ඉන්දියාව: කුස්සියේ ජල නලවලින් මත්පැන් ගලයි

මහල් නිවාසයේ ජල නලවලින් පානිය ජලයට මිශ්‍රවූ මත්පැන් ගලන්නට වූ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, JOSHY MALIYEKKAL

ඡායාරූප ශීර්ෂ වැකිය, මහල් නිවාසයේ ජල නලවලින් පානිය ජලයට මිශ්‍රවූ මත්පැන් ගලන්නට වූ අයුරු
Published

දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ මහල් නිවාස පෙළක නිවැසියන් භ්‍රාන්ත කරවමින් බීර, බ්‍රැන්ඩි හා රම් මිශ්‍රිතයක් අදාළ නිවෙස්හි ජල නලවලින් සඳුදා (පෙබරවාරි 06) ගලා යන්නට විය.

දුර්ගන්ධයකින් යුතු දුඹුරු පැහැ දියරයක් එසේ සිය මුළුතැන්ගෙහි ජල කරාමවලින් ගලන්නට වූ විට නිවැසියෝ බලධාරීන්ගේ උපකාරය පැතූහ.

එවිට දැනගන්නට ලැබුණේ නිවැසියන්ට ජලය සපයන ළිඳ බලධාරීන්ගේ අත්වැරදීමකින් අපවිත්‍ර වී ඇති බවකි.

රාජසන්තක කරන ලද මත්පැන් ලීටර 6,000 ක් පමණ එම ළිඳ ආසන්නයේ වලදමා තිබී ඇති බව දැනගන්නට ලැබිණි.

අධිකරණ නියෝග පරිදි නිලධාරීන් විසින් වලක බහා තබන ලද මත්පැන් තොගය පස් අතරින් කාන්දුවී ගොස් ළිඳට එක්වී තිබේ. ත්‍රිසුර් දිස්ත්‍රික්කයේ පිහිටි මහල් නිවාස ඒකක 18 ක ප්‍රමාණයකට පානීය ජලය සැපයීමේ මූලාශ්‍රය එම ළිඳ විය.

"මෙයින් අපි බොහෝ කම්පනයට පත්වුණා." යැයි මහල් නිවාස සංකීර්ණයේ හිමිකරු ජෝෂි මල්යීක්කල් බීබීසී හින්දි සේවය සමග පැවසීය.

පැවති තද දුර්ගන්ධය හේතුවෙන් නිවැසියන් එහි ජලය භාවිතයට ගෙන නැත. කෙසේවෙතත්, එම ජලය පානයට පමණක් නොව සේදීම්වලට පවා නුසුදුසු වූ බව ඔවුහු හඳුනා ගත්හ.

"දරුවන්ට පාසල් යන්න බැරි වුණා වගේම ඔවුන්ගේ දෙමාපියන්ට රැකියාවලට යන්නත් බැරිවුණා." යැයි මල්යීක්කල් වැඩිදුරටත් පැවසීය.

ළිඳේ අපවිත්‍ර ජලය ඉසිම

ඡායාරූප මූලාශ්‍රය, JOSHY MALIYEKKAL

ඡායාරූප ශීර්ෂ වැකිය, ළිඳේ අපවිත්‍ර ජලය ඉසිම

නිවැසියන්ගේ පැමිණිල්ලෙන් පසු අදාළ අත්වැරැද්ද නිවැරදි කිරීමට නිලධාරීහු පියවර ගත්හ.

එහෙත්, ළිඳ ඉස පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලට මාසයක් පමණ ගතවෙනු ඇති බව පවසන නිවැසියන්ට සිදුව තිබෙන්නේ බලධාරීන්ගේ සැපයුම් මත රැඳෙන්නටය.

"ඔවුන් දිනපතා ජලය ලීටර 5,000 ක් සපයනවා. ඒත් මේ ගොඩනැගිල්ලේ පදිංචි හැම පවුලකම අවශ්‍යතාව සම්පුර්ණ කරන්න එය ප්‍රමාණවත් නැහැ." යැයි කී මල්යීක්කල් අදාළ ළිඳ සිය ප්‍රධාන ජල මූලාශ්‍රය බව පෙන්වා දුන්නේය.

බීබීසී කළ ප්‍රශ්න කිරීම්වලට අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නැත.

ඉන්දියාවේ මත්පැන් පානය අතින් ඉහළින්ම සිටින්නේ කේරල ප්‍රාන්තය වේ.

මේ තොරතුරු දැනගන්න: