ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සහෝදර සහෝදරියන් අතර වැඩිහිටි පිළිවෙල චරිත ලක්ෂණවලට බලපායිද?
දරුවන්ගේ වැඩිහිටි පිළිවෙල පිළිබඳ මතය යනු පවුලේ සහෝදර සහෝදරියන් අතර අපට හිමි ස්ථානය අපගේ පෞරුෂය, බුද්ධි මට්ටම (IQ) සහ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි එල්ල කෙරෙන බලපෑම පිළිබඳ ඉදිරිපත් කෙරෙන අදහසකි.
නමුත් වැඩිහිටි පිළිවෙල අනුව තීරණය කෙරෙන චරිත ලක්ෂණ සැබෑ ලෙසම පවතීද? පහත දැක්වෙන්නේ වෛද්‍යවරියක සහ බීබීසී ගුවන් විදුලි නිවේදිකාවක වන රාධා මොද්ගිල් ඒ සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීමකි.
අපට පහසු තැනක් සොයා ගැනීම
ඔබට නොදැනුවත්වම වැඩිහිටි පිළිවෙල පිළිබඳ මතය සම්බන්ධයෙන් පවතින ස්ථාපිත ආදර්ශ (stereotypes) ඔබ උකහාගෙන ඇතුවා විය හැකිය.
මේ සංකල්පයට අනුව දරුවෙකුගේ වැඩිහිටි පිළිවෙල ඔහුගේ හෝ ඇයගේ පෞරුෂයට (personality) බලපායි.
මෙම අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළ ඇතැම් වඩාත් වැදගත් සංකල්ප ඉදිරිපත් කර ඇත්තේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් (Alfred Adler) විසිනි. ඔහු 19 වෙනි සියවසයේ අග භාගයේ සහ 20 වෙනි සියවසයේ මුල් භාගයේ ඔස්ට්‍රියාවේ විසූ භෞතවෛද්‍යවරයෙකු (physician) මෙන්ම මනෝ චිකිත්සකයෙකි (psychotherapist).
ඇඩ්ලර්, දරුවන් සත් දෙනෙකුගෙන් සමන්විත පවුලක මැද සාමාජිකයෙකි. එකම පවුලක හැදී වැදුණු දරුවන්ට එකිනෙක වෙනස් පෞරුෂයන් ඇති බවක් දක්නට ඇත්තේ ඇයිදැයි හඳුනා ගැනීමට ඔහුට අවශ්‍ය විය.
දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් අප පවුලේ බඩපිස්සා මා බව මේ මොහොතේ සඳහන් කළ යුතුය - නමුත් මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට නියමිත තොරතුරුවලට ඉන් බලපෑමක් එල්ල නොවනු ඇති බව සහතික වෙමි.
දරුවන්ගේ වැඩිහිටි පිළිවෙල ඔවුන්ගේ පෞරුෂය කෙරෙහි විශාල විශයෙන් බලපාන බවට මතයක් 1927 වසරේදී ඇඩ්ලර් විසින් ඉදිරිපත් කරනු ලැබීය. වැඩිමහල් ද නැති නම් බාලයා ද යන්න සලකා බලා දෙමව්පියන් දරුවන්ට වෙනස් ලෙස සලකන බවට සංකල්පයක් ඔහු ගෙන ආවේය.
දෙමව්පියන් විසින් දරුවන් සංසන්දනය කරනු ලැබීම හීනමානය (Inferiority) පිළිබඳ හැඟීමක් ඇති කරන බව ඔහුගේ විශ්වාසය විය. එතැන් සිට වැඩිහිටි පිළිවෙල හා සම්බන්ධ චරිත ලක්ෂණ (Characteristics) දෙස පර්යේෂකයන් විසින් පුළුල් ලෙස බලනු ලැබීය.
ලොක්කා/ලොක්කි
උදාහරණයක් වශයෙන් පවුලේ වැඩිමහල් දරුවා අන් අය සතුටු කරන්නෙකු යැයි විශ්වාස කෙරේ: වගකීම් සහගත, විශ්වාසය තැබිය හැකි, සුපරික්ෂාකාරී දරුවෙකු ලෙස සැලකේ. නමුත් ඇතැම් විට ඔහු හෝ ඇයගෙන් සිය බලය පෙන්වන (Bossy) සහ අධිකාරිවාදී චරිත ලක්ෂණ ද දැකිය හැක.
වැඩිමහල් දරුවා කෙරෙහි දෙමව්පියන්ගේ වැඩි සැලකිල්ලක් යොමු වන අතර දෙවන දරුවා පවුලට එක් වීමත් සමග බොහෝ විට ඔහුට හෝ ඇයට නොසැලකිල්ලක් හෝ 'සිහසුනෙන් එලවා දැමීමක්' හැඟීමක් ඇති විය හැකි බව කාලයක් පුරා පවතින විශ්වාසයකි.
ලොව ප්‍රසිද්ධියට පත් වැඩිමහල් දරුවන් අතර දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය හොබවන ලද වින්ස්ටන් චර්චිල් සහ හැරි පොටර් කතා මාලාවේ කතෘවරිය ජේකේ රෝලින් වෙති.
මද්දුම දෝනි/හිච්චි පුතා
පවුලේ මැද දරුවා බොහෝ විට නොසලකා හැරීම්වලට ලක් වන බැවින් ඔවුන් පවුල තුළ අතරමැදියෙකු වශයෙන් කටයුතු කිරීමට නැඹුරුවක් දක්වන බව විශ්වාස කෙරේ.
පවුලේ සුවදායි තැන, පවුලේ 'ලොක්කා' විසින් පෙර තියාම ගනු ලැබ ඇති බැවින් ඊට අනුගත වෙමින් පෞරුෂය හැඩ ගැසීමේ නැඹුරුවක් මැද දරුවන් තුළ පවතී.
බිල් ගේට්ස් සහ මැඩෝනා ලෝ සුපතල මද්දුම සාමාජිකයන්ය.
බඩපිස්සා
පවුලේ බාල දරුවා තමා ගැනම සිතන (Self-centred), යමක් තම වාසියට හරවා ගනු ලබන (Manipulative), සෙල්ලමට බර, විනෝදකාමී සහ සිත් ඇදගන්නා හැසිරීමක් ඇති පුද්ගලයෙකු බව බොහෝ විට විශ්වාස කරේ.
ඔහු හෝ ඇය අවධානය (Attention) දිනා ගැනීම සඳහා පරිශ්‍රමයක් දරන බවත් ස්වාධීනත්වය (Independence) පවත්වා ගෙන යාම සහ සෙසු සහෝදර සහෝදරියන්ට වඩා වෙනසක් පෙන්නුම් කරන බවත් විශ්වාස කෙරේ.
මහත්මා ගාන්ධි සහ කැමරන් ඩියාස් ප්‍රසිද්ධ බඩපිස්සන්ය.
පවුලේ එකම දරුවා
සහෝදර සහෝදරියන් නොමැති පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ පිළිබඳවත් ඇඩ්ලර්ට යමක් කීමට තිබේ.
පවුලේ එකම දරුවා බොහෝ විට තමන් ගැනම සිතන (Self-centred), ස්වාධීන, පිළිගැනීම සහ මුහුකුරා යාම පිළිබඳ අවදානයෙන් සිටින පුද්ගලයන් ලෙස විශ්වාස කෙරේ.
ඔවුන්ට වැඩිමහල් සහ බාල සහෝදර සහෝදරියන් නොමැති බැවින් බොහෝ විට ඔවුන් වෙතින් වැඩිමහල් දරුවන්ගෙන් හෝ බාල දරුවන්ගෙන් දැකිය හැකි පෞරුෂ ලක්ෂණ පිළිබිඹු වේ.
පවුලේ එකම දරුවා ලෙස ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් අතර ලියනාඩෝ ඩා වින්චි සහ හැරි පොටර් චරිතයට පැන පොවන ඩැනියල් රැඩ්ක්ලිෆ් වෙති.
සහෝදර සහෝදරියන් එකිනෙකාට වෙනස් ඇයි?
1996 වසරේදී ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකු වන ෆ්‍රෑන්ක් සලොවේ (Frank Sulloway) ඉදිරිපත් කළ මතයකින් කියවුණේ සෑම පවුලකම පැවැත්ම (Survival) සඳහා ඇති තරගය සහෝදර සහෝදරියන් අතර වෙනස්කම් ඇති වීමට හේතු විය හැකි බවය.
පරිණාමවාදය පිළිබඳ චාල්ස් ඩාවින්ගේ මූලධර්ම තුළ ජීවීන් අතර තරගය පැවැත්ම සඳහා කෙරෙන අරගලයේ ප්‍රධාන අංගයක් ලෙස දක්වයි. එය, තම පරිසරයට හොඳින්ම යෝග්‍ය වූ ජීවීන්ගේ පැවැත්ම හා බෝ වීම පිළිබඳ න්‍යායේ (Natural selection) පදනමයි.
ඉහත කී තර්කය පවුල් ඒකකයට ආදේශ කළ විට දෙමව්පියන්ගේ අවධානය දිනා ගැනීම සඳහා දරුවන්ට තරඟ කිරීමට සිදුවන බවත් පැවැත්ම සඳහා යම් ආයෝජනයක් සිදු කළ යුතු බවත් පෙන්නුම් කරයි.
උදාහරණයක් වශයෙන් වැඩිමහල් සහෝදරයා හෝ සහෝදරිය විසින් බාල සහෝදර සහෝදරියන් රැක බලා ගැනීම සඳහා වගකීමක් ගනු ලැබ හැක.
බාල සාමාජිකයෙකු පවුලට පැමිණි විට, ඔහු හෝ ඇය පවුලේ තමන්ට සුදුසු ස්ථානයක් සොයා ගත යුතුය. උදාහරණයක් වශයෙන් අනතුරුදායක ක්‍රියාවල යෙදෙන බවක් දැකිය හැක.
එසේ කිරීමෙන් තරගය තුනී වී පවුල තුළ එකමුතුභාවය ඉහළ නැංවෙන අතර එමගින් පවුලේ සෑම දෙනාගේම පැවැත්මට ඇති හැකියාව ඉහළ යා හැක.
නිගමනයක් නැති සාක්ෂි
මේ අතර ඒ සම්බන්ධයෙන් කළ වැඩිදුර අධ්‍යයන මගින් පරස්පර අදහස් ද ඉදිරිපත් වේ. ඇතැම් අධ්‍යයන මගින් ඇඩ්ලර්ගේ මතයට අනුබල දෙන අතර අනෙක් ඒවා මගින් එම මතය සම්පූර්ණයෙන් බැහැර කරයි.
ඇතැම් අධ්‍යයන මගින් යම් වෙනස්කම් ඇති බව පෙන්වා දී ඇතත් ඒවා අර්ථවත් නැත.
ඇතැම් අවස්ථාවල වෙනස්කම් හමුවී ඇතත් ඊට හේතු වී ඇත්තේ අධ්‍යනයේ ස්වභාවයයි. පවුලක කොපමණ සාමාජිකයන් සංඛ්‍යාවක් සිටී දැයි යන්න හෝ සාපේක්ෂ වශයෙන් සාමාජිකයන් අතර වයස් පරතරය ඒ සඳහා උදාහරණයකි.
වැඩිහිටි පිළිවෙල ආකර්ශනීය විෂයයක් වන නමුත් ඉන් යමෙකුගේ ජීවිතයට යම් බලපෑමක් තිබේ ද, එසේ තිබේ නම් එය කුමක්දැයි යන්න නිශ්චිතවම කීම තවමත් විශාල අභියෝගයකි.