තායිලන්තය: විනිසුරුවරයෙක් අධිකරණය තුළදී වෙඩි තබා ගනියි

Published

රටේ අධිකරණ පද්ධතියට එරෙහිව ඉතා දුර්ලභ ප්‍රකාශයක් සිදුකොට තායිලන්ත විනිසුරුවරයෙකු අධිකරණය තුළදී වෙඩි තබා ගත්තේය.

මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී සිටි මුස්ලිම් පුරුෂයන් පස් දෙනෙකු පසුගිය සිකුරාදා නිදොස් කොට නිදහස් කළ කනකෝන් පියන්චනා (Kanakorn Pianchana) නම් එම විනිසුරුවරයා, ඉන් අනතුරුව ප්‍රකාශයක් කරමින් වඩාත් සාධාරණ අධිකරණයක අවශ්‍යතාව අවධාරණය කළේය.

ඉන් අනතුරුව අධිකරණයේ නීත්‍යානුකූල දිවුරුම කිය වූ ඔහු, පිස්තෝලයක් එළියට ගෙන සිය පපුවට වෙඩි තබා ගත් බව වාර්තා වේ.

කෙසේ වෙතත් එහිදී විනිසුරුවරයාගේ දිවි බේරුණු අතර, රෝහල් ගතකෙරුණු ඔහු මේ වනවිට සුවය ලබමින් සිටියි.

විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ලියන ලදැයි විශ්වාස කරන සටහනකින් ඇඟවෙන්නේ ඔහුගේ මෙම දිවි නසාගැනීමේ උත්සහය සහ මෙම නඩුවට එල්ල වූ බව සැලකෙන ඇඟිලි ගැසීම් අතර යම් සම්බන්ධයක් තිබිය හැකි බවය.

අධිකරණයේ දී සිදු වූයේ කුමක්ද?

දකුණු තායිලන්තයේ කැරලිකාරී තත්වයක් පවතින සිදුවූ පළාතක් වන "යාල" හි පිහිටි අධිකරණයක මෙම විනිසුරුවරයා සේවය කළේය.

මිනීමැරුම් සහ ගිනි අවි වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ පස්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමෙන් පසුව ඔහු ආවේගශීලී ප්‍රකාශයක් කරමින් අධිකරණය ඇමතීය. එය ෆේස්බුක් ඔස්සේ ද සජීවී ලෙසින් විකාශය කෙරිණ.

"යමෙකුට දඬුවම් කිරීම සඳහා ඔබට පැහැදිලි සහ විශ්වසනීය සාක්ෂි අවශ්‍යයි. ඔබට විශ්වාස නැත්නම් ඔවුන්ට දඬුවම් නොකරන්න," ඔහු පැවසීය.

"විත්තිකරුවන් පස්දෙනා අපරාධ නොකළ බව මම නොකියමි. ඔවුන් ඇතැම්විට අපරාධ කරන්නට ඇති."

"නමුත් අධිකරණ ක්‍රියාවලිය විනිවිද පෙනෙන සුළු හා විශ්වසනීය විය යුතුයි ... වැරදි පුද්ගලයන්ට දඬුවම් කිරීම යනු ඔවුන් බිලි දීමක්."

පසුව ෆේස්බුක් සජීව විකාශය නවතා දැමූ නමුත් අධිකරණයේ සිටි පුද්ගලයින් ප්‍රකාශ කර සිටියේ හිටපු තායි රජුගේ පින්තුරයක් ඉදිරිපිට අධිකරණයේ දිව්රුම කියවා පිස්තෝලයක් ගෙන විනිසුරුවරයා තමාටම වෙඩි තබාගත් බවය.

විනිසුරුවරයා වහාම රෝහල්ගත කෙරිණ.

ඔහු එය සිදුකළේ ඇයි?

විනිසුරු "පියන්චනා" සිය දිවි නසා ගැනීමට උත්සාහ කළේ ඇයි ද යන්න සම්පූර්ණයෙන් පැහැදිලි නැත.

අධිකරණයේ ප්‍රකාශක "සූරියන් හොංවිලයි" AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ විනිසුරුවරයා තමාටම වෙඩි තබාගැනීමට හේතුව "පුද්ගලික ආතතිය" විය හැකි බවය.

එහෙත් විනිසුරුවරයා ඔහු විභාග කළ නඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූවා විය හැකි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

වෙඩි තබාගැනීමට පෙර විනිසුරුවරයා විසින් ෆේස්බුක් හි පලකළ බව සැළකෙන ප්‍රකාශයක සඳහන් ව තිබී ඇත්තේ සාක්ෂි නොමැති වුවද ඔවුන් වැරදිකරුවන් කරන මෙන් බලපෑම් කර ඇති බවය.

"මේ මොහොතේ, රට පුරා ප්‍රධාන අධිකරණවල සෙසු විනිසුරුවන්ට ද මට සැලකූ ආකාරයටම සලකමින් තිබේ," ඔහු සටහන් කර තිබිණ .

"මට දිවුරුමට අනුව අධිකරණයේ කටයුතු කිරීමට නොහැකිනම්, ගෞරවයෙන් තොරව ජීවත් වීමට වඩා මිය යාම යහපති."

විනිසුරුවන් විසින් අධිකරණ පද්ධතිය විවේචනය කිරීම තායිලන්තයේ අතිශය දුර්ලභ කරුණකි.

ශ්‍රී ලාංකික විනිසුරුවරයෙකුගේ ප්‍රතිචාරය

ශ්‍රී ලාංකික විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සලීම් මර්සුෆ් සිය පෞද්ගලික facbook ගිණුමෙහි තායිලන්ත විනිසුරුවරයා සම්බන්ධ සිද්ධිය ගැන මෙළෙස දක්වා තිබිණ.

"තායිලන්තයේ පමණක් නොව, කොහේ වුවත් මෙය සිදුවිය හැක. අධිකරණ පද්ධතියට පමණක් නොව සෑම පද්ධතියකටම අඛණ්ඩ සෞඛ්‍ය පරීක්ෂාවක් අවශ්‍යය. අවශ්‍ය මොහොතේ නිසි අධීක්ෂණයක් සහ මෙහෙයවීමක් නොමැති වීමේ ප්‍රතිඵලය නම් අසාර්ථක පද්ධති මගින් සමාජයට හානියක් සිදුවේ."

ශ්‍රී ලාංකික විනිසුරු සලීම් මර්සුෆ් ගේ මෙම facbook සටහනට විවිධ ප්‍රතිචාර පලව තිබිණ.

"ආතතියෙන් පිරි රැකියාවන්ගෙන් එකක්. නිවැරදි තීන්දුවක් ලබාදීම පහසු දෙයක් නොවේ. විනිසුරු වරයා වැරදි තීන්දුවක් නිවැරදි හදවතකින් ලබාදීම තුළ විනිසුරු පශ්චාත් කම්පන ආතතියට ලක්වුවා විය හැක. (PTSD)" යනුවෙන් මොහොමඩ් අලි යසීර් අර්ෆත් පවසන්නේ ය.

"මේ ලිපිය කියවා බැලීමේදී තායිලන්ත අධිකරණ පද්ධතිය තුළ නීති විරෝධී පීඩනයන් පවතින බවට යෝජනා කළ හැකියි" යනුවෙන් රිෆ්කි නුර්දීන් අදහස් දක්වා තිබිණි.

කියවන්න: