ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් සභාවට
දෝෂාභියෝග චෝදනා විභාගයකට මුහුණ දුන් තුන් වෙනි එක්සත් ජනපද ජනාධිපතිවරයා හැටියට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ඉතිහාසයට එක් විය.
චෝදනා දෙකක් යටතේ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් වූ දෝෂාභියෝග චෝදනාව බදාදා (දෙසැම්බර් 18) වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි බලයක් ඇත්තේ විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂයටය.
අදාළ ඡන්ද විමසීමේ දී ඩිමොක්‍රටික් පක්ෂයේ කීප දෙනෙකු හැර සියලුම මන්ත්‍රීවරුන් මෙන් යෝජනාවට පක්ෂවද, රිපබ්ලිකන් පක්ෂයේ සාමාජික සමස්ත මන්ත්‍රීවරුන් ඊට එරෙහිව ද ඡන්දය දී ඇත.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ දෝෂාභියෝග චෝදනාවක් සම්මත කෙරුණ විට ඊළඟට ගනු ලබන පියවර එය ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනේට් සභාවට යොමු කිරීමය.
ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයත් සෙනෙට් සභාව වෙත යොමු කෙරෙනු ඇත.
දෝෂාභියෝගයක් වලංගු වීමට එය සෙනෙට් සභාව තුළ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුව ඇත.
මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගෙන් සැදුම් ලත් වත්මන් ඇමෙරිකානු සෙනෙට් සභාව තුළ ජනාධිපතිවරයා අයත් රිපබ්ලිකන් පක්ෂයට මන්ත්‍රීවරුන් පනස් තුන් (53) දෙනෙකු සිටින අතර ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හතළිස් හතක් (47) පමණි.
ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝග චෝදනාව සම්මත කර ගැනීමට නම් ඩිමොක්‍රටික් පක්ෂයට සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන් හැටහත් දෙනෙකුගේ පමණ ඡන්දය අවශ්‍ය කරයි.
එහෙත් සෙනෙට් සභාවේ බහුතර බලය රිපබ්ලිකන් පක්‍ෂය සතු හෙයින් එම තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දය දිනා ගැනීම සහතික නොවන හෙයින් එය එහිදී පරාජය වීමට ඇති ප්‍රවණතාව අධිකය.
චෝදනා මොනවාද?
ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන පළමු චෝදනාව ඔහු බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වන අතර දෙවැන්න කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට අවහිර කරනු ලැබීමය.
එකී බලය යුතු ලෙස පාවිච්චි කිරීම පිළිබඳ චෝදනාව පදනම් වන්නේ, ජනාධිපතිවරයා සිය ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදී අපේක්‍ෂකයා ලෙස සැලකෙන හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට (Joe Biden) එරෙහිව විභාගයක් පවත්වන ලෙස යුක්‍රේන් ආණ්ඩුවට බල කිරීමය.
එම පළමු චෝදනාවට පක්‍ෂව ඡන්ද 230 ක්ද විපක්ෂව ඡන්ද 197 ක්ද ලැබීමෙන් එය සම්මත විය.
දෙවැනි චෝදනාව වන කොන්ග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට අවහිර කිරීම පදනම් වන්නේ දෝෂාභියෝග චෝදනාව පිළිබඳ පරීක්ෂණයේ දී ජනාධිපතිවරයා විසින් ඊට බාධා කරනු ලැබීමය.
එම යෝජනාවට පක්‍ෂව ඡන්ද 229 ක්ද විපක්ෂව ඡන්ද 198 ක් ද ලැබීමෙන් එයත් සම්මත විය.
ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ඉහත කී චෝදනාවන්ට විපක්ෂව ඡන්දය දුන් අතර රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සියළු දෙනාම ඡන්දය දී ඇත්තේ ඊට එරෙහිවය.
ට්‍රම්ප් ප්‍රතිචාරය
තමාට එරෙහි දෝෂාභියෝග චෝදනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත කෙරෙන විට ජනාධිපති ට්‍රම්ප් 'මිචිගන්' ප්‍රාන්තයේ ප්‍රචාරක රැළියක් අමතමින් සිටියේය.
සිය ආධාරකරුවන්ගේ ඔල්වරසන් හඬ මැද ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.
"අපි රැකියා සම්පාදනය කරමින් 'මිචිගන්' වෙනුවෙන් සටනක යෙදී සිටින අතරවාරයේ, කොංග්‍රස් මණ්ඩලයේ 'රැඩිකල් වම' ඉරිසියාවෙන්, වෛරයෙන් සහ වියරුවෙන් කටයුතු කරමින් සිටිනවා. එතැන වෙන්නේ මොනවද කියල ඔබ දන්නවා."
මේ අතර ධවල මන්දිරය මගින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ දැක්වෙයි:
"මෙම දෝෂාභියෝග යෝජනාව සෙනේට් මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණ විට එහි සිදු කෙරෙන විභාගයේ දී තමා සහමුලින්ම නිදොස් කොට නිදහස් කරනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසයෙන් පසු වෙනවා."
සෙනෙට් සභාවේ තුනෙන් දෙකක ඡන්දයෙන් යෝජනාව සම්මත නොවුනොත් ජනාධිපති ට්‍රම්ප් සිය ධූර කාලයේ ඉතිරිය පදවියේ කටයුතු කරනු ඇත.
යම් හෙයකින් එය සෙනෙට් සභාවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කෙරුනොත්, ඔහු පදවියෙන් ඉවත් කෙරෙන අතර, උප ජනාධිපතිවරයා නිලයේ ඉතිරි කාල සීමාව සඳහා පදවියට අනුප්‍රාප්ත වනු ඇත.
ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව පළමු දෝෂාභියෝගය ඉදිරිපත් කෙරුණේ 1870 වර්ෂයේදීය. එවකට ජනාධිපති ඇන්ඩෲ ජොන්සන්ට එරෙහිව ඉදිරිපත් වූ එම යෝජනාවට පක්ෂව සෙනේට් සභාව තුළ තුනෙන් දෙකක ඡන්දයක් නොවීම හේතුවෙන් ඔහු දෝෂාභියෝග චෝදනාවෙන් ගැළවී ඇත.
1998 වසරේ දී ජනාධිපති බිල් ක්ලින්ටන්ට එරෙහිව ද දෝෂාභියෝග චෝදනා ඉදිරිපත් කෙරුණත්, ඒවා සෙනේට් සභාව තුළ සම්මත නොවිණ.
ජනාධිපති රිචඩ් නික්සන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වුනත් එය සම්මත වීමට පෙර ඔහු පදවියෙන් ඉවත් විය.
කියවන්න: