චීනය: කාන්තාවක් නියමු කුටියට ගත් චීන ගුවන් නියමුවාගේ වැඩ තහනම්

චීනය ,ගුවන් යානය

ඡායාරූප මූලාශ්‍රය, Weibo/screenshot

ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තාවක් ගුවන් නියමුකුටියෙහි අසුන්ගෙන සිටින අතර ඇය ඉදිරිපිට ප්‍රබෝධජනක ආහාර තිබෙනු එම පින්තූරයේ දැක්වේ.
Published

මගී කාන්තාවක් ගුවන් යානයක නියමු කුටියෙහි රැදී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වීමත් සමඟ අදාළ චීන ගුවන් යානයේ නියමුවාගේ සේවය යාවජීව මට්ටමින් තහනම් කරනු ලැබ ඇත.

අදාළ ඡායාරූපය ගනුලැබ තිබෙන්නේ පසුගිය ජනවාරි මාසයේදීය.

'Air Guilin' ගුවන් සමාගමට අයත් යානය ගුයිලිං (Guilin) නගරයේ සිට යංචෞ (Yangzhou) කරා පියාසර කරමින් තිබියදී මතභේදයට ලක්ව ඇති ඡායාරූපය ගෙන ඇති අතර, මෙම සතියේ සිට එය මහා පරිමාණයෙන් හුවමාරු වෙන්නට පටන් ගැනිණි.

ඒ සමඟ ගුවන් නියමුවා සම්බන්ධයෙන් පියවර ගැනීමට එයාර් ගුයිලිං (Air Guilin) සමාගමට සිදුව ඇත.

කාන්තාවක් ගුවන් නියමුකුටියෙහි අසුන්ගෙන සිටින අතර ඇය ඉදිරිපිට ප්‍රබෝධජනක ආහාර තිබෙනු එම පින්තූරයේ දැක්වේ.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ එයාර් ගුයිලිං ගුවන් සමාගම "සිය නියමුවා ආරක්ෂාවට අදාළ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි" කියා සිටියේය.

මගී කාන්තාව සිය අතෙහි ඇඟිලි වලින් 'V'සංකේතය නිරූපණය කරනු අදාළ පින්තූරයෙන් දැකගත හැකිය.

පින්තූරය 'Weibo'නම් බ්ලොග් අඩවියේ පළ කරනු ලැබ තිබුණේ "නියමුවාට ස්තුතියි!හරිම සතුටුයි!" යන සටහනක්ද සහිතවය.

ඡායාරූපයේ සිටින කාන්තාව 'Guilin' සරසවියෙහි ගුවන් සේවිකා පුහුණුව ලබන්නියක් බවට කටකතා පැතිර යමින් ඇතැයි Chinese News Service නම්වූ චීන මාධ්‍ය මගින් ප්‍රකාශ විණි.

Air Guilin

ඡායාරූප මූලාශ්‍රය, chinanews.com

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Air Guilin' සමාගමේ යානයක්

එම පින්තූරය ගනු ලැබ තිබෙන්නේ ගුවන් ගමනක් අතරමැද ද යන්න 'Air Guilin' ගුවන් සමාගම පවසන්නේ නැත. එහෙත් එය ගුවනේ දී ගත් ඡායාරූපයක් ලෙස පෙනීයන බව චීන ගුවන් නියමුවන් සහ විශ්ලේෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇත.

අදාළ ගුවන් නියමුවාගේ අනන්‍යතාව ප්‍රකාශයට පත් කරනු ලැබ නැත.

නියමුවා ගුවන් සමාගමේ දරන ලද ඔහුගේ සමස්ත කාර්යභාරය සහමුළින්ම අවලංගු කර ඇද්ද යන්න පැහැදිළි නැතත් යානා පැදවීම සම්බන්ධයෙන් ඔහුට යාවජීව තහනමක් පනවනු ලැබ ඇත.

"අදාළ නොවන පුද්ගලයෙකු නියමු කුටියට ගැනීම මගින් නියමුවා රෙගුලාසි කඩකර ඇතැයි 'Air Guilin' ගුවන් සමාගම පවසයි.

විශේෂ අවසරයක් හෝ අත්‍යවශ්‍ය පසුබිමකින් තොරව මගීන් නියමු කුටියට ඇතුල්කර ගැනීම චීන ගුවන් ගමන් පරිපාලන රෙගුලාසි මගින් තහනම් කරනු ලැබ ඇත.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින අතර,ඉහත කී කාන්තාව ගුවන් නියමු කුටියට ගැනීමට සම්බන්ධ වූ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ද සේවය කාලය සීමාවකින් තොරව අත්හිටුවන ලද බවත් වාර්තා වේ.

ගුවන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හදිසි අනතුරක් හේතුවෙන් ඇමෙරිකානු ගුවන් යානයක් ගංගාවකට ගොඩ බෑ අවස්ථාවක්

"හැමවිටම අපේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ මගීන්ගේ ආරක්ෂාවට. ගුවන් ගමනක ආරක්ෂාව අනතුරට ලක්විය හැකි, අනුමත කළ නොහැකි එසේම වෘත්තීය ගුණයට පටහැනි කිසිදු ක්‍රියාවකට අපෙන් සමාවක් නැහැ" 'Air Guilin' ගුවන් සමාගම කියා සිටී.

පසුගිය වසරේ තුංහයි එයාර්ලයින්ස් (Donghai Airlines) නම්වූ චීන ගුවන් සමාගම සිය බිරිඳට යානයක නියමු කුටියට පිවිසීමට අවසර දුන් ගුවන් නියමුවෙකුගේ සේවය මාස හයකට තහනම් කළ අතර,යානා උපදේශකවරයෙකු වශයෙන් ඔහු දැරූ සුදුසුකම් ද ඉවත්කරනු ලැබුණි.

කියවන්න ;