලිමේන්තු අනුමැතිය ලබාගන්නා ලද නව නීති අනුව, අදාළ කාලය තුළ නිවසේ රැඳී සිටීමේ නියෝග කඩකරන නිරෝගී පුද්ගලයන් ද විශාල දඩ මුදලකට යටත් කිරීමට බලය ලැබේ.
එපමණක් නොව, කොරෝනාවසංගතය සම්බන්ධයෙන් අන්තරායකාරී ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන්නන් අවුරුදු පහක් තෙක් විවිධ කාල පරාසයන් යටතේ සිරගත කිරීමට ද බලධාරීන්ට බලය පැවරේ.
තමන්ට අවශ්‍ය යයි පෙනී යන අවස්ථාවන්හි රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සහ අලුතින් නීති පැනවීමට ද පාර්ලිමේන්තු අනුමැතිය ලද නව නෛතික රාමුව යටතේ රුසියාවේ ආණ්ඩුවට බලය ඇත.
ඉහත කී නව නෛතික විධිවිධාන රුසියානු පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබ තිබෙන්නේ විවාදයකින් තොරව බවත් පෙනී යයි. දූමා මන්ත්‍රණ සභාවේ සියලු පාර්ශ්ව නව විධිවිධානවලට සහයෝගය දුන් බව කතානායකවරයා විසින් නිවේදනය කරනු ලැබ ඇත.
කතානායකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, රුසියාවේ පුරවැසියන්ගේ ආරක්ෂාව සලකමින් අදාළ නෛතික විධිවිධානවලට පාර්ලිමේන්තු සහයෝගය පළ වූ බවය.
''මේ නෛතික සංශෝධන, වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවර සහ අනතුරු ඇඟවීමේ විධිවිධාන පද්ධතියක්'' දූමාවේ කතානායක ව්‍යාචෙස්ලාව් වොලදින් පවසයි.
''අපට කිට්ටු ම අපි ආදරය කරන පුද්ගලයන්ගේ ජීවිත රැකෙන්නේ අපි සියලු දෙනා ම වගකිවයුතු මට්ටමින් හැසිරෙන ආකාරය අනුවයි '' කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පුටින් සහ රුසියාව වැඩ නොකරන සතියක්
රුසියාව පසුගිය පෙබරවාරි මාසයේ පටන් Covid-19 පරාජය කිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. චීනය සහ රුසියාව අතර ඉතා දීර්ඝ දේශසීමාව වසා දැමීම සහ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන්නන් වෙන්කර තැබීම ඊට ඇතුළත් විය.
සිය රටෙහි තත්ත්වය ඉතා දැඩි පාලිත තත්ත්වයක් යටතේ පවත්වා ගනු ලබන අතරවාරයේ රුසියාවේ නිල නිවේදන බොහෝ කාලයක් රැඳී තිබුණේ කොරෝනාවෛරසය මූලික වශයෙන් ''විදේශීය'' ප්‍රශ්නයක්ය යන ස්ථාවරයෙහිය.
මේ අතර, ජනාධිපති පුටින් මේ සතිය ''වැඩ නොකරන සතියක් '' ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සිදුවූයේ ඇතැම් කණ්ඩායම් ස්වයං-හුදෙකලාවීම නොව,දකුණු වෙරළ තීරය බලා ගමන් ආරම්භ කිරීමය.
නීතිය කඩකරන්නන් අල්ලන හැටි
පසුගිය සෙනසුරාදා මොස්කව් නගරයේ වීදි පාළුවට ගොස් තිබිණි. එහෙත් ඒ අතරවාරයේ උස්බිම්වල පිහිටි කුඩා ආපන ශාලා (cafes) සහ භෝජනාගාරවලට යාබදව සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ දක්නට ලැබෙන විවෘත අංගන ආසන ශාලා ඉදිකෙරෙන්නට පටන් ගත්තේ ජාතික මට්ටමේ වැඩ රහිත සතියක නිවාඩුවකින් අනතුරුව ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙන ආකාරයක් සිහිගන්වමිනි.
එහෙත් ඒ අතරතුර, මොස්කව් නගරාධිපතිවරයා පසුගිය ඉරිදා රාත්‍රියෙහි නිවේදනයක් නිකුත් කරමින්, වහා ම ක්‍රියාත්මක වන පරිදි නගරය වසා තබන බව (lockdown) ප්‍රකාශයට පත් කළේය.
එම නියෝගය පරිදි මහජනයාට නිවසින් බැහැරවිය හැකි වන්නේ අත්‍යවශ්‍ය කාර්යයකට පමණි. එය නිවාස ආසන්නයේ පිහිටි ඖෂධ ශාලාව හෝ වෙළෙඳසල විය හැක. තව ද, සුරතල් සතෙකු (සුනඛයෙකු රැගෙන) සමග මීටර් සියයක දුරක් ඇවිද යාමට අවසර ඇත.
නිරෝධායන ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න අධීක්ෂණය සඳහා දුරකතනවලට රහසින් සවන්දීම සහ ඉතා ම දියුණු කැමරා ජාලයක් උපයෝගී කර ගැනීමට රුසියාවේ නිලධාරීන් සැලසුම් කර ඇත.
නීතිය උල්ලංඝණය කරන ඕනෑ ම පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් වගකීමට සිදුවනු ඇත.




























