ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ටුවාලු' දූපත් මිලට ගැනීමේ චීන උපාය වරදියි
කෘත්‍රිම දූපත් සමූහයක් නිර්මාණය කිරීම සඳහා චීන සමාගම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ටුවාලු (Tuvalu) දූපත් පරිපාලනය විසින් බැහැර කරනු ලැබුණි.
ශාන්තිකර සාගරයේ පිහිටි ටුවාලු (Tuvalu) මුහුදු මට්ටම ඉහළ යාම නිසා සමුදුරට යටවීමේ අනතුර එල්ල වී ඇති කුඩා දූපත් සමූහයකි.
1978 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලද කලින් 'එලීස් දූපත්' (Ellice Islands) ලෙස හඳුන්වන ලද 'ටුවාලු' පාලනයට දූපත් නවයක් අයත් වෙන අතර මුහුදු මට්ටම මීටර් පහකින් ඉහළ ගියහොත් ඒවා මුහුදුබත් වීමේ අනතුරක පවතී.
චීන සමාගම් පවසා ඇත්තේ කෘත්‍රිම දූපත් ඉදි කරනු ලැබුනොත් මුහුදට යටවීමේ අනතුරෙන් බේරීමට අවශ්‍ය පරිසරයක් එම දිවයින අවට නිර්මාණය වෙන බවකි.
චීන යෝජනාව සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් කළ ටුවාලු විදේශ ඇමති සයිමන් කෝෆ් (Simon Kofe) එය තායිවානය ශාන්තිකර කලාපයේ සිදු කරමින් ඇති බලපෑම යටපත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස තමා දකින බව සඳහන් කළේය.
එහෙත් තමරට දිගටම තායිවානයට සහයෝගය දක්වන බවත් විදේශ ඇමතිවරයා අවධාරණය කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ට සහයෝගය දක්වන කලාපීය සගයන් කෙරෙහි අනතුරු අඟවන චීනය ශාන්තිකර සාගර කලාපයේ සිය බලපෑම ව්‍යාප්ත කර ගැනීමේ ප්‍රයත්නය තවත් තීව්‍ර කරමින් ඇත.
තායිවානය ස්වෛරී ජාතියක් ලෙස පිළිගනිමින් එරට සමඟ පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබන්නේ රටවල් පහළොවක් (15) පමණි.
රටවල් ගණනාවක් පසුගිය අවුරුදුවල තායිවානය කෙරෙහි දැක්වූ අවනතභාවය නතර කරමින් චීනය වෙත නැඹුරු වූහ.
බේජිං පාලනය තායිවානය පිළිගනු ලබන කිසිදු රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීම බැහැර කරයි.
කිරිබාටි (Kiribati) සහ සොලමන් දූපත් (Solomon Islands) යන ශාන්තිකර රාජ්‍යයන් පසුගිය මාස කීපය ඇතුළත තායිවාන් සබඳතා නතරකොට චීනය දෙසට මාරු වී ඇත.
මූල්‍යාධාර සහ ගුවන්යානා දෙන බවට පොරොන්දුවෙමින් එම දූපත් රාජ්‍යයන් දෙක ඔවුන්ගේ පැත්තට හරවා ගෙන ඇති බවට බේජිං පාලකයන්ට චෝදනා එල්ල වෙයි.
එවැනි පරිසරයක් යටතේ තමන් දිගටම තායිවානයට සහයෝගය දෙන බව පවසන තුවාලු විදේශ ඇමති සයිමන් කෝෆ් (Simon Kofe) මාර්ෂල් දූපත් (Marshall Islands) පලාවු (Palau) නාවුරු (Nauru) සහ ටුවාලු (Tuvalu) යන පරිපාලන හතර එකමුතු කරමින් තායිවාන් හිතවත් ශාන්තිකර හවුලක් ගොඩනගන බවත් කියා සිටියි.
රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ විදේශ ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
"එකමුතුව සහයෝගයෙන් කටයුතු කිරීමේ ශක්තිය කෙරෙහි අපි විශ්වාසය තබනවා. අපේ හවුල්කරුවන් සමඟ එකමුතුව කටයුතු කිරීමෙන් චීනයෙන් එල්ල කෙරෙන බලපෑමට මුහුණ දීමට අපට හැකියාව ලැබෙනවා."
චීන සමාගම් ඩොලර් දශ ලක්ෂ 400ක මුදල් ප්‍රතිපාදන යෝජනා කරමින් තුවාලු ජනතාව වෙත කිට්ටුකර ඇතැයි ටුවාලු විදේශ ඇමති සයිමන් කෝෆ් (Simon Kofe) විසින් හෙළිදරව් කරණු ලැබ ඇත.
එම සමාගම් පිටුපස සිටින්නේ චීන ආණ්ඩුවය යන්න විදේශ ඇමතිවරයාගේ විශ්වාසය වෙයි.
"අපි ණය ගැන ගොඩාක් කතන්දර අසමිනුයි ඉන්නේ," ඇමතිවරයා පවසයි.
"චීනය අපේ දූපත් සල්ලිවලට මිළට ගනිමින් තිබෙනවා. ඔවුන් බලන්නේ අපේ කලාපයේ යුද කඳවුරු හදා ගැනීම. ඒක තමයි ඒගොල්ලෝ අපි ගැන කනගාටුවෙන්න හේතුව."
තායිවානය සම්බන්ධයෙන් චීනය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාව වන්නේ හොංකොන් පාලනයට සමාන වූ "ඒක රටක්-ක්‍රම දෙකක්" පරිපාලන ආකෘතියකි.
තායිවාන් ජනාධිපතිනි ට්සායි ඉංග්-වෙන් (Tsai Ing-wen) 2016 වසරේ බලයට පත්වීමෙන් අනතුරුව, එතෙක් තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වූ රටවල් හතක් එම සබඳතා අත්හිටවනු ලැබුණි.
කෙසේවුවද, 2020 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයෙන් නැවතත් බලය දිනා ගැනීමට තායිවාන් නායිකාව තබා ඇති අපේක්ෂාවට 'ටුවාලු' දූපත් පාලනයෙන් ලබන සහයෝගය මගින් රුකුලක් ලැබෙන ඉඩකඩක් ද පවතී.
කියවන්න: