මිරිස් කෑම: මේ තරම් 'කට දැවිල්ලට' කන්න කැමති ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෆර්නැන්ඩෝ දුවාර්තේ
- Role, BBC ලෝක සේවය
- Published
දැඩි වේදනාවකින් පෙළෙන එක්තරා පුද්ගලයෙකු රෝහලට රැගෙන විත් තිබිණි. දැඩි හිසරදයට අමතරව උදරයේ සහ ගෙළ ප්‍රදේශයේ දරාගත නොහැකි වේදනාවකින් ඔහු පෙලුණි. මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට වෛද්‍යවරු යුහුසුළු වුහ.
CT ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක විය. මුත්‍රා පරීක්ෂාව ද සිදු විය. රුධිර පීඩනය මැන බැලීය. සිරුර පුරා පරීක්ෂාවට ලක් කළේ කිසියම් හෝ සැක සහිත බාහිර ලක්ෂණයක් වේදැයි සොයා බැලීමට ය.
අවසාන නිගමනය වුයේ මොහු වස පානය කර නොමැති බවය. ඉතා සැර මිරිස් කරලක් කෑමෙන් අනතුරුව මෙම පුද්ගලයා මෙසේ විඳවන්නට පටන් ගෙන ඇත. මෙය පසුගිය වසරේ එක්සත් ජනපදයේ සිදු වූවකි.
34 හැවිරිදි ඔහු මිරිස් කෑමේ තරඟයකට සහභාගී වී ඇත. ඉන් පසුව ඇති වූ ශරීර ව්‍යකුලතා හේතුවෙන් ඔහුගේ මොළයට සිදු වූ හානිය නැවත සම්පුර්ණයෙන් ම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවීමට තරම් ඔහු වාසනාවන්ත විය.

ඡායාරූප මූලාශ්‍රය, PuckerButt Pepper Company
මෙය අන්තයට ම ගිය උදාහරණයක් විය හැකිය. නමුත් ලොව පුරා බිලියන ගණනක් ජනයා කෑම මේසය වටා හිඳ ගන්නේ 'කට දැවිල්ල' කෑම වේලක් රස විඳීමට ය. දිවට දැනෙන දැවිල්ල සමනය කර ගැනීමට ඇතැම් විට පානය කිරීමට යමක් සොයන්නෙමු. වරෙක අපට 'බඩ දැවිල්ල' ඇති වෙයි. නමුත් නැවතත් ඒ රසය සොයා යන්නෙමු.
මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නොමැත.
2007 සිට 2018 දක්වා වූ කාලය තුළ ලොව මිරිස් කරල් නිෂ්පාදනය ටොන් මිලියන 27 සිට 37 දක්වා ඉහළ ගොස් ඇත.
වෙළෙඳපොළ විශ්ලේෂණය කරන IndexBox ආයතනය සපයන දත්තවලට අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස ගත්කල අප හැම දෙනාම පසුගිය වසර තුළ මිරිස් කරල් කිලෝ ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් අනුභව කර ඇති බවය.

ඇතැම් රටවල් මේ 'කට දැවිල්ලට' වැඩි කැමැත්තක් දක්වති.
තුර්කියේ එක් පුද්ගලයෙකු දල වශයෙන් දිනකට මිරිස් ග්‍රෑම් 86.5ක් ආහාරයට ගනිමින් ලෝක ලැයිස්තුවේ ඉහළින්ම සිටී. දෙවැනි තැන හිමි වන්නේ මෙක්සිකෝවට ය. දිනකට බුදින මිරිස් ප්‍රමාණය ග්‍රෑම් 50.95කි.
මිරිස් රසට අප මෙතරම් රුචිවන්නේ ඇයි?
මෙය බලවත් වූ ප්‍රීතිය සොයා යන මානසිකත්වය පිළිබඳව වන සංකීර්ණ කතාන්තරයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සොබා දහමේ රහස
දැවිල්ල ගෙන දෙන කැප්සයිසින් රසායනය මිරිස් කරලට පැමිණීමේ පරිනාමවාදී ක්‍රියාවලිය ද තවමත් විවාදාපන්න ය.
මෙම පැලෑටියේ ඵලය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රසායනය ක්‍රමානුකුලව ඒ තූළ වැඩෙන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති.
නමුත් පක්ෂීන්ට එය ප්‍රශ්නයක් වී ඇති බවක් පෙනෙන්නට නැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජනපදයේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ සමීක්ෂකයෝ එයට හේතුව සොයා ගත්හ.
ක්ෂීරපායී සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මගින් මිරිස් කරලේ ඇති බීජ (ඇට) ජීර්ණයට ලක් කෙරේ. එමගින් බීජය විනාශ වේ. නැවත රෝපණය වීමේ ක්‍රියාවලිය නවතී.
නමුත් පක්ෂීන් ගේ ආහාර ජීර්ණය මීට වෙනස් ය. මෙම බීජ පක්ෂියාගේ උදරය තුළ නොදිරවයි. ඊට කිසිඳු හානියක් නොවී මළපහ සමඟ පිට වේ. අනතුරුව එම බීජ නැවත රෝපණය වී පැළෑටියක් බවට පත් වේ.
මිරිස් කරලට දැවිල්ල එක් වන්නේ ක්ෂීරපායින්ගෙන් බේරා ගැනීමට නම් මිනිසා ඊට රුචි වූයේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අපේ ආදිවාසී මුතුන් මිත්තෝ පවා මේ මිරිස් කරලේ දැවිල්ලට ආශා කළහ.
මිරිස් කරල තුළ දිලීර නාශක සහ බැක්ටීරියා නාශක රසායනයන් පැවතීම නිසා මිනිසා ඊට යොමු වන්නට ඇතැයි යන්න එක් න්‍යායකි.
එහි අදහස, මිරිස් අඩංගු ආහාර ඉක්මනින් නරක් නොවන බව මිනිසාට වැටහෙන්නට ඇති බවය.
මෙම උපකල්පිතය 1998 දී ඉදිරියට ගෙන එන ලද්දේ කොනේල් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයන් වන ජෙනිෆර් බිලින්ග් සහ පෝල් ශර්මන් විසිනි.
මොවුන් දෙදෙනා රටවල් 36ක සාම්ප්‍රදායික මාංශ ආහාර වේල් දහස් ගණනක් විශ්ලේෂණය කර බැලූහ. එම ආහාර පිළියෙළ කිරීම සඳහා යොදා ගෙන ඇති කුළුබඩු බොහෝ විට උෂ්ණාධික රටවල භාවිත කර ඇතිබව ඔවුනට වැටහුණි. එවැනි දේශගුණයක් සහිත රටවල ආහාර ඉක්මනින් නරක්වීමට ඇති ඉඩකඩ වැඩිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තායිලන්තය, පිලිපීනය, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල් කුළුබඩු බහුල වශයෙන් යොදා ගන්නා ලැයිස්තුවේ ඉහළින් සිටින අතර ෆින්ලන්තය, නොර්වේ සහ ස්වීඩන් වැනි ශීතල රටවල් එම ලැයිස්තුවේ පහළින් සිටී.
ආහාර පිළිබඳ විද්‍යාඥ කවෝරි ඕ'කොනර් තවත් අදහසක් එක් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අයගේ පැහැදිලි කිරීම අනුව, මිරිස් යනු අර්තාපල් සහ උක්ගස් වැනි තවත් ආහාරයට ගන්නා දෙයක් පමණි. වෙනසකට ඇත්තේ සියවස් ගණනක් යනතුරු යුරෝපය ඒ පිළිබඳව නොදැන සිටීමය.
"යුරෝපීය ගවේෂකයන් තමයි මිරිස් ලොව පුරා ව්‍යාප්ත කළේ." ඇය පවසන්නීය.
අනතුරුව එහි ඇති රසය ලොව පුරා ආහාර වට්ටෝරුවලට මුසු වූ බව ඇයගේ මතය ය.
"ඒ වෙනකොට යුරෝපයේ ආහාර ඉතා සෞම්‍ය රසයක් සහිතව තිබුණු බවට අපට හිතන්න වෙනවා. පසු කලෙකදී මිරිස් පැමිණි විට යුරෝපීය ආහාර වේල රසයෙන් ඉහළ ගියා. හරියට සීනි සොයා ගත්තම සිදු වුනා වගේ." කවෝරි ඕ'කොනර් පැවසීය.
කෙසේ වෙතත් මිරිස් සමඟ පවතින අපේ සම්බන්ධය විග්‍රහ කෙරෙන තවත් න්‍යායක් පවතී. මෙය ත්‍රාසය සහිත ප්‍රීතිය උදෙසා ගන්නා අවදානම ලෙස හැඳින්වේ.
ඉන් යෝජනා කෙරෙන්නේ, නුතන යුගයේ පැරිෂුට් ක්‍රීඩාව හෝ rollercoaster මගින් ලබා ගන්නා ත්‍රාසය මුසු ප්‍රීතිය සොයා යාමකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වේදනාකාරී පරීක්ෂණය
පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් රෝසින් මනෝවිද්‍යාඥයෙකි. මිනිසා හැරෙන්නට මිරිස් රසට රුචි වූ වෙනත් ක්ෂීරපායීන් සොයා ගැනීමට ඇති අපහසුතාව පිළිබඳව ඔහුට කුතුහලයක් ඇති විය.
ඒ පිළිබඳව සමීක්ෂණයක් සිදු කිරීමට ඔහු පියවර ගත්තේය.
දැවිල්ල අඩු මිරිස් කරලෙන් පටන් ගෙන දැවිල්ල වැඩි මිරිස් කරල දක්වා යමින් ඒවා කෑමට පුද්ගලයන් රැසකට ඔහු ආරාධනා කළේය. දාහය ඉවසා දරා ගත නොහැකි අවස්ථාව වන විට මිරිස් කෑම නවත්වන ලෙස ඔවුනට උපදෙස් දුන්නේය.
අනතුරුව ඔවුන්ගෙන් විමසීමක් කළේය. තමන් වැඩියෙන්ම රුචි වුයේ කුමන මිරිස් කරලේ රසයටදැයි ඔවුන්ගෙන් විමසීය. හැම දෙනාගේම පිළිතුර වූයේ තමන්ට වැඩියෙන්ම දැවිල්ල දැනුණු මිරිස් කරලට ප්‍රිය කරන බවය.
"තමන්ට දරා ගත නොහැකි මට්ටමේ දෙයක් ප්‍රිය කරන එකම සත්ත්වයා තමයි මිනිසා" මහාචාර්ය රෝසින් පැහැදිලි කළේය.
"අපේ ශරීරය විසින් කොයිතරම් ප්‍රතික්ෂේප කරනු ලබන දෙයක් වුනත් එයින් අපට අනතුරක් නොවන බවට තේරුම් ගැනීමට අපේ මනස ඉගෙන ගන්නවා."
ඉන් පැහැදිලිවන්නේ අප භයානක හොල්මන් චිත්‍රපටයක් නරඹා විනෝදයක් ලබන්නා සේම මිරිස් කෑමට ද රුචියක් දක්වන බවකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්ත්‍රී පුරුෂභාවය
ඇතැම් පුද්ගලයන් අනෙක් කෙනෙකුට වඩා මිරිස් කෑම ප්‍රිය කරන්නේ මන්දැයි තේරුම් ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති.
මෙය ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් වන්නේදැයි සෙවීමට ආහාර පිළිබඳ විද්‍යාඥ නාඩියා බයර්න්ස් උත්සාහ කළාය.
ස්ත්‍රීන් දැවිල්ල විඳින්නට ප්‍රිය කරන නමුත් පුරුෂයන් අන් අය පුදුමයට පත් කරවීමේ කැමැත්ත මත වැඩි දාහයක් ගෙන දෙන මිරිස් කරලක් කෑමට පෙළඹෙන බව ඇය සොයා ගත්තාය.
"උදාහරණයක් හැටියට මෙක්සිකෝව ගත්තොත්, වැඩියෙන් මිරිස් කෑම ශරීරයේ ශක්තිමත් බව - මාංශ පේශී සහිත බව - නිර්භීත බව - පෞර්ෂත්වය හා බැඳීමක් පවතින දෙයක්." නාඩියා බයර්න්ස් පැහැදිලි කළාය.
නිශ්චිතවම පෙනී යන එක් දෙයක් වෙයි. ඔබ මිරිස් ආහාරයට ගන්නේ ත්‍රාසය පිරි ප්‍රීතිය විඳීමට විය හැකිය. නැතහොත් සෞම්‍ය රසයක් ඇති ආහාර ප්‍රිය නොකරන නිසා විය හැකිය. එසේත් නැතිනම් ඔබේ මුතුන් මිත්තන් මෙන් ආහාර කල් තබා ගැනීම සඳහා මිරිස් එක් කරනවා විය හැක. ඒ කෙසේ වෙතත්, තවතවත් දාහය වැඩි මිරිස් වැඩි වැඩියෙන් වගා කිරීම නම් දිගටම සිදුවනු ඇත.
'කට දැවිල්ල' ගෙන දෙන ආහාරවලින් නම් අපට අඩුවක් නොවනු ඇත.




























