ඔස්ට්‍රේලියාව: 'දූෂණය රහසක්ව තබා ගන්නැයි දියණියගෙන් ඉල්ලා සිටි' අගමැති පියෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
80 දශකයේදී තමා දූෂණයට ලක් වූ නමුත් ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින ලෙස තමාට දැන්වූ බවට ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වන බොබ් හෝක්ගේ (Bob Hawke) දියණිය චෝදනා කරයි.
රොස්ලින් ඩිලන් පවසන පරිදි ඇයට ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීමට බල කෙරී ඇත්තේ ඉන් සිය පියාගේ දේශපාලන දිවියට සිදුවිය හැකි හානිය වළකා ගැනීම සඳහාය.
ඇයගේ චෝදනා සඳහන් අධිකරණ ලිපිගොනු ඔස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන 'නිව් ඩේලි' වෙත දැක ගැනීමට ලැබී ඇත.
සිය පියා නියෝජනය කළ ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බිල් ලැන්ඩර්යු අතින් තමන් දූෂණයට ලක් වූ බව රොස්ලින් ඩිලන් කියා සිටී. මේ වන විට බොබ් හෝක් සහ බිල් ලැන්ඩර්යු යන දෙදෙනා ම ජීවතුන් අතර නොමැත.
මේ වන විට සිය පියාට අයත් දේපළකින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4 ක අයිතියක් ඉල්ලා පනස් හය හැවිරිදි රොස්ලින් නඩු මගට ගොස් ඇත.
බිල් ලැන්ඩර්යුගේ කාර්යාලය වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතරතුර තමන් ඔහු අතින් දූෂණයට ලක් වූ බවට චෝදනා කරමින් ඇය දිවුරුම් ප්‍රකාශයක් දී තිබේ. එම වකවානුවේ ඇයගේ පියා වූ බොබ් හෝක් ලේබර් පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලිපිගොනුවල සඳහන් පරිදි 1983 වසරේදී තමන් තෙවරක් ම ලිංගිකව ගොදුරු වුණු බව රොස්ලින් ඩිලන් පවසා තිබේ.
තෙවන වරට පසු තමන් දූෂණයට ලක් වූ බව ඇය සිය පියාට දන්වා ඇති අතර පොලිසියට යාමට අවශ්‍ය යැයි පැවසූ විට: "එහෙම බැහැ. මේ වෙලාවේ මට මතභේදාත්මක කිසි දෙයක් අවශ්‍ය නැහැ. සමාවෙන්න, නමුත් මම ලේබර් පක්ෂයේ නායකත්වයට අභියෝග කරමින් ඉන්නේ," යනුවෙන් ඔහු ප්‍රතිචාර දැක්වූ බව ලිපිගොනුවල සඳහන් වේ.
රෝස්ලින්ගේ සොහොයුරිය සූයි පීටර්ස් - හෝක් 'නිව් ඩේලි' වෙත පවසා ඇත්තේ ඉහත කී චෝදනා පිළිබඳව පවුලේ සාමාජිකයන් දැන සිටි බවය.
"ඒ කාලේ ඇය ඒ ගැන මිනිස්සුන්ට කිව්වා. ඇයට සහයක් ලැබෙන ප්‍රතිචාරයක් ලැබෙන්නට ඇතැයි මා විශ්වාස කරනවා. නමුත් නීති පද්ධතිය යොදාගෙන කිසිවක් සිදුවූයේ නැහැ" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි. පවුලේ සෙසු සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය වෙත අදහස් දක්වා නොමැත.
හිටපු වෘත්තීය සමිති නිලධාරියෙකු වන චෝදනා ලත් ලැන්ඩර්යු 1976 සිට 1992 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය. බොබ් හෝක්ගේ අගමැති ධූර කාලය පුරා ඔහු සහ ලැන්ඩර්යු අතර යහපත් සම්බන්ධයක් පැවති බව පැවසේ.
හෝක් 80 දශකයේ ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ ප්‍රබලයා වශයෙන් කටයුතු කරමින් පාර්ලිමේන්තු මැතිවරණ හතරක් ජයග්‍රහණය කළේය.
තමන් කන බොන, නිහතමානී මිනිසෙකු බවට වූ අදහසක් ජනගත කරන අතරතුර ඔහු සිය රටට විශාල වශයෙන් ආර්ථික සහ සමාජීය වෙනස්කම් හඳුන්වා දිණි.



























