ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔස්ට්‍රේලියාව: පාසලේදී හිරිහැර විඳි දරුවාට ලොව නන් දෙසින් සහය පළ වේ
පාසලේ දී හිරිහැරවලට ලක් වීම නිසා දැඩි ලෙස කම්පා වන වයස අවුරුදු නවයක ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකුගේ වීඩියෝවක් සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඔහු වෙනුවෙන් ලොව පුරා විශාල පිරිසක් පෙළ ගැසී සිටිති.
කුරු බව හේතුවෙන් පාසලේ දී වෙනස්කම්වලට මුහුණ දුන් සිය පුතු ක්වාඩෙන් ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමට යාරාකා බෙයිල් ක්‍රියා කළාය.
"මේ හිරිහැරවලට ලක්වීමේ ප්‍රතිඵලයි," යැයි ඇය එම වීඩියෝවේ පවසන අතර, පුතා තම ජීවිතය අවසන් කර ගැනීමට අවශ්‍ය බව පවසයි.
මෙම වීඩියෝව මිලියන 19 කට වඩා වැඩි වාර ගණනක් නරඹා ඇති අතර, ලොව නන් දෙසින් සහය ගලා එන්නට විය. එමෙන්ම, #WeStandWithQuaden යන හෑෂ් ටැගය යටතේ විවිධ පණිවිඩ පළ වී තිබිණි.
රංගන ශිල්පී හියු ජැක්මන් සහ පැසිපන්දු ක්‍රීඩක එනෙස් කාන්ටර් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ රටවල දෙමාපියන් මෙම වීඩියෝව හුවමාරු කරගෙන තිබිණි.
"ඔබට තේරෙන තරමට වඩා ඔබ ශක්තිමත්, යහළුවා" යැයි ක්වාඩෙන් හට පැවසූ හියු ජැක්මන් "කරුණාවන්ත වෙන්න" යැයි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළේය.
සෑම දිනකම සිය පුතු අත්විඳින හිරිහැර ගැන අඟහරුවාදා (පෙබරවාරි 18) පළ කරන ලද මිනිත්තු හයක වීඩියෝ පටය තුළ ක්වාඩෙන්ගේ මව විස්තර කරන්නීය. ඕස්ට්‍රේලියානු ආදිවාසී පවුලක් වන ඔවුහු ක්වීන්ස්ලන්ඩ්හි දිවි ගෙවති.
"මම මේ දැන් මගේ පුතාව පාසලෙන් අරගත්තා, ඔහුට හිරිහැර කරනවා දැකගන්න ලැබුණා. විදුහල්පතිතුමාට කතා කළා. දෙමව්පියන්, අධ්‍යාපනඥයන්, ගුරුවරුන් දැනගන්න අවශ්‍යයි මේ තමයි හිරිහැර කිරීමෙන් ඇති වූ බලපෑම කියලා," යාරාකා බෙයිල් පවසන්නේ සිය පුතු ඉකිබිඳින අතරය.
"සෑම දිනකම ... යම් දෙයක් සිදුවෙනවා. තවත් සිද්ධියක්, තවත් හිරිහැර කිරීමක්, තවත් නින්දා කිරීමක්, තවත් නම් පටබැඳීමක්."
"කරුණාකර ඔබේ දරුවන්, ඔබේ පවුල්, මිතුරන් මේ ගැන දැනුවත් කළ හැකිද?"
ප්‍රතිචාර මොනවා ද?
ලොව වටා විවිධ පුද්ගලයන් හිරිහැරවලට ලක්වීමේ තම අත්දැකීම් විස්තර කරමින් ක්වාඩෙන් හට "ශක්තිමත්ව සිටින්න" යැයි කියා පණිවිඩ නිකුත් කිරීම හේතුවෙන් #StopBullying (හිරිහැර නවත්වමු) යන වචන සිකුරාදා (පෙබරවාරි 21) දින අන්තර්ජාලය පුරා දැඩි ලෙස ජනප්‍රිය වී තිබේ.
විවිධ රටවල ළමුන් ද මිත්‍රත්වයේ පණිවිඩ පළ කර තිබිණි.
එක්සත් ජනපදයේ හාස්‍යෝත්පාදක ශිල්පියෙකු හා නළුවකු වන බ්‍රැඩ් විලියම්ස් ද කුරු පුද්ගලයෙකු වන අතර ඔහු කියා සිටියේ ක්වාඩෙන් ගේපවුලට ඩිස්නිලන්තයේ සංචාරයක් සංවිධානය කිරීම සඳහා දිනකට අඩු කාලයකදී ඩොලර් 130,000 (රුපියල් ලක්ෂ 236) ට වඩා වැඩි අරමුදල් රැස් කළ බවය.
"මෙය ක්වාඩෙන් සඳහා පමණක් නෙමෙයි, තම පෙනුම නිසා ජීවිත කාලය තුළ හිරිහැරවලට ලක් වී ඇති ඕනෑම කෙනෙකුටයි," අරමුදල් රැස් කිරීම වෙනුවෙන් විවෘත කර ඇති අන්තර්ජාල පිටුවේ ඔහු සඳහන් කර තිබිණි
"ක්වාඩෙන් සහ අනෙක් අයට අපි පෙන්වමු ලෝකයේ හොඳ දේ තිබෙන බව සහ ඔවුන් වටිනවා යන්න."
එක්සත් ජනපද ජනාධිපතිගේ පුත් එරික් ට්‍රම්ප් මෙම වීඩියෝව "අතිශයින්ම හද කම්පා කරවන්නක්" ලෙස විස්තර කර ඇත.
පැසිපන්දු තරුවක් වන එනෙස් කාන්ටර් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් "ලෝකය ඔබ සමඟ සිටිනවා" යැයි සඳහන් කර ඇති අතර, පැසිපන්දු තරඟයක් නැරඹීම සඳහා පවුලේ අයට ආරාධනා කර ඇත.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කණ්ඩායම් ද ක්වාඩෙන් වෙනුවෙන් පෙළ ගැසී ඇති අතර, මෙම සති අන්තයේ පැවැත්වෙන තරඟයකදී සිය කණ්ඩායම මෙහෙයවන ලෙස ආදිවාසී රග්බි ලීග් කණ්ඩායමක් ඔහුට ආරාධනා කර තිබේ.