ඉරාන නෞකාව: කපිතාන්ට මුදල් දීමට සූදානම් වූ බව ඇමරිකාව තහවුරු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රාජ්‍ය තාන්ත්‍රික අවුලකට මැදිව තිබෙන ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාට ඩොලර් මිලියන ගණනක මුදලක් පිරිනැමීමට යෝජනා කළ බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කළේය.
ඉරානය සම්බන්ධ ඇමරිකාවේ ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු කරන රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක 'Iran Action Group' හි ප්‍රධානියා වන බ්‍රයන් හුක්, 'අඩ්‍රියාන් දරියා 1' නෞකාවේ කපිතාන්වරයා වෙත ඊමේල් පණිවුඩයක් යවා ඇත.
ඒ අදාළ නෞකාව එක්සත් ජනපදය භාරයට ගනු ලැබීමට ඉඩ සැලසෙන කලාපයකට යාත්‍රා කරවීම සම්බන්ධයෙනි.
ඉහත කී නෞකාව සිරියාව වෙත ඉන්ධන රැගෙන යන බවට සැක කෙරුණු අතර එක්සත් රාජධානිය යටතේ පවතින ජිබ්රාල්ටාර් හි බලධාරීන් විසින් පසුගිය ජුලි මාසයේදී එය තාවකාලිකව රඳවා ගනු ලැබිණි.
නෞකාවේ ගමනාන්තය සම්බන්ධයෙන් ඉරානය සහතිකයක් ලබා දීමෙන් අනතුරුව එය නිදහස් කරනු ලැබීය.
නෞකාව නිදහස් කරනු ලැබීම අත්හිටුවීමට උත්සහ කළ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුව එය සිය භාරයට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කපිතාන්වරයාට මුදලක් ලබා දීමට ඉදිරිපත් වීම සම්බන්ධ වාර්තා පළමුව 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පතේ පළ වූයේ බදාදා (සැප්තැම්බර් 04) ය. එකී වාර්තා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලැබ ඇත.
"අප, කපිතාන්වරන් සහ නාවුක සමාගම් කිහිපයක් ඇමතීමට ක්‍රියා කළා" යැයි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක AFP පුවත් සේවයට පැවසීය.
එක්සත් ජනපදය විසින් ඉහත කී ඉරාන නෞකාව පසුගිය සිකුරාදා අසාදුලේඛනගත (Blacklist) කරනු ලැබිණි. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩොලර් මිලියන 2.1 ක වටිනාකමකින් යුත් ඉරාන බොර තෙල් ප්‍රවාහනය කිරීම සඳහා නෞකාව යොදා ගත් බවකි.
එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබ ඇති ඉරාන හමුදාවට සම්බන්ධ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (Iran's Revolutionary Guard) ප්‍රයෝජනය සඳහා එම ඉන්ධන ප්‍රවාහන කර ඇතැයි එහි වැඩිදුරටත් දැක්විණි.
ඊමේල් පණිවුඩයේ සඳහන් වූයේ කුමක්ද?
'ෆයිනෑන්ෂල් ටයිම්ස්' වාර්තා කරන පරිදි 'අඩ්‍රියාන් දරියා 1' නෞකාවේ කපිතාන් වන ඉන්දීය ජාතික අකිලේෂ් කුමාර් වෙත බ්‍රයන් හුක් ඊමේල් පණිවුඩයක් යවා ඇත්තේ එක්සත් ජනපදය විසින් නෞකාවට එරෙහිව සම්බන්ධක පනවනු ලැබීමට පෙරය.
"මා ඔබට ලියන්නේ හොඳ තොරතුරක් සමගයි." ඊමේල් පණිවිඩයේ සඳහන් විය. එක්සත් ජනපද බලධාරීන්ට නැව සිය භාරයට ගතහැකි වන ප්‍රදේශයක් කරා එය ගෙන යාම වෙනුවෙන් කපිතාන්වරයාට ඩොලර් මිලියන ගණනක මුදලක් ගෙවීමට ට්‍රම්ප් පාලනය අපේක්ෂා කර තිබිණි.
නෞකාව රඳවා ගනු ලැබීමෙන් පසු කපිතාන් ධුරයට පත් අකිලේෂ් කුමාර්ට අදාළ ඊමේල් පණිවුඩය ව්‍යාජ එකක් නොවන බව එත්තු ගැන්වීම සඳහා එහි රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දුරකතන අංකය ද සඳහන් කර තිබූ බව වාර්තා වේ.
"නීතිවිරෝධී ඉන්ධන අපනයනයට බාධා කිරීම සඳහා නාවික කටයුතු හා සම්බන්ධ ප්‍රජාව සමග අප ඉතා සමීපයෙන් කටයුතු කරනවා" යනුවෙන් බ්‍රයන් හුක් පුවත්පතට පවසා තිබේ.
කපිතාන් අකිලේෂ් කුමාර් විසින් ඉහත කී ඊමේල් පණිවුඩ නොසලකා හරිනු ලැබ ඇත. අනතුරුව 'අඩ්‍රියාන් දරියා 1' අසාදුලේඛනගත (Blacklist) කළ එක්සත් ජනපදය කපිතාන්වරයාට එරෙහිව ද සම්බාධක පනවනු ලැබ තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉරානයේ විදේශ අමාත්‍ය ජාවෙඩ් සරිෆ් එක්සත් ජනපදයට චෝදනා කළේ එය "සම්පූර්ණයෙන් අල්ලස් දීමක්" බව පවසමිනි.
ඉන්ධන අලෙවි කළ ඉරාන නාවික කටයුතු ජාලයක් වෙත අලුතින් සම්බාධක පනවන බව ට්‍රම්ප් පාලනය බදාදා නිවේදනය කළේය. එකී කටයුතුවලට බාධා එල්ල කිරීමට සහාය දිය හැකි ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 15 පිරිනැමීමට සූදානම් බව ද එහි දැක්විණි.
මොකක්ද මේ නෞකාව?
'අඩ්‍රියාන් දරියා 1' නෞකාව මීට පෙර නම් කර තිබුණේ 'ග්‍රේස් 1' නමින්ය. එය බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ජ්බ්රාල්ටාර්හිදී රඳවා ගනු ලැබුවේ පසුගිය ජුලි 04 වෙනිදාය. ඒ යුරෝපා සංගමය පැනවූ සම්බාධක උල්ලංඝනය කරමින් සිරියාව වෙත ඉන්ධන රැගෙන යන බවට පැවති සැකය හේතුවෙනි.
නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන සිරියාව වෙත ප්‍රවාහනය නොකරන බවට ඉරානය සහතික වීමෙන් අනතුරුව එය නිදහස් කරනු ලැබුවේ අගෝස්තු 15 වෙනිදාය. ඒ නෞකාව නිදහස් කිරීම වැලැක්වීම සඳහා එක්සත් ජනපදය අවසන් මොහොත දක්වා උත්සහ ගනිමින් තිබියදීය.
නෞකාවේ සංඥා උපාංගය විසන්ධි කර ඇති බව වාර්තා වුවත්, එය මේ වනවිට මධ්‍යධරනී මුහුදේ යාත්‍රා කරමින් තිබෙන බව නෞකා ගමන් මග නිරීක්ෂණය කළ හැකි වෙබ් අඩවි ඔස්සේ දැක ගත හැකි වී තිබේ.
නෞකාව පළමුව ජබ්රාල්ටාර් බලධාරීන් භාරයට ගනු ලැබීම එක්සත් රාජධානිය සහ ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හට ගැනීමට හේතු වූ අතර ඉරානය විසින් බ්‍රිතාන්‍ය ධජය යටතේ ගල්ෆ් මුහුදේ යාත්‍රා කළ 'ස්ටේනා ඉම්පෙරෝ' නමැති ස්වීඩනයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සිය භාරයට ගනු ලැබීය.
'ස්ටේනා ඉම්පෙරෝ' හි කාර්ය මණ්ඩලයේ විසි තුන් දෙනා අතරින් හත් දෙනෙකු මානුෂීය පදනම යටතේ නිදහස් කරනු ඇති බව ඉරානය බදාදා පැවසීය.




























