මග නොනවතින දීර්ඝතම මගී ගුවන් ගමන පරීක්ෂා කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අතරමග නොනැවතෙන (Non-stop) දීර්ඝතම වාණිජ මගී ගුවන් ගමන් පරීක්ෂාවක් ඔස්ට්‍රේලියාවේ 'ක්වොන්ටස්' ගුවන් සේවය විසින් සම්පූර්ණ කරනු ලැබීය. එකී ගුවන් ගමන් පරීක්ෂාව සිදු කර ඇත්තේ එය නියමුවන්, යානයේ කාර්ය මණ්ඩලය සහ මගීන්ට කෙසේ බලපානු ඇත්දැයි යන්න සම්බන්ධයෙන් කෙරුණු අධ්‍යනයේ කොටසක් වශයෙනි.
පුද්ගලයන් 49 රැගත් බෝයිං 787-9 වර්ගයේ ගුවන් යානය නිව්යෝක් සිට සැතපුම් 10,066 ක (16,200-km) දුරක් ගෙවා සිඩ්නි දක්වා පියාසර කිරීමට පැය 19 මිනිත්තු 16 ක් ගත විය.
'ක්වොන්ටස්' ගුවන් සමාගම නොවැම්බර් මසදී ලන්ඩන් සිට සිඩ්නි දක්වා අතරමග නොනැවතෙන ගුවන් ගමනක් පරීක්ෂා කිරීමට සැලසුම් කරයි.
අදාළ ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කරන කාලය 2019 වසරේ අග තීන්දු කිරීමට 'ක්වොන්ටස්' ගුවන් සමාගම බලාපොරොත්තු වෙයි.
එම සැලසුම ඉදිරියට ගියහොත් 2022 හෝ 2023 වසරවලදී ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇත.
සම්පූර්ණ මගීන් සහ භාණ්ඩ තොගයක් රැගෙන මෙතරම් අතිශය දීර්ඝ ගමනක යෙදීම මේ දක්වා කිසිඳු වාණිජ ගුවන් යානයක පරාසයේ නොමැති බව රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
පරීක්ෂාවට ලක් කළේ මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, AFP/HANDOUT
යළි ඉන්ධන පිරවීම වළකාලමින් ගුවන් යානයට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීම සඳහා 'ක්වොන්ටස්' යානය උපරිම ඉන්ධන ප්‍රමාණයක් සහිතව, මගී ගමන් මලු සීමා කර, භාණ්ඩ තොග නොමැතිව ගුවන් ගත විය.
ගුවන් යානයේ අසුන්ගත් පසු මගීහු සිය ඔරලෝසුවල සිඩ්නි වේලාව සකස් කර ගත්හ. රටවල් අතර වෙලාවේ පරතරය නිසා හට ගන්නා නිදිමත සහ තෙහෙට්ටුව (Jetlag) අවම කර ගැනීම සඳහා ඔවුහු නැගෙනහිර ඔස්ට්‍රේලියාවට රාත්‍රිය එළඹෙන තෙක් අවදියෙන් පසු වූහ.
පැය හයකට පසු මගීන් වෙත කාබෝහයිඩ්‍රේට් ඉහළ ආහාර පිළිගන්වනු ලැබිණි. ඔවුන්ට නින්දට යාම පහසු කිරීම සඳහා විදුලි බුබුළු ආලෝකය අඩු කරනු (Dim) ලැබිණි.
ගුවන් නියමුවන්ගේ මොලයේ තරංග, මෙලටෝනින් (Melatonin) මට්ටම් සහ සුපරික්ෂාකාරීභාවය එහිදී පරීක්ෂාවට ලක් විය. මගීන්ට ව්‍යායාම උගන්වනු ලැබුණු අතර එකිනෙකට වෙනස් වේලාවන් සහිත කලාප ගණනාවක් පසු කිරීම හමුවේ මිනිස් ශරීරයට එල්ල වන බලපෑම විශ්ලේෂණය කරනු ලැබිණි.
"සුවිශේෂී පියවරක්"

"මෙය ගුවන් ගමන් සඳහා ඉතාම සුවිශේෂී පළමු පියවරක්. ලෝකයේ එක පැත්තක සිට අනෙක් පැත්තට ගමන් කිරීම ඉක්මන් කරවන එදිනෙදා සේවයක පෙරහුරුවක් යැයි සිතනවා" යනුවෙන් 'ක්වොන්ටස්' ගෘප් හි ප්‍රධාන විධායක නිලධාරී ඇලන් ජොයිස් පැවසීය.
විවිධ ගුවන් සමාගම් දිගු ගුවන් ගමන්වල යෙදීමත් සමග සාමාන්‍ය පරාසයෙන් ඔබ්බට ගිය අතිශය දීර්ඝ ගුවන් ගමන් සඳහා වන වෙළෙඳපොළ තරගකාරීත්වය මෑත වසරවලදී ඉහළ ගොස් ඇත.
සිංගප්පූරු ගුවන් සමාගම පසුගිය වසරේදී සිංගප්පූරුවේ සිට නිව්යෝක් දක්වා පැය 19 ආසන්න ගුවන් ගමනක් ආරම්භ කළේය. එය දැනට ලොව ක්‍රියාත්මක දීර්ඝතම දෛනික වාණිජ ගුවන් ගමනයි.
එමෙන්ම 'ක්වොන්ටස්' ගුවන් සේවය පර්ත් සිට ලන්ඩන් දක්වා පැය 17 ක සෘජු ගුවන් ගමනක් ආරම්භ කළේය. මේ අතර කටාර් ගුවන් සේවය නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩෝහා දක්වා පැය 17.5 ක ගුවන් ගමනක් ක්‍රියාත්මක කරයි.




























